Print this Article


කුණ්ඩසාලේ - පල්ලේකැලේ ශ්‍රී ගුණරත්නාරාමයේ සිරි සමාධි දහම් පාසල

කුණ්ඩසාලේ - පල්ලේකැලේ ශ්‍රී ගුණරත්නාරාමයේ සිරි සමාධි දහම් පාසල

දුම්බර මිටියාවතේ මහවැලි ගං තීරය වර්ණවත් කරමින් කුණ්ඩසාලේ පල්ලේකැලේ මහවැලිතැන්නේ ගම සුන්දර ගල්තලාවක් මත පිහිටා ඇති ශ්‍රී ගුණරතනාරාමය දැනට සොළොස් වසරකට පමණ පෙර උඩුදුම්බර රතනසිරි නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ප්‍රදේශවාසී සිංහල, දෙමළ ජනතාවගේ අභිවෘද්ධිය උදෙසා ආරම්භ කළ විහාරස්ථානයකි.


අමරපුර සිරි සද්ධම්ම වංශ මහා නිකායේ පාතදුම්බර උඩගම්පහ කෝරළයේ, ප්‍රධාන සංඝ නායක උඩුදුම්බර රතනසිරි හිමි

උඩුදුම්බර ගම්පියසේ නිජබිම කරගත් ආචාර සමාචාර හුරුවෙන් පුරුදු පුහුණු කරගෙන කුඩා කාලයේ දී ම පැවිදි දිවියට පා තබා පිරිය යුතු වත් පිළිවෙත් බණ දහම් ඉගෙනගෙන භික්ෂුවක් වශයෙන් ප්‍රායෝගික තලයට ලබාගත් පුහුණුවෙන් අප ප්‍රධාන ආචාර්ය හිමියන් නායක ගුණ ධර්මයන්ගෙන් සමන්විත විය. මුලින්ම වැඩ සිටින්නට පාසලක් නොවූයෙන් සමිති ශාලාවක වැඩ සිටිමින් හුදෙකලාව ම ආරාම දිවියට මුල පිරුවේ ය. එම වැඩ සිටි ගල් තලාව සරුබිමක් නොවූවත් එය සරුබිමක් කොට පින් බිමක් කිරීමට සැලැසුම් සකස්කර දෛවයෙන් තමා වෙත පැවරූ කාර්යයක් ලෙස සලකමින් මහවැලි තැන්නේගම වාසි ජනතාවගේ ආගමික, ජාතික, අධ්‍යාපනික, සාමාජයීය, සංවර්ධනය උදෙසා සිය ජීවිතය කැපකළ තීරණය ඵල දරමින් දර්ශනීය බුද්ධ මන්දිරය, චෛත්‍ය බෝධිය සමඟ අංග සම්පූර්ණ විහාරස්ථානයක් ඉදිකරමින් සිරි සමාධි දහම් පාසල ආරම්භ කිරීම වැනි දේවලින් ප්‍රදේශයේ ආගමික හා සමාජීය උන්නතියට පුරෝගාමීත්වයක් ලබා දෙමින් කළ සේවාවන් සඳහා ‘ශ්‍රී සද්ධර්ම කීර්ති ශ්‍රී ගුණරතන වංසාලංකාර විචිත්‍ර භානක’ යන ගෞරව නාමයෙන් ද විහාරාධිපති ප්‍රධානාචාර්ය නාහිමියන් පිදුම් ලැබී ය.

2003 වසරේ දී ළමයින් 60 දෙනෙකුගෙන් ආරම්භ කළ සිරි සමාධි දහම් පාසල දැනට ළමයින් 290කට අධික සංඛ්‍යාවක් ඉගෙනුම ලබයි. පළමු වසරේ සිට දහම් පාසල් අවසාන විභාගය ද සමත් වූ සිසු සිසුවියන් විශාල පිරිසක් ඇති අතර කුණ්ඩසාලේ ශාසනාරක්ෂක බල ප්‍රදේශයේ හොඳම දහම් පාසලක් ලෙස ද ඉදිරියෙන් ඇත.

දැනට මෙම විහාරස්ථානයේම පැවිදි දිවියට පා තබා පිරිවෙන් අධ්‍යාපනය ලබන මැද මහනුවර ධම්ම සිරි හිමි, බෝගොඩ විමලසිරි හිමි, නීලවල විජිතසිරි හිමි, මාරස්සන සුගතසිරි හිමි, බෝගොඩ ඤාණසිරි හිමි යන සාමණේර හිමිවරු විහාරස්ථානයේ ම වැඩ වාසය කරති.

පසුගිය දා සිරි සමාධි දහම් පාසලේ වර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය විහාරාධිපති නාහිමියන් ඇතුළු ප්‍රදේශවාසී සම්භාවනීය අමුත්තන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

සමාධි දහම් පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකා කාව්‍ය රසාංජලා කුමාරි පලීපාන, ප්‍රධාන ශිෂ්‍ය නායක ඩබ්.එම්. තරුෂ විජේකෝන් උප ප්‍රධාන ශිෂ්‍ය නායිකා පි‍්‍රයංගිකා සෙව්වන්දි, උප ප්‍රධාන ශිෂ්‍ය නායක භාෂිත අසංග කුමාර යන සිසුන් ශිෂ්‍ය නායක පදක්කම්වලින් පිදුම් ලැබීය.