Print this Article


තෙවළා බුදු වදන් අතරින් 09 : දැහැමි නිවස දෙව් විමනකි

තෙවළා බුදු වදන් අතරින් 09 :

දැහැමි නිවස දෙව් විමනකි

අංගුත්තර නිකායේ චතුක්ක නිපාත පඨම සංවාස සූත්‍රය එක්තරා ගෘහපති පිරිසක් හා ඔවුන්ගේ භාර්යාවරු අමතා දේශනා කරන ලද්දකි. එක් දිනක් බුදුරජාණන් වහන්සේ මධුරා හා වේරඤ්ජා අතර මාර්ගයේ වැඩම කළ සේක. ගමන වෙහෙසකර වූ බැවින් මඳක් විවේක ගැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ ගසක් මුල වැඩ සිටියහ.

මේ අතර එම මාර්ගයේ ගමන් කළ එක්තරා ගෘහපති පිරිසක් තම භාර්යාවරුන් සමග පැමිණ බුදුරදුන්ට වැඳ එකත් පසෙක වාඩිවූහ. එම පිරිසට ධර්මයෙන් සංග්‍රහ කරමින් බුදුරජාණන් වහන්සේ එක්ව වාසය කිරීම කෙබඳු විය යුතු ද යන්න මෙසේ පැහැදිලි කළහ. “ගෘහපතිවරුනි! එක්ව විසීම් සතරෙකි. ඒ සතර නම්, ගුණ නොමැති බැවින් ගුණයෙන් මළා වූ සැමියෙක් එබඳුම ගුණයෙන් මළ මිනියක හා බඳු කාන්තාවක සමග එක්ව වාසය කිරීම. ගුණයෙන් මළ සැමියෙකු ගුණවත් කාන්තාවක සමග විසීම. ගුණවත් පිරිමියෙකු ගුණයෙන් මළ කාන්තාවක සමග විසීම. ගුණවත් සැමියෙකු එබඳු ම ගුණවත් කාන්තාවක සමග එක්ව වාසය කිරීම යනු සතර විධ වාසයයි.

” ඒ අනුව (1) මළමිනියක් මළමිනියක සමඟ වාසය කිරීම (ඡවො ඡවාය සද්ධිං විහරති) (2) මළ මිනියක් දෙවියෙකු සමඟ වාසය කිරීම (ඡවෝ දෙවියා සද්ධිං විහරති) (3) මළමිනියක් දේවතාවියක සමඟ වාසය කිරීම (දෙවො ඡවාය සද්ධිං විහරති) (4) දේවතාවෙක් දේවතාවියක සමඟ වාසය කිරීම (දෙවො දෙවියා සද්ධිං විහරති) ආදි වශයෙන් එක්ව වාසය කිරීම අනුව අඹු සැමියන් කණ්ඩායම් හතරක් පිළිබඳ කරුණු පැහැදිලි කළහ. ආරම්භයේ දී උපමාවක් ලෙස දක්වමින් ඉදිරිපත් කළ මෙම කරුණු හතර අනතුරුව දීර්ඝ වශයෙන් විග්‍රහ කළහ. අඹු - සැමියන් වශයෙන් එක්ව කටයුතු කරන ගිහි පිරිසට සාර්ථක පවුල් ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය කරුණු සැකෙවින් මෙම සූත්‍රයෙහි අන්තර්ගත වේ. බුදුරදුන් මෙහිදී මළ මිනියක් යනුවෙන් අදහස් කරන්නේ ගුණවත් නොවන, සදාචාරයෙන් පිරිහුණු ස්වාමියා හා බිරිඳයි. දේවතා හා දෙවියා යන්නෙන් ගුණවත් ස්වාමියා හා බිරිඳ අදහස්කොට ඇත.

