Print this Article


කොළඹ දිසාවේ පිරිවෙන් ශිෂ්‍ය හිමිවරු ඇගයීමක්

කොළඹ දිසාවේ පිරිවෙන් ශිෂ්‍ය හිමිවරු ඇගයීමක්

ධර්ම විනයධර භික්ෂූන් වහන්සේ අනාගත ශාසන භාරධාරී මහ තෙරුන් වහන්සේ වෙති. එබඳු භික්ෂූන් වහන්සේ සසුනඹර එකලු කරති. ධර්ම ශාස්ත්‍රීය අධ්‍යාපනය ලබන ස්වාමීන් වහන්සේ නැණ ගුණයෙන් මෙන් ම ගුණ නුවණින් ද පොහොසත් වෙති. එවිට උන් වහන්සේ සමාජයේ ද මාර්ගෝපදේශකයාණන් වෙති. එබඳු යතිවරයන් වහන්සේලා සසුනඹරට එක් කරන මෙරට පිරිවෙන් අධ්‍යාපනය මඟින් සසුනටත්, රටටත්, සමාජයටත් සිදු කරනුයේ ආදර්ශවත් මෙහෙවරකි.

ලද දැනුම ඇගැයීම ද පැසසිය යුතු ය. ඉකුත් දා (ඔක්තෝබර් 05) එබඳු මහ උළෙලක් පැවැත්විණි. ඒ කොළඹ දිස්ත්‍රික්කයේ පාරිවේණික භාෂා හා සාහිත්‍ය තරග ත්‍යාග සහ සහතික පත් ප්‍රදානෝත්සවය, මොරටුව සර්වෝදය විශ්ව සමාධි ශාලාවේ දී පැවැති අවස්ථාවේදී ය. පූර්ව ප්‍රාථමික, ප්‍රාථමික, කනිෂ්ඨ, ජ්‍යෙෂ්ඨ ආදී අංශ හතරකින් වාචික හා ලිඛිත තරග අතුරෙන් ධර්ම දේශනා, සිංහල කථික, පාලි කථික, සංස්කෘත කථික, ඉංග්‍රීසි කථික, ද්‍රවිඩ කථික, ගද්‍ය රචනා, චිත්‍ර, හසුරු කුසලතා ආදී විවිධ අංශයන්ගෙන් ජයග්‍රහණ ලැබූ කොළඹ දිස්ත්‍රික්කයේ පිරිවෙන් රැසක භික්ෂූන් වහන්සේලාට සහ පිරිවෙන් ගිහි සිසුන්ට මෙහි දී මුදල් ත්‍යාග හා සහතික පත් පිරිනැමිණි.

එම සහතික පත් ප්‍රදානෝත්සවයට උරදුන් ගෞරවනීය ශාස්ත්‍රවේදී ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත කරම්බන්කුලමේ සිරිධම්ම හිමියන්ගේ කැපවීම හා උන්වහන්සේගේ ඉල්ලීම මත පිරිවෙන් ස්වාමීන් වහන්සේලා දිරි ගැන්වීම උදෙසා ජයග්‍රාහී පළමු ස්ථානයට රුපියල් තුන්දහසක් ද, දෙවන ස්ථානයට රුපියල් දෙ දහසක් ද, තෙවන ස්ථානයට රුපියල් දහසක ද මුදල් ත්‍යාග පිරිනැමීම මෙවර උත්සව සභාවේ සුවිශේෂී සිදුවීමකි. මෙහි සංවිධාන කටයුතු වෙනුවෙන් අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සහ සම්පත් දායකත්වය මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතාගේ අනුග්‍රහයෙනි.

පිරිවෙන් අධ්‍යාපනය නඟා සිටුවීම වෙනුවෙන් කෘත්‍යාධිකාරී පරිවේණාධිපති සංගමය මඟින් හිටපු සම්බන්ධීකරණ ලේකම් විතාරන්දෙණියේ මේධානන්ද හිමි, ත්‍රිපිටක ධර්මය පිළිබඳ හිටපු ගුරු උපදේශක වටගෙදර විමලසාර හිමි, මූලික පිරිවෙන් අධ්‍යාපන විභාගයේ දී (2017) කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය සහ මුලු දිවයිනේ ම තෙවන ස්ථානය ලැබූ නිකපොත සුමනරක්ඛිත හිමියන්ට ද උපහාර පිදීමක් සිදු විය. තව ද මූලික පිරිවෙන් අධ්‍යාපනය සාර්ථක කර ගැනීමට කොළඹ දිස්ත්‍රික් වෛකල්පිත ගුරු උපදේශක දර්ශනපති දිවුරුම්වෙල විනීත හිමි සහ එන්. එස්. ධම්මික බණ්ඩාර මහතා විසින් ලියන ලද ‘මූලික සමාජ විද්‍යා කෘතිය’ උත්සව සභාවේ මුලසුන හෙබ වූ මාලිගාකන්ද විද්‍යෝදය පරිවේණාධිපති බස්නාහිර ගාලු දෙපළාතේ ප්‍රධාන සංඝනායක දර්ශනපති රාජකීය පණ්ඩිත බලන්ගොඩ සෝභිත නා හිමියන්ට ද, පළාත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ කෙරදේවල පුණ්‍යරතන හිමියන්ට හා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානයක කරු ජයසූරිය මහතාට සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතාට ද පිරිනමන ලදී.

ධර්මය ව්‍යාප්ත කිරීමට භාෂා ඥානය මහත් පිටිවහලකි. හෙට දවසේ සුපිපෙන පුෂ්පයන් සේ සසුනඹර දිදුළවීමට සමත් පිරිවෙන් ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලාගේ හැකියාවන් ඔප් නංවමින් පාලි, ඉංග්‍රීසි, සිංහල, කවි, ද්‍රවිඩ භාෂා ආදී විවිධ අංශයන්ගෙන් උත්සව සභාව ප්‍රබෝධමත් කළ අයුරු විශිෂ්ට විය.එම උත්සව සභාවට කෘත්‍යාධිකාරී පරිවේණාධිපති සංගමයේ සභාපති කැකුණාවෙල වනරතන නා හිමි, කෙරදේවල පුණ්‍යරතන නා හිමි, පළාත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ මාදෝවිට වජිර බුද්ධි නා හිමි, උත්සව සභාවේ සභාපති කරම්බන්කුලමේ සිරිධම්ම හිමි , හිටපු සම්බන්ධීකරණ නිලධාරී විතාරන්දෙණියේ මේධානන්ද හිමි, පිරිවෙන් සංගමයේ ලේකම් ඇලදූවේ පඤ්ඤාතිලක හිමි , ගුරු උපදේශක හසලක අත්ථදස්සී හිමිවරු සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායක කරු ජයසූරිය මහතා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහත්වරු ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස සහභාගි වූ අතර ගිහි පැවිදි ආරාධිත සම්භාවනීය අමුත්තන් අතින් ත්‍යාග හා සහතික පත් පිරිනැමිණි.