UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සම්බුදු ගුණමහිම: බුද්ධ ගුණයට නමස්කාර කරමි

වප් පුර පසළොස්වක පෝදා සිට සතර පෝයට ම කොටස් වශයෙන් පළවන නව අරහාදී සම්බුදු ගුණ මුල් කරගත් දම් දෙසුම ලිපි මාලාව අංක – 45

සම්බුදු ගුණමහිම: බුද්ධ ගුණයට නමස්කාර කරමි

බුදුපියාණන් වහන්සේ දුක්ඛ ආදීි චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගත්තා. අවබෝධ කරගත් ධර්මය ලෝකයට දේශනා කළා. මේ ධර්ම දේශනා සූත්‍ර පිටක, විනය පිටක, අභිධර්ම පිටක වශයෙන් ග්‍රන්ථ වුණා.

සූත්‍ර පිටකයේ ධර්මස්කන්ධ 21,000
විනය පිටකයේ ධර්මස්කන්ධ 21,000
අභිධර්ම පිටකයේ ධර්මස්කන්ධ 42,000
සියලුම ධර්මස්කන්ධ 84,000 යි

ඒ විතරක් නොවෙයි, මේ දේශනා කළ ධර්මය. සුත්ත,ගෙය්‍ය,චෙය්‍යාකරණ ගාථා,උදාන, ඉතිවුත්තක.ජාතක ,අබ්භූතධර්ම, වේදල්ල වශයෙන් කොටස් නවයකට බෙදෙනවා. සුත්ත කියලා කියන්නේ සූත්‍ර දේශනාවක්. ගෙය්‍ය කියලා කියන්නේ සූත්‍ර ගාථා එකට බැඳලා කළ දේශනා . ව්‍යෙයාකරණ කියලා කියන්නේ දම්සක් පැවතුම් සූත්‍රය වගේ ගාථාවන් නැතිව කළ දේශනා. ඒ වාගේම ගාථා කියලා කියන්නේ ධම්මපද වගේ ගාථා දේශනා, උදාන කියන්නේ උදාන පාලි පී‍්‍රති වාක්‍ය, ‘ඉතිවුත්තක’ කියලා කියන්නේ ‘මෙසේ කියන ලදී’ කියලා ඉතිවුත්ත පාලියේ සඳහන් දේශනාවන්. ජාතක කියලා කියන්නේ ජාතක දේශනාවන්. අබ්භූත ධර්ම කියලා කියන්නේ ‘ආශ්චර්යමත් ධර්ම. වේදල්ල යනු, තීක්ෂණ නුවණින් කළ දේශනා, මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය කොටස් නවයකට බෙදෙනවා. ඒවාට අප කියනවා නවාංග ශාස්තෘ ශාසනය කියලා. එතකොට බුදුපියාණන් වහන්සේ ධර්ම දේශනා කරනකොට ඒ ඒ ඇත්තන්ට ගැලපෙන චරිත ලක්ෂණ අනුව යි මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කෙරෙව්වේ.

මුලින් ම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දන්දෙන හැටි. දන්දීමේ වටිනාකම, දන්දීමේ ආනිසංස ගැන. ඊළඟට සීලයේ වටිනාකම. ඊළඟට සීලයේ ආනිසංස, ඊළඟට දන් දීම නිසා ස්වර්ග සම්පත්ති ලෞකික වශයෙන් ලැබෙන බව. ඒවාගේ ම ‘කාමානං ආදීනවං මේ කම් සැප විඳීමේ ආදීනව කියලා දෙනවා. ඒවාගේ ම ‘ඕකාරං සංකිලේසං’ මේ කෙලෙසුන්ගේ ලාමක බව, පහත් බව, නීච බව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ.

සම්මා සම්බුදු කෙනෙකුට බුද්ධ කියන ගුණය නිසා තමනුත් අවබෝධ කරගෙන අන්‍යයන්ටත් අවබෝධ කරවන්න පුළුවන්කම ලැබෙනවා. මෙය තමයි පැහැදිලි කරන්නේ බුද්ධ කියන ගුණය යටතේ. තවදුරටත් මේ බුද්ධ කියන ගුණය ගැන සිතුවොත් තථාගත බුදුපියාණන් වහන්සේ මේ දේශනා කරන හැම දෙයක් ම දේශනා කළේ බුද්ධ කියන ගුණය නිසයි. ඒ බුද්ධ කියන ගුණයේ ශ්‍රේෂ්ඨත්වය නිසායි. ඒ ශ්‍රේෂ්ඨත්වය නිසා තමයි වහාම ධර්මය අවබෝධ කරවන්න පුළුවන්කම ලැබුණේ. මේ ලෝකයේ ඉන්නවා පුද්ගලයෝ හතර දෙනෙක්.

