Print this Article


මව්පිය ගුණ වන්දනාව

මව්පිය ගුණ වන්දනාව

"බෝසතාණන් වහන්සේ මව්පිය උපස්ථානය ඉතා උසස් ලෙස ප්‍රගුණ කළ හ. අන්ධ වූ මව පෝෂණය කළ අයුරු මාතුපෝසක ජාතක කතාවෙන් පෙනේ. සාම ජාතකය ද මීට උදාහරණ ය. බුදුරදුන් උතුම් වූ බුද්ධත්වයට පත් ව මව්පිය උපස්ථානයේ ඇති වැදගත්කම ආදර්ශයෙන් පවා ලෝකයාට පෙන්වා දුන්හ."

පින්වත්නි,

බුදුරජාණන් වහන්සේ විසින් මව්පිය දෙදෙනා හඳුන්වා දෙන ලද්දේ බ්‍රහ්ම, පුබ්බාචරිය, ආහුණෙය්‍ය, පජාය අනුකම්පක යන උතුම් ශ්‍රේෂ්ඨ නාමයන්ගෙන් ය.

මහා බ්‍රහ්මයා මේ ලෝකය දෙස බලන්නේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සතර බ්‍රහ්ම විහරණ ගුණ ධර්මයන්ගෙන් යුක්තවයි. මව්පියන් ද තම දූ දරුවන් දෙස බලනුයේ මෙම ධර්ම කරුණු සතර අනුව ය. එබැවින් බ්‍රහ්ම යනු මව්පියන්ට නමකි. මෙත්තා යනු මෛත්‍රියයි. මෛත්‍රී ගුණය මව ගේ සහ පියා ගේ හදවත් තුළ නිරන්තරයෙන් ම පවත්නේ ය. කරුණා යනු අනුන් ගේ දුක දැක සද් පුරුෂයන් ගේ හදවතෙහි ඇතිවන අනුකම්පා සහගත ස්වභාවය යි. දුකට පත් වූ තම දරුවෙකු හෝ වෙනයම් පුද්ගලයෙකු දැකීමෙන් ස්වභාවයෙන් ම හදවත උණුවීම මෙයින් අදහස් වෙයි. ස්වකීය දරුවන් හොඳින් ශිල්ප ශාස්ත්‍ර ඉගෙන දියුණු වී සිටිනු දැකීමෙන් මව්පියන්ගේ සිත්වල බලවත් සොම්නසක් උපදියි. එය මුදිතා ගුණය ලෙස දැක්විය හැකි ය. උපේක්ඛා යනු මැදහත්බවයි. තම දරුවන්ගෙන් සිදුවන ලොකු කුඩා වරදට පවා මව්පියෝ සමාව දෙති. දරුවන් කෙරෙහි මැදහත් ව බලති. මෙසේ මවුපියන් තුළ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සතර බ්‍රහ්ම විහරණ නමැති උතුම් ගුණධර්ම පවතින බැවින් ඔවුහු මහා බ්‍රහ්ම යනුවෙන් හැඳින්වෙති.

පුබ්බාචරිය යනු ද මව්පියන්ට නාමයකි. තම දරුවන්ට ප්‍රථමයෙන් ම ගුණධර්ම උගන්වන පිරිසක් වන බැවින් මවුපියන් පූර්වාචාර්ය නමින් බුදු දහමේ හඳුන්වා ඇත. එ බැවින් සෑම මව්පිය කෙනෙකු ගේ ම පරම යුතුකම වන්නේ ළමා පරපුර ගුණවත් කිරීම සඳහා යහපත් දේ කියා දීම, සාරධර්මවලින් පෝෂණය කිරීම, නිති පන්සිල් රකිමින් ජීවත්වන ලෙස අවවාද කිරීම හා පවට බිය ඇති කිරීම ආදිය තම දූ දරුවන්ට කියා දීමයි. මව්පියන් විසින් දරුවන් කෙරෙහි ඉටු කළ යුතු ඉහළම යුතුකම් ලෙස බුදුරජාණන් වහන්සේ පෙන්වා දී තිබෙන්නේ එම කාර්යභාරය යි. පූර්වාචාර්ය යන උතුම් නාමය ව්‍යවහාර කළ හැක්කේ එම යුතුකම් කොටස ස්වකීය දරුවන් කෙරෙහි ක්‍රියාත්මක කරන උතුම් මව්පියන්ට පමණි.

