Print this Article


තරහව අන් සතු දෙයකි ...

තරහව අන් සතු දෙයකි ...

"මට ඒ වේලාවේ හොඳටම තරහ ගියා. ඒ හින්දයි මම එහෙම කිව්වේ. නැත්නම් කවදාවත් ඔබ වෙනුවෙන් මගේ කටින් ඔවැනි දෙයක් පිටවෙන්නේ නැහැ. දැන් මගේ හිතේ තරහ නිවී ඉවරයි. ඔබ තාමත් තරහ ද? හිතට හොරා තරහගන්න පුළුවන් ද?" ඔය වැනි කතා ඔබ කොතෙකුත් අසා ඇති. නැතිනම් ,ඉදිරියට හෝ අසන්නට ලැබෙනු ඇති.

ඔබට සමීප, හිත නොසන්සුන් වූ මිත්‍රයෙකු අමනාපයෙන් හැසිරෙන අවස්ථාවල දී ඔහු කරන කියන දෑ ඔබ අසා තිබෙන්නට පුළුවන්. ඇත්තට ම මෙබඳු තත්ත්වයකට පත්වන්නේ ඇයි? තරහ ව තිබෙන්නේ කොතැන ද? එය මොනයම් හෝ ශරීර ගත ස්ථානයක තිබේදැයි සොයා විමසා බැලුවාද? වෙනත් හිත මිත්‍රයෙකු හෝ අසල්වැසියකු හෝ තමා තුළට ගෙනත් දැම්මා ද? යන්න කල්පනා කළයුතු වෙනවා. මෙබඳු තත්ත්වයකට පත් වූ පසුව එ මඟින් ශරීරයට පුද්ගලිකවත්, තමා ජීවත්වන වටපිටාවටත්, සිදුකරනු ලබන බලපෑම කුමක් ද? යන වග සොයා විමසා බැලිය යුතු යි.

බණ දහමට අනුව මේ පිළිබඳ ව කෙරෙන නිර්වචනයක් වෙනවා. තරහව පුද්ගල මනසෙහි පවතින අවිද්‍යාව හේතු කොටගෙන උපදින බව විවරණය කෙරෙනවා.අනවබෝධය, නොදන්නාකම යන තේරුම් අවිද්‍යාව යන්නට දිය හැකි අදහස යි. එසේනම්, යමෙකුගේ සිතට තරහව ඇතිවන්නේ එක්කෝ අනවබෝධය නිසා ය. නැත්නම් නොදන්නාකම නිසා ය. තරහව හිතට එන්නේ කොහි සිටද? තමාගේ මනසට එය එන්නට පෙර පැවතුණේ කොහිද? යන්න විමසා බැලිය යුතුයි. තමාගේ මනසට එන්නට ප්‍රථම එය පැවතුණේ අනවබෝධය පිරි, නොදන්නාකම ඇති කෙනෙකුගේ මනසෙහි ය. ඒ තත්ත්වය තමා තුළ වූ විට තමා වෙත ආවා විය හැකියි. එනිසා ම තරහව අන් සතු දෙයකි. තමා සතු දෙය අන්‍යයන් විෂයයෙහි පරිත්‍යාග කිරීම යහපත් දෙයක් වුව ද,අන්සතු කිසිවක් තමා සන්තකයට අයිතිකර ගැනීම බුද්ධිමත් සමාජය අනුමත කරන්නේ ද නොවෙයි.

තරහව ඇතිවන්නේ ඇයි? බොහෝ විට පුද්ගලයාගේ මනසෙහි ඇතිවන අනවශ්‍ය අල්ලාගැනීම මෙයට හේතු වෙනවා. අත්දෙක තිබුණාට යම් යම් වස්තූන් අල්ලා ගන්නේ අත් දෙකෙන්ම නොවේ. මනසින් ය. දෑතින් අල්ලා ගනු ලබන බොහෝ දෑ අතහැර දැමිය හැකියි. උදුරා ගත හැකියි. මනසින් අල්ලාගත් දෙය එසේ නොවේ. එය ප්‍රබලයි. උදුරාගත නොහැකියි. පුද්ගලයා විනාශ වුව ද මනසින් දැඩිව අල්ලා ගත් දෙය එසේ නොවේ. තරහව ඇතිවීම කෙරෙහි ම මනස මූලික වන්නේ ඒ නිසා ය.මනසෙහි පවිත්‍ර බව, ප්‍රභාස්වර බව තරහව අඩුකර ගැනීමට හේතු වෙනවා. එමෙන් ම, මනසෙහි පවතින කිළිටි බව එය සිය දහස් ගුණයකින් වඩා වැඩි කිරීමට සමත් වෙනවා. පුද්ගල චර්යා සහ මනස අතර ප්‍රබල සබඳතාවයක් පවතිනවා. එනිසා ම පුද්ගල චර්යා අධ්‍යයනය කරන මනෝ විද්‍යාඥයෝ පුද්්ගල මානසිකත්වය හඳුනාගැනීමට ඔහුගේ චර්යාවලින් හැකිවෙතැයි පවසනවා. තමාට තරහව මතුවූයේ යම් පුද්ගලයකු නිසානම්,ඉක්මනින් එතැනින් ඉවත් වන්න .මට තරහ ගියා යැයි රිද්මයකට තුන් වරක් සිතින් මෙනෙහි කරන්න. හැකි අවස්ථාවක නම්, ශබ්ද නඟා කියවන්න. තරහව ඇතිවීමට හේතු වූ කාරණාව ඔබ දැඩි ව හිතින් අල්ලාගෙන ඇති නිසා එයට තාවකාලික ව හෝ ,සම්පූර්ණ වශයෙන් හෝ, ශරීරයේ පෙනුමකින් හෝ ප්‍රතිචාර නොදක්වන්නෙමියි, සිහියට ගන්න. ඔබේ සිතට නැඟුණ තරහව වෙනත් කෙනෙකුට බාරදෙන්න. එවිට ටිකෙන් ටික තම සිරුරෙහි බර අඩුවේගෙන යන බව ඔබට මැනවින් වැටහේවි.