Print this Article


 සම්බුදු ගුණමහිම: භගවා ගුණමහිමය

වප් පුර පසළොස්වක පෝදා සිට සතර පෝයට ම කොටස් වශයෙන් පළවන නව අරහාදී සම්බුදු ගුණ මුල් කරගත් දම් දෙසුම ලිපි මාලාව අංක – 46:

භගවා ගුණමහිමය

භාග්‍යවත් බැවින්, රාග ආදි කෙලෙස් නැති කළ බැවින්, ශ්‍රේෂ්ඨ ධර්මයන්ගෙන්, භාග්‍ය ධර්මයන්ගෙන් යුක්ත නිසා, ඒ වාගේම මේ ධර්මය බෙද බෙදා අර්ථ දක්වන බැවින්, මේ භවයේ කෙළවරට පැමිණි බැවින්, භගවා කියනවා.

‘භගවා ති වචනං සෙට්ඨං
භගවා ති පද මුත්තමං
ගරු ගාරව යුත්තෝසෝ
භගවා තේන වුච්චති

‘භගවා ති වචනං සෙට්ඨං’ භගවා කියලා කියන්නේ ශ්‍රේෂ්ඨ වචනය ‘භගවා ති පද මුත්තමං’ භගවා කියලා කියන්නේ උතුම් වචනයක්, උතුම් පදයක් ‘ගරු ගාරව යුත්තෝසෝ’ගරු කටයුතු උතුමන් වහන්සේට ලැබෙන ගරු පදයක් ‘භගවා තේන වුච්චති’ භගවා කියලා කියනවා, එහෙනම් භගවා කියලා කියන්නේ ගෞරවාන්විත වචනයක්. මොකක්ද මේ ගෞරවාන්විත වචනයේ තේරුම? දේශනාවේ සඳහන් වෙන්නේ ‘භගවාති ගාරවාති වචනං’ භගවා කියලා කියන්නේ ගෞරවාන්විත වචනයක්. වැඳුම් පිදුම් කරන්න පුළුවන්. ගරු බුහුමන් දක්වන්න පුළුවන් වචනයන්. ඊළඟට රාගය,ද්වේශය, මෝහය, මාන්නය, දිට්ඨිය ,තණ්හාව සම්පූර්ණයෙන්ම විනාශ කළ නිසා භග්නය කළ නිසා භගවා කියලා කියනවා. සෝවාන් මාර්ගඥානයෙන් භග්නය කළා. සකෘදාගාමි, අනාගාමී, අරිහත් යන මාර්ගඤාණවලින් ඒ සියලුම කෙලෙස් භග්නය කළ නිසා අපි කියනවා. භගවා කියලා. ඒ විතරක් නොවෙයි.

බුදුරජාණන් වහන්සේ අර්ථ රසය, ධර්ම රසය, විමුක්ති රසය කියන මේ රස තුනම බෙද බෙදා දෙනවා හැමෝටම, ඒ වාගේම සීලය, අධි සීලය,අධි චිත්තය, අධි ප්‍රඥාව බෙද බෙදා දේශනා කරනවා. ඒ අර්ථ රස, ධම්ම රස ජීවිතයට කුළු ගන්වමින් දේශනා කරනවා. එයත් භගවා ගුණයක ලක්ෂණයක්.

මිනිස් කටහඬක් ඇසෙන්නේ නැති දුරස්ථ වන සෙනසුන් ඇසුරුකරගෙන ඒ ගුණ පිළිවෙත් බුදුපියාණන් වහන්සේ වැඩූ නිසා ඒ වායේ සිත් අලවා වාසය කළ නිසා කියනවා. ‘භගවා කියලා. බුදුරජාණන් වහන්සේම ආදර්ශයක් පිණිස හැම වේලාවේම කැලෑ සේනාසන වල හිටපු බව පැහැදිලි වෙනවා. බොහෝ අවස්ථාවලදී ඒ විතරක් නෙමෙයි.

‘භාවිත කායෝ භාවිත චිත්තෝ භාවිත සීලෝ භාවිත පඤ්ඤෝති භගවා’

භාවිත කයක් ඇති, භාවිත සිතක්, භාවිත සීලයක්, භාවිත ප්‍රඥාවක් ඇති උතුමන් වහන්සේලාට කියන්නේ භගවා කියලා .එතන භාවිත කයක් කියලා කියන්නේ මනාව ප්‍රගුණ කරගත් කයක් .ඒ වාගේම මනාව ප්‍රගුණ කරගත් සීලයක්. මනාව ප්‍රගුණ කරගත් සමාධියක්. මනාව ප්‍රගුණ කරගත්ත ප්‍රඥාවක් තියනවා. ඒක නිසා අපි කියනවා භගවා කියලා . ඊළඟට ‘භාග්‍යවත්’ කියන වචනය භාග්‍යවත් කියලා කියන්නේ බොහෝම ශ්‍රේෂ්ඨයි කියන එකයි. භාග්‍යවත් කියනකොට එතනදි කියවෙනවා.

සිවුරු පිණ්ඩපාත, සේනාසන, බෙහෙත් , ඖෂධ පිරිකර මේ සියල්ලක් ලබන්න තරම් බුදුරජාණන් වහන්සේ භාග්‍යවන්තයි. ඒක නිසා අපි කියනවා භගවා කියලා. ඒ වාගේ ම උන්වහන්සේ භාග්‍යවන්ත වෙනවා. ධ්‍යාන, සමාධි, සමාපත්ති, අභිඥා මේ සියල්ලක් ලබන්ට උන්වහන්සේ භාග්‍යවන්තයි. ඒ වාගේම සතර සතිපට්ඨාන සතර ඉර්ධිපාද, පංචඉන්ද්‍රිය , පංච බල සප්ත බොජ්ඣංග මාර්ග අංග කියන මේ උතුම් මාර්ගයන් ලබන්ට බුදුන් වහන්සේ භාග්‍යවන්තයි. ඒ විතරක් නෙමෙයි.

