Print this Article


පටිච්ච සමුප්පාදයෙන් 03: සසරෙන් එතෙරට

සසරෙන් එතෙරට

මෙම ලිපියේ තවත් කොටසක් ඉකුත් 02 දා පත්‍රයේ පළවිය

තණ්හාව ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදෙනවා. කාම තණ්හා - පංචකාමයට ඇති කැමැත්ත, භව තණ්හා - භවයේ නැවත ඉපදීමට තිබෙන ආසාව, විභව තණ්හා - නැවත උප්පත්තියක් නැහැ කියන අදහස ඇතිකරගෙන මෙලොව සැප විඳිමින් සිටීමට තියෙන කැමැත්ත. උච්ඡේද දෘෂ්ඨියත් ඒ සමඟ එන තණ්හාව. භව තණ්හාව නිසාත් කෙනෙක් සංසාරයෙන් නිදහස් වෙලා යන්න කැමැති නැහැ. මීට වඩා බලවත් ව උපදින්න කැමැතියි.

මේ ත්‍රිවිධ තණ්හාව හටගන්නවා විඳීම මුල්කරගෙන. විඳීම නිසා ඇලීම නැතිනම් තණ්හාව හටගන්නවා. තණ්හාව මුල් කරගෙන බැඳීමක් ඇතිවෙනවා. උපාදාන වෙනවා. ඒ උපාදානය මුල් කරගෙන භවය සකස් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළ පටිච්ච සමුප්පාදයේ දී භවය සහ ජාතිය යනුවෙන් වචන දෙකක් පිළිබඳව අපට අසන්නට ලැබෙනවා.

භවය කියනනේ නැවත ඉපදීම. ජාතිය කියන්නෙත් නැවත ඉපදීම. එහෙම වෙන්න බැහැ. මේක කරුණු දෙකක්. භවය යන වචනය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. භවය යනු විපාක විඳීම පිණිස කර්ම සකස් වීම. කාම ලෝකයක උප්පත්තිය ලබන්නට කර්ම සකස් වීමම තමයි කාම භවය කියන්නේ. රූප ලෝකයක විපාක විඳීම පිණිස කර්ම සකස්වීමට කියනවා. රූප භවය කියලා. අරූප ලෝකයක විපාක විඳීම පිණිස කර්ම සකස් වීමට කියනවා අරූප භවය කියලා. උපාදාන වුණාම විපාක විඳීම පිණිස කර්ම සකස් වෙනවා. භවයට අනුව තමයි ජාතිය සිදුවන්නේ. ඒ කියන්නේ කාම ලෝකයක ඉපදීමට කර්ම සකස් වෙලා තියෙනකොට උපදින්නේ කාම ලෝකයක. කාම සුගති සහ කාම දුගති කියා දෙකක් තිබෙනවා. කාම සුගති අයිති වෙන්නේ මනුෂ්‍ය ලෝකය සහ දිව්‍ය ලෝක හය. කාම දුගති යනු නිරය, තිරිසන් ලෝකය, ප්‍රේත ලෝකය අසුරකාය. අපි මේ ඉපදිලා තියෙන්නේ කාම සුගතියක. මිශ්‍රඵල දෙන මනුස්ස ලෝකයේ තමන් විසින් සිදුකරන ලද කර්ම රූපවලට අනුව තමයි සැප හෝ දුක ලැබෙන්නේ. භවය මුල් කරගෙන තමයි ජාතිය සිදු වන්නේ. නැතිනම් ඉපදීම. ඉපදුණොත් වයසට යනවා මරණයට පත් වෙනවා.

සෝක කරන්න වෙනවා. වැළපෙන්න සිදුවෙනවා. කායික දුක් ඇති වෙනවා.මානසික දුක් ඇති වෙනවා. සුසුම් හෙළීම්වලට පත්වෙන්න සිදුවෙනවා. ඔය විදිහට තමයි මේ මුළු මහත් දුක් රැසම හටගන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේකට තමයි පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ.

මේ වගේම තමයි පින්වතුනි, පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය අනික් පැත්තට යනකොට අවිද්‍යාව සහමුලින්ම නැතිවෙලා ගියාම සංස්කාර නිරුද්ධ වෙනවා. සංස්කාර නිරුද්ධ වීමෙන් විඤ්ඤාණය නිරුද්ධ වෙනවා. විඤ්ඤාණය නිරුද්ධ වීමෙන් නාම රූප නිරුද්ධ වෙනවා.

නාම රූප නිරුද්ධ වීමෙන් ආයතන නිරුද්ධ වෙනවා. ආයතනය හය නිරුද්ධ වීමෙන් ස්පර්ශය නිරුද්ධ වෙනවා. ස්පර්ශය නිරුද්ධ වීමෙන් විඳීම නිරුද්ධ වෙනවා. විඳීම නිරුද්ධ වීමෙන් තණ්හාව නිරුද්ධ වෙනවා. තණ්හාව නිරුද්ධ වීමෙන් බැඳීයාම නිරුද්ධ වෙනවා. බැඳීයාම නිරුද්ධ වීමෙන් විපාක පිණිස කර්ම සකස් වීම නිරුද්ධ වෙනවා. විපාක පිණිස කර්ම සකසවීම නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙලා ජරා, මරණ, සෝක, වැළපීම්, කායික දුක්, මානසික දුක්, සුසුම් හෙළීම් ආදී සියල්ල නිරුද්ධ වෙලා යනවා. මුළු මහත් දුක් රැසම නිරුද්ධ වෙලා යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ විග්‍රහය තුළ කියලා දුන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව පටිච්ච සමුප්පාදය ක්‍රියාවලිය පිළිබඳවයි. මෙය ඉතා ගැඹුරු දහමක්. වරක් ආනන්ද හාමුදුරුවෝ දේශනා කළා ‘පටිච්ච සමුප්පාදය තේරුම් ගන්න හරි පහසුයි කියලා’. එවිට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ‘ආනන්දය, එහෙම කියන්න එපා පටිච්ච සමුප්පාදය ඉතා ගැඹුරුයි.’ කියා. යම් කිසි කෙනෙක් පටිච්ච සමුප්පාදය

දකිනවා නම්, එයා ධර්මය දකිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඔබටත් පටිච්ච සමුප්පාදය ධර්මය හොඳින් අවබෝධ කර ගෙන මේ සංසාරයෙන් නිදහස් වීමේ වාසනාව උදාවේවා.