ඒ අනුව ගුණවත් සදාචාර සම්පන්න බිරිඳක් හා එවැනි ම ස්වාමි පුරුෂයෙකුගේ එක්ව වාසය දෙවියෙකු දේවතාවියක සමග එක්ව වාසය කිරීමක් හා සමකොට සලකා තිබේ. එසේම ගුණයෙන් හා සදාචාරයෙන් පිරිහුණ බිරිඳ හා ස්වාමියාගේ එක්ව වාසය කිරීම මළ මිනී දෙකක් එකට තැබීමක් හා සමකොට තිබේ. එසේම බිරිඳ හෝ ස්වාමියා යන දෙදෙනාගෙන් එක් අයෙක් පමණක් ගුණවත් නම්, සදාචාර සම්පන්න නම් ඔහු හෝ ඇය දෙවියෙක් හෝ දේවතාවියක් වශයෙන් පිළිගන්නා අතර ඔවුන්ගේ වාසය දෙවියෙකු හෝ දේවතාවියක් මළ මිනියක් හා සමග වාසය කිරීමක් හා සමකොට තිබේ. කෙනෙකු මළමිනියක් හා සමවන්නේ කවර කරුණු නිසා ද? යන්න පැහැදිලි කරන බුදුරජාණන් වහන්සේ, “යම් හෙයකින් පරපණ නසන, හොරකම් කරන, කාමයෙහි වරදවා හැසිරෙන, බොරු කියන, මදයට හා ප්‍රමාදයට හේතුවන මත්පැන් භාවිත කරන, දුශ්ශීල පවිටු අදහස් ඇති මසුරු සිතින් යුක්තව ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට නින්දා අපහාස කරන සැමියෙක් වේද? එම තැනැත්තා මළ මිනියක් හා සමාන වේ. එසේම මෙවැනි ම දුර්වලතා සහිත කාන්තාවක් සමග එක්ව වාසය කිරීමත් මළ මිනියක් හා එක්ව වාසය කිරීමක් හා සමවේ. යැයි ” දේශනා කළහ.

බුදුරදුන්ගේ මෙම විග්‍රහය අනුව පංචශීල සදාචාරයට අයත් පස්පව් හා දස අකුසල් ධර්ම අනුගමනය කරන, සදාචාරයෙන් පිරිහුණු, මසුරු සිත් ඇති, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ගරහන තැනැත්තා හෝ තැනැත්තිය මළ මිනියක් හා සමාන වේ. එවැනි ස්වාමි භාර්යා සම්බන්ධය මළ මිනී දෙකක් එක්ව වාසය කිරීමක් හා සමාන වේ. ඉහතින් දැක් වූ වර්ගීකරණය අනුව විවාහක ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් පස් පවින් වැළකී, මසුරු සිත් දුරලා, ශ්‍රමණ බ්‍රාහ්මණයන් කෙරෙහි මෙත්සිතින් යුතුව සදාචාර සම්පන්න ව වාසය කරයි නම්, ඔවුන් දෙදෙනාගේ එක් වීම දෙවියෙකු හා දේවතාවියකගේ එක්වීමක් හා සමානකොට සලකා තිබේ.

සූත්‍රයේ දැක්වෙන පරිදි ස්ත්‍රී පුරුෂ දෙදෙනාගෙන් එක් අයෙක් පමණක් ගුණවත් වීම ප්‍රමාණවත් නොවේ. එසේ ස්වාමි භාර්යා දෙදෙනාගෙන් එක් අයෙක් පමණක් ගුණවත් වීම යනු දෙවියෙකු හෝ දේවතාවියක් මළ මිනියක් හා එක්ව විසීමක් හා සමාන වේ. මේ අනුව එම වාසය බුදුරදුන්ගේ ඇගයීමට ලක් නොවේ. බුදුරදුන්ගේ ඇගයුමට ලක්වන්නේ දෙදෙනාම එක හා සමානව සදාචාර සම්පන්න වූ අඹු සැමියන්ගේ එක්ව විසීමයි. එවැනි වාසය හේතුවෙන් එම නිවස දෙව් විමනක් බවට පත් වේ. එහෙත් වර්තමානයේ අපට දක්නට ලැබෙන්නේ එවැනි පවුල් ජීවිත ගත කරන අතළොස්සක් පමණි.

බහුතරයක් අයත් වන්නේ පළමු දෙවන හෝ තුන්වන කාණ්ඩවලටය. පන්සිල් සුරකින, පරිත්‍යාගශීලි පවුල් ජිවිතය බුදුරදුන්ගේ නිබඳ ඇගයීමට ලක්ව තිබේ. අන්‍යොන්‍ය විශ්වාසය හා බැඳීම නොමැති තැන පවුල් ජීවිතය ඛේදවාචකයක් බවට පත්ව තිබෙන අයුරු වර්තමාන සිදුවීම්වලින් පැහැදිලි වේ. විවාහය වනාහි අතිශය සංකීර්ණ, එමෙන්ම අතිශය භාරදූර වගකීමකි. එය විවිධ අර්බුදවලින් යුක්ත ය. සාකල්‍යයෙන්ම ගැටුමෙන් තොර සම්පූර්ණ සාමයෙන් පිරි ගෘහ ජීවිතයක් අපේක්ෂා කළ නොහැකි ය. විවිධ හැලහැප්පීම්වලට එය ලක්වීම ස්වාභාවික ය. එහෙත් දෙදෙනෙකුගේ එක්ව වාසය කිරීමට තරම් බරපතලවන ආකාරයේ අර්බුද නොගැලපීම් ඇතිකරගැනීමෙන් වැළකිය යුතුය.

සුළු වැරදි මත ගැටුම් අවබෝධයෙන් මගහරවාගත හැකිය. එහෙත් පංචශීල සදාචාරය යටතේ එන වැරැදි සුළුපටු ඒවා නොවේ. එම වැරැදි සාකල්‍යයෙන්ම පවුල් ජීවිතය දෙදරා යාමට හේතුවේ. ඔවුනොවුන් අතර සැකය, අවිශ්වාසය ඇතිවන්නේ එම වැරැදි අනුගමනය කිරීමෙන් ය. බොහෝ දෙනෙකු කල්පනා කරන්නේ අවශ්‍ය ප්‍රමාණයට ධනසම්පත් හා වෙනත් භෞතික පහසුකම් ඇත්නම් සාර්ථක පවුල් දිවියක් ගතකළ හැකි බවයි. එහෙත් එවැනි පහසුකම් කොතෙක් තිබුණත් සදාචාරයෙන් පිරිහුණු ස්ත්‍රීයට හෝ පුරුෂයාට සාර්ථක පවුල් ජීවිතයක් ගත කළ නොහැකි ය. එැබැවින් සාර්ථක පවුල් ජීවිතයක් අපේක්ෂා කරන්නෙකු විසින් එම වැරැදිවලින් වැළකීම අවශ්‍ය වේ.

පවුල යනු හුදෙක් ස්ත්‍රී පුරුෂ සම්බන්ධතාව පමණක් නොවේ. ඒ හා බැඳුණු වෙනත් වගකීම් රාශියක් ද තිබේ. විශේෂයෙන් ම රටට, ලෝකයට වැඩ ඇති සදාචාර සම්පන්න දරු පිරිසක් බිහිකිරීම ද මව්පිය දෙදෙනාගේ වගකීමයි. එම වගකීම මැනවින් ඉටුකළ හැකිවන්නේ විනයෙන් හා සදාචාරයෙන් ද, පරිත්‍යාගයෙන් ද පූර්ණත්වයට පත් දෙමාපියන්ට පමණි. සදාචාරයෙන් පිරිහුණු පවුලකින් සාර්ථක දරුවෙක් අපේක්ෂා කළ නොහැකි ය. එවැනි පවුලකින් බොහෝදුරට සමාජ ගතවන්නේ අපගාමී පෞරුෂයක් සහිත අපරාධ ලැදි පුද්ගලයෙකි. බුදුරදුන් විසින් දේශිත පඨම සංවාස සූත්‍රයෙන් අපේක්ෂා කරන්නේ දෙවියෙක් හා දේවතාවෙක් එක්ව වාසය කරන දේව විමානයක් බඳු සාමය හා සතුට පිරි පරමාදර්ශී අඹු සැමි සම්බන්ධයකි.