Print this Article


ඛදිරවනීය රේවත මහරහතන් වහන්සේ

ඛදිරවනීය රේවත මහරහතන් වහන්සේ

මගේ ලොකු පුත් උපතිස්සයන් සියලු යස ඉසුරු අතහැර පැවිදි විය. ඒ පමණක් නොව මගේ දියණියන් තිදෙනා ද පැවිදි වු හ. දැන් මට පිහිට පිණිස සිටිනුයේ රේවත පුතා පමණි.

රේවත මහ රහතන් වහන්සේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ සමයෙහි දී හංසවතී නුවර නාවික පවුලක ඉපදී මහා ගංගාවක මහතොටුපළක නාවික කටයුතු සිදුකළහ.

දිනක් ශ්‍රාවක සඟරුවන පිරිවරාගත් පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ගඟෙන් එතෙර වීම පිණිස එතැනට වැඩම කළහ. අතිශයින් ම පැහැදුණු සිතින් යුක්ත නාවික තෙමේ අනෙකුත් නාවිකයන්ගේ ද සහාය ඇතිව නැව් සමූහයක් එක පෙළට තබා මහත් වූ පූජා සත්කාර කරමින් ශාස්තෘන් වහන්සේ ප්‍රමුඛ ශ්‍රාවක සඟරුවන ගංගාවෙන් එතෙර කළහ.

පදුමුත්තර බුදුරජාණන් වහන්සේ කුළුණු සිතින් නැවියාට අනුග්‍රහ කරනු පිණිස එක්තරා ශ්‍රාවකයන් වහන්සේ නමක් ආරණ්‍යවාසී භික්ෂූන් වහන්සේලා අතර අග තනතුරට පත්කළහ. එය දුටු නාවික තෙමේ වඩ වඩාත් පැහැදුණු සිතින් බුදුන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයට දන් පැන් පූජා කළේ ය. ඔහු එතැන් පටන් සසර දුකින් මිදීම පිණිස කුසල් දහම් රැස් කරමින් දෙව් මිනිස් ලොව උපත ලබා, අපගේ බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සමයේ මගධ රට නාලක නම් ගමේ රූපසාරි බැමිණියගේ කුස පිළිසිඳ ගත්තේ ය. සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ ළා බාලතම සොහොයුරා ලෙස ඉපදී රේවත කුමරු නමන් ප්‍රසිද්ධ විය .