ප්‍රඥාවෙන් ශ්‍රේෂ්ඨ බැවින් උතුම් බැවින් පඤ්ඥේෂ්වර , ඒ වාගේම උන්වහන්සේ මේ ලෝකයෙහි වාසය කරන කිසිම සත්වයෙකුට සමාන කළ නොහැකි බැවින් ලෝකේෂ්වර, නොයෙක් නොයෙක් කණ්ඩායම්වල අධිපති බැවින් උන්වහන්සේ ගනේෂ්වර දෙවියන්ට වඩා ශ්‍රේෂ්ඨ බැවින් ඒ ‘දේවාති දේව බ්‍රහ්මයන්ට වඩා ශ්‍රේෂ්ඨ බැවින් ‘බ්‍රහ්මාති බ්‍රහ්ම කියන අවස්ථාව තමයි පින්වතුනි අපි භගවා කියලා තෝරා ගන්නේ. ඊට අමතරව සතර පටිසම්භිදා ඥාන, ඉර්ධිපාද ඥාන ආදි ඥානයන්ගේ මේරීමත් මෙතනදී අපි භගවා කියලා කියනවා. එතකොට එහෙනම් අනන්ත, අප්‍රමාණ සීල ගුණය, අනන්ත සමාධි ගුණය,අනන්ත විමුත්ති ඥාන දර්ශන ඥානය මේ හැම දෙයකින්ම බුදුරජාණන් වහන්සේ තුළ පවත්නා බැවින් අපි ‘භගවා’ කියලා කියනවා. එතකොට දැන් භගවා කියන ගුණය යටතේ මේ ආශ්චර්යයමත් භාග්‍ය අපි ඉගෙන ගත්තේ.

ඊට පස්සේ ධර්ම භාග්‍ය, ධර්ම භාග්‍ය කියන්නේ ධර්මයට දක්වන කැමැත්ත, ධර්මය නිර්වාණ ගාමිණි ලෝකෝත්තර ධර්මයට දක්වන ආශාව තමයි ධර්ම භාග්‍ය කියලා කියන්නේ.

ඊළඟට යස භාග්‍ය, බුදුන් වහන්සේ දිව්‍ය ලෝකයට ගියත් දිව්‍ය පිරිසක්, බ්‍රහ්ම ලෝකයට ගියත් බ්‍රහ්ම පිරිසක්, මනුස්ස ලෝකයේ මනුස්ස පිරිසක්. මහණ වුන ශ්‍රමණ පිරිසක්. ඒ වාගේම සේවක, සේවිකාවන්, මේ හැම දෙයක්ම උන්වහන්සේගේ පිරිවර සම්පත්ති වශයෙන් ලැබෙනවා. අපි ඒකට කියනවා යස භාග්‍යයෙන් සමන්වාගතයි බුදුන් වහන්සේ, ඊළඟට ‘ශී‍්‍ර භාග්‍ය’ විශේෂයෙන් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ අසූවක් අනූ ව්‍යංජන ලක්ෂණ ඌර්ණ රෝම ධාතු ප්‍රභා ඒ වාගේම ෂඩ්විධ රෂ්මි මාලා ව්‍යාමප්‍රභා, කේතුමාලාලංකාර සතර දළදා වහන්සේලාගේ ප්‍රභවය ආදි අනේකවිද රූප සම්පත්තිය තමයි ශ්‍රී භාග්‍ය කියලා කියන්නේ, ඊළඟට කාම භාග්‍ය කියලා කියන්නේ කැමැති කැමැති සිතුම් පැතුම් සියල්ලක් ඉටු කරදෙන බැවින් කාම භාග්‍යයක් වෙනවා. ඊළඟට ඒ කැමති දේ ආරක්ෂා කිරීමට දරන උත්සාහයට අපි කියන්නේ ‘ප්‍රයත්න භාග්‍ය’ කියලා . භගවා කියන වචනය කෙටියෙන් අපි වචන තෝරා ගත්තේ එතකොට දැන් මෙතන දි අපි තවත් කරුණු කිහිපයක් මතක් කර ගන්නට ඕනේ. ‘භවේසු වන්තගමනොති භගවා. භවානං අන්ත කරෝති භගවා’ මේ සියලුම භවයන්ගේ කෙළවරට පැමිණි නිසා. සතර අපායේ කෙළවරට උන්වහන්සේ වැඩියා. මනුස්ස ලෝකයෙන් කෙළවර දිව්‍ය ලෝකයෙන් කෙළවර, බ්‍රහ්ම ලෝකයෙන් කෙළවර මේ ලෝකයේම කෙළවරට උන්වහන්සේ වැඩම කරපු නිසා අපි කියනවා ‘භගවා’ කියලා. බුදුරජාණන් වහන්සේගේ අසීමිත දේශන කෞෂල්‍යකින්, රූප කාය සම්පත්තියකින් මහ පින් ඇති කෙනෙක්. එතකොට මහා පින් ඇති කෙනෙක් නම් උන්වහන්සේගේ රූප කාය සම්පත්තිය තරම් පින් ඇති කෙනෙක් නෑනේ.