උග්ගටිතඥ්ඥ
විපචිතඥ්ඥ
න්‍යෙය
පදපරම
යනුවෙන්

උපමාවකින් කියනවා නම් ,ඕලු, නෙළුම්, මානෙල් වගේ මල් වර්ග වතුරෙන් ඉහළට ඇවිදින් සූර්ය රශ්මිය වැටෙනකම් බලාගෙන ඉන්නවා පිපෙන්න. මෙය උග්ගටිතඤ්ඤ පුද්ගලයන් හා සමානයි. පාරමී සම්පූර්ණ වෙලා. බුදුපියාණන් වහන්සේගෙන් බණ පදයක් ලැබෙන කම් ඉන්නවා. චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්න. ඊළඟට තව නෙළුම් මල් වර්ගයක් තියෙනවා. වතුරේ මතුපිට ගෑවීගෙන තියෙනවා. ඒ කියන්නේ තව දවස් දෙක තුනකින් වතුරෙන් උඩට ඇවිදින් පිපෙන්න බලාගෙන . ඒ වාගේ තමයි විපටිතඥ්ඥ කියලා කියන්නේ. එහෙනම් ධර්මය ශ්‍රවණය කරලා, ප්‍රතිපත්තියේ හැසිරිලා ඒ නිවන් මඟ හදාගන්නවා. නෙය්‍ය කියලා කියන්නේ, සමහරක් මල් තියෙනවා වතුර යට. පොළව යට කවදා උඩට ඒවිද කියලා කියන්නේ බෑ. ඒ වාගේ තමයි න්‍යෙය කියලා කියන්නේ. දාන ශීල ප්‍රතිපදා මාර්ගතුළ යමින් පාරමී පුරනවා, ‘පදපරම් කියලා කියන්නේ මේ ධර්මයක් දකින්නටත්, නුවණක් දකින්ටවත් කිසිම දෙයක් ගැන හැඟීමක් දැනීමක් නැති අය. ඒ අයට කතරක් නෑර ගමනක් සිද්ධ වෙනවා. හරියට ගඟ ඇතුළදීම මල් කැකුළු හටගෙන ඒවා උඩට එන්න කලින් සත්වයෝ කාලා විනාශ වෙන්නා සේ. ඒ වාගේ අයට අපි කියනවා පදපරම කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරවන්න මත්තෙන් ඔය කියන ගති ලක්ෂණ බලලා තමයි අබෝධ කරවන්නේ. බුද්ධ කියන ගුණයේදී අපි මෙය හඳුනාගන්නට ඕනේ. පින්වතුනි බුදුන් වහන්සේ සරණ යන එකම අපට ලොකු සැනසිල්ලක්.

බියෙන් තැතිගත් මනුස්සයා තමන්ට පිහිටක් පිළිසරණක් පිණිස බොහෝ දේ සරණ යනවා. ගස් ගල්, පර්වත, ඉර, හඳ, තාරකා වගේ දේවල් සරණ යනවා. චෛත්‍ය ස්ථාන සරණ යනවා. බුදුපියාණන් වහන්සේ වදාරන්නේ.

එය නිර්භයතාවයට හේතුවන සරණක් නෙමෙයි. නිර්භයතාවයෙන් යුක්ත වූ උතුම් සරණක් නෙමෙයි, මේ වාගේ සරණකට කෙනෙක් පැමිණියා නම්. කෙනෙක්ට කවමදාක්වත් දුකින් අත මිදෙන්න පුළුවන් කමක් නෑ. “යෝච බුද්ධං ධම්මඤ්ච සංඝංච සරණං ගතෝ’ යම්කිසි කෙනෙක් හද බැතියෙන් බුදුන් සරණ ගියා නම්, ධර්මය සරණ ගියා නම් , සංඝයා සරණ ගියා නම් චතුරාර්ය සත්‍ය ධර්මයන් යහපත් නුවණින් දකින්න සමත් වෙනවා. දුක දුකට හේතුව, දුකෙන් නිදහස් වීම, ආර්ය අෂ්ඨාංගික මාර්ගය. එහෙනම් දුක දුකට හේතුව, දුක් නැතිරීම, දුක නැතිකිරීමේ මාර්ගය කියන චතුරාර්ය සත්‍ය මාර්ගය, අවබෝධ කරගන්ට ලැබෙන්නේ හද බැතින් තෙරුවන් සරණ ගිය කෙනෙකුට. බුදුරජාණන් වහන්සේ සරණ යාම බුදුගුණය වටහා ගැනීම, දැන් බලන්න අර මහානාම ශාක්‍ය පුත්‍රයාට බුදුරජාණන් වහන්සේ දේශනා කෙරුවනේ උපාසකයා කවුද කියලා. එහිදී පැහැදිලි කරන්නේ “යේ කේචි බුද්ධං සරණං ගතෝ හෝති’ යම් කිසි කෙනෙක් බුදුන් සරණ ගියානම්, ධර්මය සංඝයා සරණ ගියා නම් ඒ ඇත්තෝ තමයි බෞද්ධ උපාසකයා කියලා කියන්නේ. ඒ වගේ ම කෙනෙක් පංච ශීලය ආරක්ෂා කරනවා නම්, තමයි ඒ ඇත්තා බෞද්ධ උපාසකයෙක් කියලා කියන්නේ. එහෙනම් අපට මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්න තියන එකම හේතුව බුදුරජාණන් වහන්සේ සරණ කොට, පිහිට කොට ජීවත්වීම. බුදුන් වහන්සේගෙන් පරිබාහිරව නම් මේ කිසිම දෙයක් අපට වටහාගන්න පුළුවන්කමක් නෑ. එ බැවින් මේ කියන බුද්ධ ගුණයට මම නමස්කාර කරමි.

 

බිනර අමාවක පෝය


බිනර අමාවක පෝය ඔක්තෝබර් මස 08 වනදා සඳුදා පූර්ව භාග 11.35 ට ලබයි.09 වනදා අඟහරුවාදා පූර්ව භාග 09.20 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 08 වනදා සඳුදා ය.

 

මීළඟ පෝය

ඔක්තෝබර් 16 වනදා අඟහරුවාදා


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝබර් 08

First Quarterපුර අටවක

ඔක්තෝබර් 16

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 24

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 31


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]