Print this Article


උපදේශාත්මක බණ කතා සාහිත්‍යය: යහපත් ඇසුර ආදර්ශමත් ජීවිතයක අඩිතාලමයි

යහපත් ඇසුර ආදර්ශමත් ජීවිතයක අඩිතාලමයි

නොකඩවා වහින වර්ෂාව බලවත් ය. එයින් නැඟෙන මිරිදිය ජල දහරාව ඇළ දොළ ඔස්සේ ගංඟාවලට ඇදෙයි. ගංඟා මෝය පිරී ඉතිරී එම සිසිල් ජල දහරාව මහ මුහුද කරා ගමන් කරයි. කරදිය පිරුණු මහ මුහුදට මිරිදිය ජලය ගිය පසු ඒවා මිශ්‍ර වී සම්පූර්ණ කරදිය බවට පත් වේ. හොඳින් සිතා බලන්න කුඩා මිරිදිය මහා කරදිය මුහුද ආශ්‍රය කළ නිසා කරදිය බවට පත්විය.

සමාජයේ ද නොයෙක් තරාතිරම්වල විවිධ ගතිසිරිත් ඇති මිනිස්සු වාසය කරති. යහපත් ගතිගුණ ඇති මිනිසුන් හා අයහපත් ගතිගුණ ඇති මිනිසුන් වශයෙන් ඔවුහු කොටස් දෙකකට බෙදෙයි. බොහෝ විට අයහපත් ගතිගුණ ඇති මිනිසෙක් , යහපත් ගතිගුණ ඇති මිනිසුන් ආශ්‍රය කිරීමෙන් ඔහුගේ දුර්ගුණ හීන වී යහගුණ මතුවී යහපත් සද්පුරුෂ මිනිසෙක් වෙයි. තවත් සමහර අවස්ථාවක දී නොයෙක් බලවේග කරණකොට ගෙන අයහපත් පුද්ගලයකු ආශ්‍රය කිරීමෙන්, ඉතා යහපත් පුද්ගලයෙකු වුව ද, කෘර වූත්, නින්දිත වූත් අයහපත් ගතිගුණ වලින් හෙබි තැනැත්තෙකු බවට පත්වෙයි. අද්‍යතන සමාජයේ කිසිදා මත්වතුර භාවිත නොකළ පුද්ගලයෙකු මතට හුරු පුද්ගලයන් ආශ්‍රය කිරීමෙන් මත් ලෝලියෙකු බවට පත් වේ. එවැනි අයගේ ධන ධාන්‍ය නොසිතූ පරිදි වේගවත් ව විනාශ වී යයි. ඔහු යාළු මිත්‍රයන්ගෙන් තොර වී යයි. සමාජයෙන් ඈත් වෙයි. ඔහුගේ කීර්ති ප්‍රශංසා හීන වේ. රෝගී පුද්ගලයෙකු බවට ද පත්වේ. ඒ හැරුණු විට වටිනා සිරිත් විරිත් අනුගමනය කරන යහපත් පුද්ගලයෝ දුර්දාන්ත, කපටි, කෛරාටික හොර මැරවලින් හෙබි නින්දිත පුද්ගලයන් ඇසුරු කිරීම නිසා ගුණ යහපත් මවුපියන්ට වුව ද, වධ හිංසා කරති. අයහපත් ඇසුර කරණ කොටගෙන තම දරුවන්, බිරිඳ වධ බන්දනවලට ලක් කරති. සදා දිළින්ඳන් බවට පත්කරති. මහ මගට ඇද දමති . සමහර අවස්ථාවලදී අමානුෂිකව මරණයට පවා පත්කරති. යහගුණ අනුගමනය නොකරන සමාජයක දුක් වේදනාවන් හි තිබෙන මහත සිතා බලන්න.