සාරිපුත්ත මහ රහතන් වහන්සේට චුන්ද, උපසේන, රේවත නමින් සහෝදරයින් තිදෙනෙකුත් සිටියහ. එයින් චුන්ද උපසේන දෙදෙනාත් පැවිදි බව ලබා සම්බුදු සසුනෙහි නිකෙලෙස් රහතන් වහන්සේලා බවට පත්වුහ. නිවසේ ඉතිරිව සිටියේ රේවත කුමරු පමණි. එම නිසා සැරියුත් තෙරුන්ගේ මෑණියන් වූ සාරි බැමිණිය මෙසේ කල්පනා කරන්නට වුවා ය. මගේ ලොකු පුත් උපතිස්සයන් සියලු යස ඉසුරු අතහැර පැවිදි විය. ඒ පමණක් නොව මගේ දියණියන් තිදෙනාද පැවිදි වුහ. දැන් මට පිහිට පිණිස සිටිනුයේ රේවත පුතා පමණි. නිසි කලවයස පැමිණි විට රේවත පුතු සඳහා සුදුසු විවාහයක් කරදිය යුතුබව හැඟුණි. නන් දෙසින් සුදුසු කුලකුමරියක් සෙවීමට සාරී බැමිණිය ඉමහත් වෙහෙසක් ගත්තාය. එහෙත් භයානක සසරෙහි ඇති බියකරු බව සැරියුත් මහරහතන්වහන්සේ විසින් ස්වකීය මලණුවන්ට පැහැදිලි කර දී තිබුණි. ක්ෂණ සම්පත්තියේ දුර්ලභ බවත්, කල්‍යාණ මිත්‍ර ඇසුරෙහි වටිනාකමත් සහ සම්බුදු සසුනෙහි පැවිදිව නිවන් අවබෝධ කර ගැනීම අතිශය දුර්ලභ බවත්. දැන සිටි මෙම කුමාරයාගේ සිත පිහිටා තිබුණේ උතුම් පැවිදි බව ලබා ගැනීමට ය. රේවත කුමරු ස්ථිරව ම පැවිදි වන බව දත් සාරිපුත්ත මහරහතන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට දන්වා සිටියේ, මගේ බාල සොහෝදරයා වන රේවත කුමන හෝ මොහොතක ගිහි ගෙයින් නික්ම මා පැවිදි කරන ලෙස ඉල්ලා සිටිවිට දෙවරක් නො සිතා මගේ මලණුවන්ට උතුම් පැවිද්ද ලබා දෙන ලෙස ය. දින සති මාස ගෙවී ගිය පසු රේවත කුමරුගේ විවාහ මංගල දිනය ළඟා විය. අතිශය භයානක වූ සසරට තව තවත් ලං වීමට අකැමැති වූ කුමරු, මංගල රථයෙන් මනාලිය කැඳවාගෙන එන ගමනේ දී කැලෑබද ප්‍රදේශයක දී රේවත කුමාරයා උපක්‍රමශීලි ව රථයෙන් බැස ශරීර කෘත්‍ය කිරීමට අවශ්‍යය බව පවසා පිරිසෙන් වෙන් ව කැලය තුළට පිවිසුණේ ය. කැලයට ඇතුළු වූ කුමරු මිරිවැඩි සඟල සහ මංගල ආභරණ ගලවා දමා වනය මැද්දෙන් එක පිම්මට දුවගෙන ගොස් ආරණ්‍යවාසී භික්ෂුන් වැඩ සිටින සේනාසනයේ නතර විය. කුමරුගේ ඉල්ලීම පරිදි ඒ ස්වාමීන් වහන්සේලා රේවත කුමරු පැවිදි උපසම්පදා කළහ. ගෞතම බුදු සසුනේ උතුම් පැවිදි බව ලැබූ රේවත හිමියන් ධර්ම විනය ඉගෙනගෙන හුදකලාවේ බවුන් වැඩීම පිණිස තිස් යොදුනක් දුරින් පිහිටි පතොක් වනයකට වැඩම කළහ. එතැන් පටන් කටුක වනයක වාසය කරන නිසා ඛදිරවනීය රේවත තෙරුන් යැයි ප්‍රකට වු හ. එම වනයේ වාසය කළ පළමු වස් කාලය තුළ දී ම සියලු කෙලෙසුන් නසා අරහත්වයට පත් වන්නට තරම් උන්වහන්සේ භාග්‍ය සම්පන්න වූහ. වස් කාලය අවසන් වී බුද්ධ ප්‍රමුඛ සංඝරත්නය දෙවි මිනිසුන්ගේ යහපත පිණිස දහම් චාරිකාවේ යෙදෙන කාලය උදා වු කල, සාරිපුත්ත තෙරුන්ගේ ඉල්ලීම පරිදි බුදුරජාණන් වහන්සේ අසූමහා ශ්‍රාවකයන් වහන්සේලා ප්‍රමුඛ ශ්‍රාවකයන් පන්සියයක් සමඟ ඛදිරවනීය රේවත තෙරුන් වැඩ සිටින වනාන්තරය බලා වැඩම කළහ. මනුෂ්‍ය වාසයෙන් තොර, තිස් යොදුනක් පමණ වූ අමනුෂ්‍යයන් අරක්ගත් ඒ දුෂ්කර මාවතේ වැඩම කරන විට ප්‍රත්‍යලාභීන් අතර අග්‍ර වූ සීවලි මහරහතන් වහන්සේගේ පුණ්‍යානුභාවයෙන් ඉතා ප්‍රණීත ලෙස දානමානාදී සිව්පසය ලැබුණාහ. දෙවිවරුන් විසින් යොදුනක්, යොදුනක් පාසා ආවාස, සක්මන් මළු, දාන ශාලා මවා තිබීම විශේෂත්වයකි. දෙවියන් විසින් ම බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සඟරුවනට දිව්‍යමය වූ දන්පැන් පූජා කළහ. බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මහ සඟරුවන වඩින බව දැනගත් ඛදිරවනීය රේවත තෙරුන් විසින් සෘද්ධි බලයෙන් භාග්‍යවතුන් වහන්සේට විවේක ගැනීමට කුටියක්, ස්වාමින් වහන්සේලා පන්සිය නමකට කුටි, සෙනසුන්, පස් පියුමින් සුසැදි පොකුණු, මල්වතු, උයන් වතු සහ සිසිල් සෙවණ ඇති සුවිශාල රුක් පඳුරු මවන ලදී. එම වනයේ වැඩසිටි සමයෙහි සීවලී මහරහතන් වහන්සේගේ පින් බලයෙන් සියලු දෙනා වහන්සේටම දන්පැන් ලැබුණි. එම චාරිකාවෙන් පසු පෙරළා පූර්වාරාමයට වැඩි බුදුරජාණන් වහන්සේගෙන් විශාඛා උපාසිකාව භාග්‍යවතුන් වහන්ස, අප රේවතයන් වහන්සේ වැඩ සිටින තැන කෙබඳුදැයි ඇසී ය. එවිට බුදුරජාණන් වහන්සේ පින්වත් විශාඛාවෙනි, රහතන් වහන්සේ වැඩ සිටින තැන ගමක් වුවත්, වනාන්තරයක් වුවත්, බෑවුමක් වුවත් සමතලා භූමියක් වුවත් ඒ සැමතැන ම සුන්දර ය,ප්‍රියජනකය,මනස්කාන්තය,සිත්ගන්නා සුළුය. යනුවෙන් වදාළහ. ඉද්ධිවිධ ඥානය, දිබ්බසෝත ඥානය , පරචිත්තවිජානන ඥානය, පුබ්බේනිවාසානුස්සති ඥානය, චුතූපපාත ඥානය, ආසවක්ඛය ඥානය ආදි ෂඩ් අභිඥා සහිත ව අරහත්වය සාක්ෂාත් කළ රේවත තෙරණුවෝ වරක් ශාස්තෘන් වහන්සේටත්, ධර්මධර සේනාධිපති සැරියුත් තෙරුන්ටත් වන්දනා කිරීම පිණිස ජේතවනාරාමයට වැඩම කළහ. දම්සභා මණ්ඩපයේ භික්ෂු සංඝයා මැද වැඩසිටි ශාස්තෘන් වහන්සේ පින්වත් මහණෙනි, මාගේ ශාසනයේ ආරණ්‍යවාසී ශ්‍රාවකයින් අතර ඛදිරවනීය රේවත තෙරුන් අග්‍ර වන්නේ යැයි අග තනතුරු ප්‍රදානය කළ සේක. පසු කලෙක දී රේවත මරහතන් වහන්සේ තම උපන් ගමට වැඩම කොට සොහොයුරියන් තිදෙනාගේ පුතුන් වූ චාලා, උපචාලා හා සීසුපචාලා ගේ දරුවන් පැවිදි කොට බුදු සසුනෙහි පිළිවෙත් පිරීම පිණිස මඟ පෙන්වා දී අවවාද අනුශාසනා කළහ. එම සාමණේර හිමිවරුන් තිදෙනා ම කීකරු ව, නිහතමානී ව ශ්‍රමණ ජීවිතය දියුණු කළා පමණක් නොව, උතුම් අරහත් භාවයට ද පත් වු හ. සාරි බැමිණියගේ අවසාන කාලයේ දී සාරිපුත්තයන් වහන්සේගේ උතුම් කල්‍යාණ මිත්‍ර ඇසුර නිසා සෝතාපන්න ශ්‍රාවිකාවක් බවට පත්වීමට භාග්‍ය සම්පන්න වුවා ය. ඒ පුණ්‍යවන්ත මාතාවගේ පුතණුවන් තිදෙනාමත් දියණියන් තිදෙනාමත් උතුම් අරහත්වයට පත් ව ගෞතම බුදු සසුන ශෝභමාන කළහ.