Print this Article


පිරිත් දේශනාව 26 : මහා සමය සූත්‍රය - 04 කොටස

මහා සමය සූත්‍රය

- 04 කොටස

බුදුරජානන් වහන්සේ භික්ෂූන් අමතා මහණෙනි බොහෝ දෙවියෝ තථාගතයන් වහන්සේ ද භික්ෂූන් වහන්සේ ද දක්නට මෙහි රැස්වූහ. අතීතයේ සම්මා සම්බුදු කෙනෙක් වූයේ ද එකල්හි ද මෙවැනි ම රැස්වීමක් සිදුවූයේ යැයි දෙසූහ. අනාගතයේ ද බුදුන් වහන්සේ නමක් ලොව පහළ වූ විට මෙවැනි ම රැස්වීමක් සිදුවන්නේ යැයි පවසා එහි රැස් වූ දෙවියන්ගේ නාමාවලියක් ඉදිරිපත් කොට එය අසන ලෙස ද මනාව මෙනෙහි කරන ලෙස ද දේශනා කරමින් එහි රැස් වූ දෙවියන්ගේ නාමාවලිය ඉදිරිපත් කළහ.

දෙවියන්ගේ නාමාවලිය ඉදිරිපත් කිරීමේ දී බුදුරදුන් එම සියලු දෙවියන් සෘද්ධිමත් අය බවත් වර්ණ සම්පන්න බවත්, කීර්ති යසස් ඇති අය බවත්, සතුටු සිත් ඇති බවත් දේශනා කර තිබේ.

අනතුරුව සසර ගමන නිමවා ආර්ය සංඝයා මැද විරාජමාන වන සඳක් වැනි බුදුරදුන් දකින්නෙමියි මහා බ්‍රහ්ම තෙමේ ද ඉන්ද්‍රයා ඇතුළු පිරිස් ද එහි රැස්වූහ. අනතුරුව මේ පිරිස මැදට මාර සේනාව ද රැස් වූහ. බුදුරදුන් මාරයාගේ මුලාවන ස්වභාවය දකින්නේ යැයි භික්ෂූන්ට උපදෙස් දුන්හ. මාර දිව්‍ය පුත්‍රයා එහි රැස්ව සිටින සියලු දෙනා රාගයෙන් බඳින ලෙසත් හාත්පස පිරිවරා ගන්නා ලෙසත්, කිසිවෙකුට වෙන්වීමට ඉඩක් නොදෙන ලෙසත්, බිහිසුනු හඬ පතුරුවන්න තවත් මාර සේනාවට උපදෙස් දුන්හ. නමුත් සිදුවූයේ අනිකකි. යම් සේ වර්ෂා කාලයේ අකුණු ශබ්ද නගනුයේ විදුලිය සහිත වූයේ වන්නේ ද එසේ ම මාර දිව්‍ය පුත්‍ර තෙමේ ද ඒ දෙව් පිරිස තමා වසඟයට ගැනීමට නොහැකි වූයෙන් පෙරළා ආපසු ගියේ ය. බුදුරදුන් භික්ෂූන් අමතා මහණෙනි මාර සේනාව පැමිණියේ ය. ඔවුන් දැන ගනුවයි වදාළහ. භික්ෂූන් වහන්සේ ද බුදුරදුන්ගේ අනුශාසනාව අසා වීර්යවත් වූ හ. රහතුන්ගේ ලෝමයකුදු සෙලවීමට මාර සෙනඟට නොහැකි විය.

මාරයා දිනූ, බිය ඉක්මවූ ඒ භික්ෂූන් වහන්සේ කීර්තිමත් වූහ. ඔවුහු ආර්යයන් වහන්සේලා සමග සතුටු වෙති.

මහා සමය සූත්‍රය දෙවියන්ට කොපමණ ප්‍රියමනාප දැයි දැක්වෙන කතාවක් හමුවේ. කෝට පබ්බත විහාරයේ නාග නම් ලෙන් දොර නා ගසක එක් දෙව්දුවක් වාසය කරයි. ලෙන තුළ සාමණේර භික්ෂූන් වහන්සේ නමක් මහා සමය සූත්‍රය සජ්ඣායනය කරයි. දෙව්දුව සූත්‍රය අවසානයෙහි සාධුකාර දුන්නා ය. ස්වාමිනි, බුදුරදුන් මහාවනයෙහි වැඩහිඳ දෙසූ දිනයේ ද මේ සූත්‍රය ඇසුවෙමි. බුදුන් දෙසූ අයුරින් ම ඔබ වහන්සේ සූත්‍රය ධාරණය කරගෙන ඇත. භික්ෂූව විසින් බුදුරදුන් සූත්‍රය දෙසූ දින දෙව්දුව එය ශ්‍රවණය කළේදැයි විමසුවේ ය. දෙව්දුව ප්‍රකාශ කළේ අප්‍රමාණ දෙවියන් එහි රැස්ව සිටි නිසා දඹදිව ඉඩකඩ ප්‍රමාණවත් නොවූ නිසා තම්බපණ්ණී දිවයිනට පැමිණ දඹකොළ පටුනෙහි සිට ශ්‍රවණය කළ බවයි. අවසානයේ දී දෙවියන් වැඩිවෙද්දී ඉඩ මදි වූ නිසා පසුපසට ගොස් රෝහණ ජනපදයෙහි මාගමට පිටුපසින් වූ ගොලු මුහුදෙහි බෙල්ල තෙක් දියේ ගිලී ධර්මය ශ්‍රවණය කළ බවයි. භික්ෂුව විසින් එතැන සිට බුදුරදුන් දුටුවේදැයි විමසුවේ ය. ඇය ප්‍රකාශ කළේ මහා වනයේ සිට බුදුරදුන් ධර්මය දේශනා කරන්නේ තමන් දෙස බලා යැයි යන ලජ්ජාවෙන් හා බියෙන් දිය රැළිවල සැඟවුණු බවයි. ඒ දවස කෝටි ලක්ෂයක් දෙවියන් රහත් බවට පැමිණිය ද, දෙව්දුව ද රහත් වූයේ දැයි භික්ෂුව විමසයි. නැත යන උත්තරය දුන් විට අනාගාමී වූයේ දැයි විමසයි. නැත යන උත්තරය දී සෝවාන් ඵළියට පමණක් පත්වූ බව සිතන්නේ යැයි පැවසුවා ය. භික්ෂුව දෙව් ස්වරූපය දකින්න සැලැස්විය හැකි දැයි විමසුවේ ය. දේව ස්වරූපයම පෙන්විය නොහැකි බවත් ඇඟිලි පුරුකක් පමණක් පෙන්විය හැකි බවත් දන්වා යතුරු සිදුරෙන් ඇඟිල්ලක් ලෙන තුළට ඇතුළ් කළාය. සඳු දහසක් පෑයුවාසේ ලෙන ආලෝකවත් විය. දෙව්දුව අප්‍රමාද වන්නේ යැයි භික්ෂුවට පවසා වැඳ පිටත්ව ගියා ය. මෙම සූත්‍රය දෙවියන්ට ප්‍රිය බව මෙයින් ද තහවුරු වේ.