Print this Article


පහන් සිතක කවි

එතෙර වනු මැන

තිදොර රැක හික්මෙන
නිතර කර බණ භාවනා
එතෙර ගැන දැනගෙන
සසර කතරින් එතෙර වනු මැන

කෙලෙස් දුරු කරමින
නිකෙලෙස් නිරාමිස වුණ
මුනිගුණ හැඳින දැන
තනි තනිව ඔබ නිවන් යනු මැන

****

සසර දුක

මහ සව් කසුප් තෙරිඳුන් පින් කෙතක් වුණ
බුදු හිමි දවස රජගහපුර වසන දින
අපමණ දනෝ, දෙලොව සැනසුම කැමැති වුණ
ලැබුවෝ සසර දුක දුරු කර ගැනුමෙ පින

****

නිවන

බුදු හිමියන් දෙසූ සිරි සදහම් පවර
ලොව සත අඳුර නිති දුරු කරනා රිවිර
උදා හිරු රැසින් විකසිත වන තඹර
ලෙස පුබුදයි සත සිත නිවනේ තඹර

****

යශෝධරා දේවී

සසර පුරාවට පෙරුම් පුරා විත්
ගෞතම බුදු සසුනේ ඉපදී
සිදුහත් කුමරුන් හා සසරේ ආ
යශෝධරා දේවී

ඉපදී භවයක කිඳුරු යුවළ සේ
සිටියේ පෙමින් බැඳී
කිඳුරිය දුටු රජු රාගෙන් මත් වී
විද්දා කුමරුට ඊ
විළාප නැඟුවා කුමරු ළඟ වැටී
ඇය යශෝධරා දේවී

බිසවුන් ලෙස එක් භවයක ඉපදී
වෙස්ස නිරිඳු ළඟ තුටින් සිටී
පතා බුදු බවක් නිරිඳුන් සසරේ
ඇත දරු දෙදෙනව රජු දන් දී
දැනගත් දා ඈ හඬා වැළපුණා
ඇය යශෝධරා දේවී

****

දිවි මඟට

ආපෝ තේජෝ ද වායෝ පඨවි දැන
කෝප ලෝභ රා ගිනිවැල් නිවනු මැන
නතර නො වන බව ගමනින් මිඳුන දින
උතුරවනු මැනව මෙත් මුදිතා දී ගුණ

ඇස් ඉස් මස් ද කෙස් ලොම් තව අතුණු බහන්
පස් කඳ ලබා ගෙන මේ දුක අතැර දමන්
රැස් කර නො ගෙන අත් හරිමින් ගමන යමන්
විස්තර බණ පොතින් මැදි මාවතට වරෙන්

රූප, ශබ්ද, ගන්ධ, රස සහ පහස සොයා
ලෝබ කමින් කොපෙන් රාගයට ගියා
ඈත සසර කළ පිනකින් ලැබූ කයා
බීත සසර දුක දුරු කළ යුතු යි සොයා

දහමින් දකිනු මැන ලැබගත් මෙමනු කය
දෙතිසක කුණුප පිරවූ නව දොරක් එය
බිය සැක මසුව අසරණ භාවයට ගිය
ගිය ගිය හැම තැන ම මෝහය පිරුම විය

****

සැනසුම සොයා

නිර්මල බුදු දහම පවතින දෙරණ මගේ
දෙව් සුර බඹුන් සුරකිති සුර විමන වගේ
පන් සිල් සුරකිමින් සදහම් අමා ගඟේ
කිමිදී නිවන් පුර දුටුවොත් සතුට නැඟේ

සිත කය වචන සංවර කර සැමට මෙත
පතමින් දිවි ගෙවන සතුටින් අපරිමිත
සතහට ගැටලු බාධක අවහිර ද නැත
එතකොට සිතට සැනසිලි සුව ලැබෙනු ඇත

වරදින් මිදී යහපත් මිනිසෙකු විලස
පරදා සියලු කෙලෙසුන් නොමැති ව අලස
පෙර මඟ දිලෙන අරි අට මග මුතු පලස
තරණය කර දකිමු නිවනෙහි රස කලස

****

බලා හිඳිමි

සඳේ රුව පරදවයි
මගේ රූ සිරි දිළෙයි
ඔබේ පෙම් හඳ හිමි යි
‘කලණි ජනපද’ මම යි
සුවඳ ගා පේවී
තැබූ පොට්ටු නළලේ හී
මැකීලා යාවී
එන්න ඔබ නො පමාවී
කිරුළු පැළදේවී
රටම තුටු වේවී
සසරෙ ආ පේවී
මම යි අග දේවී
කුමරුනේ ‘නන්ද’
දිනයි ආනන්ද
නො සිතන්නේ මන්ද
ඉවස ගනු පුළුවන්ද

****

සැනසුම

ගොදුරට හසුව යන විට සසරෙහි ගමන
සදහම් අමා ඔසුවෙන් නිම වෙයි ගිමන
තණ්හා මාන සිත බැඳි බව බැමි සිඳින
සැනසුම් සදා කල් ගෙන දෙනු ඇත නිවන