ආහුණෙය්‍ය යනු ද මව්පියන්ට නාමයකි. ඉහත විස්තර වූ පරිදි මවුපියෝ දරුවන්ට බොහෝ උපකාර ඇත්තෝ ය. ජීවිතය රකින්නෝ ය. පෝෂණය කරන්නෝ ය. මේ ලෝකය දක්වන්නෝ ය. මෙසේ මහෝපකාරී වූ මව්පියෝ ආකාසය සේ අනන්ත වූ ගුණයෙන් යුක්ත වූවාහු වෙති. එ බැවින් ඔවුහු දරුවන් විසින් වෙහෙස මහන්සි වී පිළියෙළ කළ සියලු පූජා දුර සිට වුව ද ගෙනවුත් පිළිගැන්වීමට සුදුසු බැවින් ආහුණෙය්‍ය නම් වෙති.

‘පජාය අනුකම්පක’ යනු ද මව්පියන්ට නාමයකි. මව්පියන් ස්වකීය දරුවන්ට එක සිතින් ම අනුකම්පාව දක්වන හෙයින් පජානුකම්පක ලෙස හැඳින්වෙයි. තම දරුවන් තමනට කෙතරම් වද හිංසා දුන්න ද, මව්පියෝ ඔවුනට අනුකම්පා කරති. මෙකී කරුණු හේතුකොටගෙන බුදුරජාණන් වහන්සේ මව සහ පියා හැඳින්වූයේ ගෙදර බුදුන් ලෙස යි. එ වැනි උතුම් නාමයක් මව්පියන්ට ව්‍යවහාර කිරීම තුළින් ම මෙම දෙපළ කෙතරම් උතුම් දෙපළක් ද යන වග අපට අවබෝධ කරගත හැකි ය.

බෝසතාණන් වහන්සේ මව්පිය උපස්ථානය ඉතා උසස් ලෙස ප්‍රගුණ කළ හ. අන්ධ වූ මව පෝෂණය කළ අයුරු මාතුපෝසක ජාතක කතාවෙන් පෙනේ. සාම ජාතකය ද මීට උදාහරණ ය. බුදුරදුන් උතුම් වූ බුද්ධත්වයට පත් ව මව්පිය උපස්ථානයේ ඇති වැදගත්කම ආදර්ශයෙන් පවා ලෝකයාට පෙන්වා දුන්හ. බුදුරදුන් මෙලොව ඉපදීමෙන් සතියක් ගිය තැන මහාමායා දේවිය කලුරිය කළා ය.

බුද්ධත්වයට පත් උන්වහන්සේ දෙව්ලොවට වැඩමකොට මාතෘ දිව්‍ය රාජයාට විජම්පිටකයෙන් හෙවත් අභිධර්මයෙන් ධර්ම දේශනා කළහ. මාතෘ දිව්‍ය රාජයා එයින් සෝවාන් ඵලයෙහි පිහිටියේ ය. එසේ ම, සුද්ධෝදන පිය රජු මිය පරලොව යාමට ආසන්න කාලයේ බුදුරජාණන් වහන්සේ රජ මාලිගයට වැඩම කොට මහා ධර්මපාල ජාතකය දේශනා කොට මිය යාමට පෙර පිය රජු රහත් ඵලයට පත් කර වූ හ.

එසේ ම සුළු මව වූ මහා ප්‍රජාපතී ගෝතමී දේවියට පැවිදි උපසම්පදාව ලබා දී උතුම් වූ රහත් ඵලයට පත්කරන ලදහ. එසේ ම මහාප්‍රජාපතී ගෝතමී රහත් තෙරණින් වහන්සේ පිරිනිවන් පෑමට ආසන්න මොහොතේ බුදුරදුන් වැඳ අවසර ගෙන ඒම සඳහා දෙව්රම් වෙහෙරට ගොස් ඒ බව සැලකොට නැවත පැමිණෙන විට බුදුරදුන් තම සුළු මෑණියන් පසුපසින් වැඩම කළ සේක. එය මව්ගුණයට කළ ගෞරවනීය උපස්ථානයකි.

සැරියුත් මහරතන් වහන්සේ පිරිනිවන් පෑමට ආසන්න අවස්ථාවේ දී තම මව වූ සාරි බැමිණිය ගේ මිසදිටු බව නැතිකර ධර්මය දේශනා කොට මව උතුම් වූ සෝවාන් ඵලයට පත් කළහ. මෙ වැනි ආර්ය උතුමන් පවා තම ශ්‍රේෂ්ඨත්වය නො සලකා ස්වකීය මව්පියන්ට උපස්ථාන කිරීමතුළින් එම දෙපළගේ ශ්‍රේෂ්ඨත්වය ඉතා හොඳින් තේරුම් ගත හැකි ය.