පෙර කාලයේ ද මෙවන් නරක පුද්ගලයන් ආශ්‍රය කිරීමෙන් මව්පිය, අඹුදරුවන් නොහඳුනන කෲර පුද්ගලයෝ වාසය කළහ. අජාසත්ත නරපතියා එසේ නරක ආශ්‍රයට ගොස් දැඩිලෙස විනාශයට ඇද වැටී ආත්ම ශක්තිය නොමැති සිතින් මැරි මැරී සිටි පුද්ගලයෙකි . වර්තමාන සමාජයේ ද ,අජාසත්ත යන නම පිළිකුලට හා සරදමට භාජනය කරයි. බුදුරජාණන් වහන්සේගේ පුරිසදම්ම සාරථී ගුණ බලයෙන්, පින් බලයෙන් ,ගුණ දහමින් ,පැහැදුනු අජාසත් නරපතියා මෙල්ල කළ ආකාරය පැරැණි ග්‍රන්ථයක් වූ අමාවතුරෙන් විමසා බලමු.

දිනක් අප බුදුරජාණන් වහන්සේ රජගහ නුවර ජීවකතුමාගේ අඹ උයනේ වැඩ වාසය කළ සේක . එකල බිම්බිසාර මහ රජුගේ බිසව දරුවෙකු ප්‍රසූත කිරීමට ගැබ්ගෙන සිටියා ය. මේ අතර ඇයට බිම්සර රජුගේ දකුණු උරහිස පලා රුධිරය බීමට දොළ දුකක් ඉපදුණි. ඇය ඒ බව කීමට නො හැකිව නිදා සිටියා ය. රජතුමා ඇය ළඟට ගොස් ඒ බව දැනගෙන රුධිරය ගෙන ජලය සමඟ මිශ්‍ර කර ඇයට බීමට දුන්නේ ය. දොළදුක සන්සිඳුණි. අනතුරුව නිමිත්ත පාඨකයෝ අවුත් ගැබ බලා උපදින දරුවාගෙන් පියාට මරණයක් ගෙන දෙන බව කීහ. බිසව මේ බව දැනගෙන දරුවා විනාශ කිරීමට උපක්‍රම යෙදුවද, ඒ සියල්ල අසාර්ථක විය. දරුවා ඉපදුණු අතර ඔහුගේ නම අජාසත් නම් විය. ටික කලකට පසු බුදුරජාණන් වහන්සේට වෛර කළ දෙව්දත් තෙර පිරිස් බලය තහවුරු කරගැනීමට සහ ලාබ ප්‍රයෝජන සෙවීමේ අටියෙන් අජාසත්ත පහදවා ගත්තේය. තමන් බුදුන් මරා බුදුවන බවත් ඔබ පිය මරා රජවිය යුතු බවත් කී ය. මේ බව ඇසූ අජාසත් රජු පියා මැරීමට ආයේ ය. ඇමැතිවරු ඊට විරුද්ධ වූහ. අනතුරුව ඇමැතිවරු අජාසත්ත මැරීමට බිම්බිසාර රජ ළඟට ගියේ ය. රජතුමා එය වැළැක්වී ය. බ්ම්බිසාර රජතුමා, තමා මැරීමට ආවේ ඇයි දැයි අජාසත්තගෙන් විචාළේ ය. එවිට අජාසත් රජකම ගැනීමට සිතා එසේ පැමිණි බව සඳහන් කළේ ය. රජතුමා දුරදිග බලා රජකම අජාසත්තට පවරා දුන්නේ ය. අජාසත්තගේ මන දොළ පිරුණු අතර , මේ බව හිතවත් දෙව්දත්තට කීවේ ය. අනතුරු ව ක්‍රියාත්මක වූ දේවදත්ත බිම්බිසාර රජ නොමැරූ නිසා යළිත් රජය ආපසු ගැනීමට ඉඩ ඇති බවත්, ඊට පෙර මරා දැමිය යුතු බවත් කීය. එවිට, එසේ එකවර මරා දැමිය නොහැකි බවත් කාමරයට දමා ක්‍රමයෙන් මැරී යන ලෙසට ඉඩසැලසිය යුතු බවද අජාසත් සාකච්ජා කර ගත්තේ ය.