Print this Article


මාදෝවිට පඤ්ඤාකිත්ති නා හිමි

මාදෝවිට පඤ්ඤාකිත්ති නා හිමි

හෝමාගම පුරාණ විහාරාධීශ්වර, විශ්‍රාමලත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ, සීනාදි සිව් කෝරළයේ ප්‍රධාන සංඝනායක සද්ධර්ම වාගීශ්වර ධර්ම කීර්ති ශ්‍රී ශාසනජෝති ,රත්නවිභූෂණ ශාස්ත්‍රවේදී මාදෝවිට පඤ්ඤාකිත්ති නාහිමිපාණන් වහන්සේ 2018 ජූලි 22 දින අපවත් වී වදාළහ. මෙම ලිපිය ඒ නිමිත්තෙනි.

ඌව පළාතේ බදුල්ල මාදෝවිට ගම්පියසේ දී 1941 මැයි 10 වෙනි දින නවරත්න මුදියන්සේලාගේ අප්පුහාමි නමින් ජන්මලාභය ලැබීය. නවරත්න මුදියන්සේලාගේ කිරිබණ්ඩා මහතා සහ නවරත්න මුදියන්සේලාගේ බණ්ඩාර මැණිකේ මාතාව උන්වහන්සේගේ සදාදරණීය මව්පියන් වූ හ. සිප් සතර හදාරන්නට කල බුලුලන්ද මහා විද්‍යාලයට ඇතුළත් කළ ද ඒ කුඩා දරුවාගේ සිත වඩාත් සමීප වූයේ බුදුසසුන කෙරෙහි ය. 1952 දී බිබිලිගමුවේ ගුණරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ හා මාදෝවිට පේමානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආචාර්යත්වයෙන් මාදෝවිට ශ්‍රී විජයාරාමයේදී මාදෝවිට පඤ්ඤාකිත්ති නමින් සසුන්ගත විය.

තම ආචාර්යෝත්තමයාණන් වහන්සේලා සමීපයෙහි ශාසනික වත් පිළිවෙත් පුරමින් බොදු සැදැහැතියන්ගේ ආශිර්වාදයට ලක්ව විහාරස්ථානයෙහි ම කෙටි කලක් වැඩ සිටි එම සාමණේරයන් වහන්සේ පිරිවෙන් අධ්‍යාපනය සඳහා දියතලාව සුධර්මාලංකාර විද්‍යායතන පිරිවෙනට ඇතුළත් වූහ. එහි දීප්තිමත් ශිෂ්‍ය හිමි නමක් ලෙස බණ දහම් ප්‍රගුණකොට ගුණ දහම් වඩවා මූලික පිරිවෙන් අධ්‍යාපනය හමාර කළේය. පසුව පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනට වැඩිදුර අධ්‍යාපනය සඳහා ඇතුලත් වූහ. ප්‍රාචීන භාෂා සහ බෞද්ධ ධර්මය හැදෑරූ නාහිමියෝ 1964 දී කැලණිය විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයට ඇතුලත් විය. එවකට ලක්දිව මහා පඬිවරුන් ලෙස කීර්තිමත්ව වැඩ විසූ කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නා හිමි, මහාචාර්ය කොටහේනේ පඤ්ඤාකිත්ති, නා හිමි, මහාචාර්ය බඹරැන්දේ සිරිසීවලී නාහිමි වැනි වියත් බහුශ්‍රැත යතිවරුන් සෙවනේ ශිල්ප හැදෑරූ පඤ්ඤාකිත්ති හිමියෝ කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදි උපාධිය ලබා ගත්හ.

ස්‍යාමෝපාලි වංශික මහානිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවෙන් (කෝට්ටේ පාර්ශ්වයේ) උපසම්පදාවට පත් වූයේ, 1968 දී බිබිලිගමුවේ ඤණරතන මාහිමි ද ඌව නැගෙනහිර පළාතේ ප්‍රධාන සංඝනායක රත්කැරැව්වේ මේධානන්ද නාහිමි ද ආචාර්යන් වහන්සේලා ලෙස ගුරුතන්හි තබා ගනිමිනි.

මේ වනවිට හෝමාගම පුරාණ විහාරස්ථානයේ ආගමික කටයුතු සිදු කිරීම සඳහා ස්ථිරව පත් කෙරුණු ස්වාමීන් වහන්සේ නමක් නො වූහ. මේ පිළිබඳ හෝමාගම පුරාණ විහාරස්ථ දායක සභාව පෝරේ ශ්‍රී මහා විහාරස්ථානයට ගොස් කළ ආයාචනයෙන් හා ආරාධනයෙන් කලටුවාවවත්ත පුරාණ විහාරාධිපති පිටිපන ඤාණිස්සර මාහිමිපාණන්ගේ අනුශාසනා පරිදි මාදෝවිට පඤ්ඤාකිත්ති හිමිපාණන් වහන්සේ හෝමාගම පුරාණ විහාරස්ථානයට වැඩම වූහ.

තම ආචාර්යයන් වහන්සේලාගේ ආශිර්වාදය මැද හෝමාගම පුරාණ විහාරස්ථානයෙහි ආගමික සාමාජික සේවාව අරඹා ප්‍රදේශවාසි ජනතාව ඒකරාශි කරමින් ඔවුන් වෙත නායකත්වය ලබාදීම නිසා සියලු අංගයන්ගෙන් සමන්විත විහාරස්ථානය ප්‍රදේශයේ දීප්තිමත් ආගමික සිද්ධස්ථානයක් බවට පත්විය.

නාහිමියන්ගේ සාමයික හා සාමාජික සේවාවේ අග්‍ර ඵලයක් වූයේ තත්විහාරස්ථ විවිධ, ක්‍රියාකාරි සංවිධානයි. ප්‍රදේශයේ යොවුන් පෙළ නිසි මඟ යොමුකරවමින් සාමයික හැඟීම් පුබුදුවමින් ක්‍රියාත්මක වන තරුණ බෞද්ධ සමිතිය කැපී පෙනෙන සේවයක් ඉටුකරයි. බෞද්ධ කාන්තාවකගේ සමාජ කාර්ය භාරය හඳුනා ගනිමින් විශාල මෙහෙයයක් ඉටු කරන විශාඛා කුලඟන සමිතිය ද මෙහිදී සඳහන් කළ යුතුම ය.

නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් පවත්වන සිරි සීවලී ඉරුදින දහම් පාසල විශාල සිසු පිරිසකගේ ගුණ නැණ වැඩීමේ සදහම් නිකේතනයකි. මහින්දෝත්සව සමිතිය මගින් මෙහෙයවන මිහිඳු පෙරහර ප්‍රදේශයට ආශිර්වාදයකි.

හෝමාගම විද්‍යාවර්ධන පිරිවෙනින් ඇරඹූ ගුරු ජීවිතයට අනුව 1975 දී එම පිරිවෙනෙහිම පරිවේනාධිපතින් වහන්සේ ලෙසට පත්වූහ. 1976 දී පාසල් ගුරු සේවය අරඹා කළුපහන මහා විද්‍යාලය, ඕපනායක විද්‍යාකර විද්‍යාලය හා හෝමාගම මහා විද්‍යාලය යන විද්‍යාලයන් හි ධර්මාචාර්යවරයකු ලෙස ක්‍රියා කළහ. එම සේවයේ කුසලතා පිරිපුන් බව නිසාම නාහිමිපාණන් වහන්සේ 1988 සිට බුද්ධ ධර්මය ගුරු උපදේශක සේවයෙහි වටිනා මෙහෙවරක් ඉටු කර උන්වහන්සේ විශ්‍රාම ලබන විට හෝමාගම අධ්‍යාපන කලාපයේ බුද්ධ ධර්ම විෂය භාර සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ධුරයද හෙබවුහ.

විදේශ රටවල් කීපයකම ධර්ම චාරිකාවේ යෙදුණහ. භාරත දේශයට කීප වරක්ම වැඩම කළ උන්වහන්සේ බුද්ධගයාවේ වස් සමයක එහි වැඩ සිටියහ. තායිලන්තය වැනි ථෙරවාදි බෞද්ධ රාජ්‍යයන්හි කිහිපවිටක් චාරිකාවේ යෙදුණාහ. සිංගප්පූරුව , මැලේසියාව වැනි රාජ්‍යවල බෞද්ධ ජනතාවගේ ආරාධනයෙන් වැඩමවා ධර්මදූත සේවාවේ යෙදී ඇත. මාදෝවිට නාහිමියන්ගේ උදාර ජාතික ශාසනික මෙහෙවර නිරන්තර පැසසුමට ලක්කරමින් 1993 දී කෝට්ටේ කල්‍යාණි සාමගී‍්‍රධර්ම මහා සංඝ සභාව වෙතින් උන්වහන්සේ “ශ්‍රී සද්ධර්මවාගීශ්වර” යන ගෞරව නාමයෙන් පුදනු ලැබී ය.

1998 පාමංකඩ ගංගාරාමස්ථ “ධර්ම ගවේෂණ පර්ෂදය” උන්වහන්සේ වෙත “ධර්ම කීර්ති ශ්‍රී ශාසන ජෝති” යන ගෞරව නාමය පුදනු ලැබීය. හෝමාගම ගලවිල ශ්‍රී ගෞතම ශාසන වර්ධන සමිතිය ‘රත්න විභූෂණ” යන ගෞරවනාම සම්මුතිය නාහිමිපාණන් වෙත පුදනු ලැබීය.

2001 කෝට්ටේ ශි‍්‍ර කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාව වෙතින් සීනාදී සිව්කෝරළයේ ප්‍රධාන සංඝනායක පදවියෙන් ද පිදුම් ලදහ.යුග යුග නොනිමි මෙහෙවරක දීප්තිය, කීර්තිය ශේෂ කොට නාහිමිපාණෝ 2018 ජූලි 22 දින අපවත් වී වදාළහ.

මාදෝවිට පඤ්ඤාකිත්ති නායක මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට නිවන් සුව ලැබේවා.