Print this Article


පුරාණ ලංකාවේ බෞද්ධ කලා ශිල්ප: මිහින්තලේ පුරාණ සඳකඩ පහණ මුරගල්

මිහින්තලේ පුරාණ සඳකඩ පහණ මුරගල්

පුරාවිද්‍යා දෙපාර්තූමේන්තුවේ 
හිටපු සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ 
සිරිසමන් විජේතුංග 
පුරාවිද්‍යා Msc පර්යේෂණ

පුරාණ ශ්‍රී ලංකාවේ බෞද්ධ කලා ශිල්ප පිළිබඳ සඳහන් කරන විට පුරාවිද්‍යාත්මක ලෙසින් මෙකල දක්නට ලැබෙන ඒ සියලු ම නිර්මාණ කලින් කලට වෙනස් වූ ආකාරය ද දැකිය හැකි ය. උදාහරණයක් ලෙසින් සඳහන් කරතොත් පැරැණි පුදබිම් අතරේ මිහින්තලයෙන් ම දක්නට ලැබෙන දාගැබ ආශි‍්‍රත වූ වාහල්කඩ හැරුණු විට පුදබිම ආශි‍්‍රතව මුරගල්, පියගැටපෙළ හා සඳකඩ පහණ යන අංග තුන ගැන විමසා බලන විට ඒවා මුල් කාලයේ දී දැවයෙන් සාදන්නට ඇති බව ඉතා ප්‍රකට ය.

සිංහලයින් තමන්ගේ පැරැණි විහාර, දේවාල හෝ මාළිගා හෝ කිසියම් විශේෂ ගොඩනැගිල්ලක් ඉදිකර අවසන් කිරීමේ දී ඊට ඇතුළු වීම සඳහා වූ දොරටු අලංකාර කිරීමට විශේෂ උත්සාහයක් දැරූ බව පෙනී යයි. පුරාණ ගොඩනැගිල්ලක් පිහිටි මළුවකට ගොඩවන හෝ මළුවෙන් ගෙට ඇතුලුවන හෝ පියගැටපෙළ මනා සේ අලංකාර කළ පියගැටවලින් යුක්ත විය. මෙයින් පළමුවැන්න බෙහෙවින් මටසිලුටු කළ රූ කමින් (කැටයම් වලින්) යුක්ත වූ සඳකඩ පහණ විය. පියගැට දෙපැත්තේ කැටයම් ඇතිව හෝ නැතිව කොරවක්ගල් දෙකකි. කොරවක් ගල් දෙක ඉදිරිපිට රඳවා සිටීම පිණිස කැටයම් නැති කූඤ්ඤයක් මෙන් සිටුවන ලද ගල් පුවරු දෙකක් දැකිය හැකි ය.

මෙය ලී කූඤ්ඤයක් ලෙසින් මුලින් තිබෙන්නට ඇත. එයින් කොරවක්ගල නො පෙරළී තබා ගැනීමට හෝ රඳවා ගැනීමට උපයෝගී විය.

මුල් කාලයේ දී ලීයෙන් තැනූ මුරගල සහ සඳකඩ පහණ ඉතා සරල වූයේ ය. ලී වෙනුවට ගල් පුවරුවක් මේ සඳහා යොදා ගැනීම පැරැණි කාලයේ මුරගල් සහ සඳකඩ පහණ පිළිබඳ සොයා බලන විට ඉතා පැහැදිලි වන කරුණකි.

(පැරැණි හෙළ කලා විස්කම් - සිරිසමන් විජේතුංග පි. 36 – 37 සමුද්‍රා ප්‍රකාශන – 2017)

ලීවලින් සාදා තිබූ මුරගල් සහ සඳකඩ පහණ පසු කාලවල දී ශිලා (ගල්) වලින් නිර්මාණය කිරීමේ මුල් ම අවස්ථාවක් ප්‍රකාශ කෙරෙන මූර්ති සඳකඩ පහණ සහ මුරගල් (කැටයම්වලින් තොර) ඉතා සරල නිර්මාණ දැකගත හැක්කේ ඉතාමත් පැරැණි පුදබිම්වල ය.

මිහින්තලේ කැටයම් රහිත මුරගල් සහ සඳකඩ පහණ

මහින්දාගමනය සිදුවූ පුදබිමෙහි පිහිටි මිහින්තලේ මෙවැනි නිර්මාණ දකින්නට ලැබීම මේ නිසා ම වැදගත් වේ. මිහින්තලේ ඇති මෙම මුරගල් සහ සඳකඩ පහණ ඉතා ම සරල, කිසිදු කැටයමක් දක්නට නැති මුල්ම කාලයට අයත් නිර්මාණ බව ඉතා පැහැදිලි කරුණකි.

එමෙන් ම මිහින්තලෙන් මෙම ඉතා සරල සඳකඩ පහණ සහ මුරගල් හමුවනවා පමණක් නොව මුරගලෙහි පළමුව සටහන් කරන ලද පුන්කලස ද මෙම පුදබිමෙහි දැකිය හැකි ය.

මුරගල්, සඳකඩ පහණ පිළිබඳ අප මෙහි දී විශේෂ අවධානය යොමු කරවන්නේ මිහින්තලේ පුදබිමෙහි ඇති නිර්මාණ පිළිබඳව යි. පුන්කලස මුරගලෙහි රූපයක් රේඛා ඉරි වලින් සඳහන් කර තිබීම ද මිහින්තලේ දී දැකගත හැකි ය. සමස්තයක් ලෙසින් විමසා බලන විට මිහින්තලේ කණ්ඨක චේතියේ විවිධ අන්දමේ මානව, සත්ව සහ වෘක්ෂලතා සහිත මූර්ති දක්නට ලැබෙන නමුදු මෙහි ඇති සඳකඩ පහණ, මුරගල්, කොරවක්ගල් ආදිය ඉතා ම සරල අන්දමින් ශිලාමය ඵලකවල නිර්මාණය කර ඇත. මෙහි දී විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් නම් මුල් කාලයේ දී ම සාදන ලද මිරිසවැටිය ආශි‍්‍රත වූ ගොඩනැගිලි සඳහා මුල් කාලයේ දී නිර්මාණය කරන ලද මුරගල් සහ සඳකඩ පහණවල ද කැටයම්වලින් තොර ඉතා සරල ලෙසින් නිමවා ඇති අන්දම දැකිය හැකි ය.

මෙහි දී විශේෂයෙන් සඳහන් කළයුතු කරුණක් නම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුරාධපුරයේ පුරාවිද්‍යා කෞතුකාගාරයෙහි මුල්කාලීන මෙන් ම පසුකාලීනව (සඳකඩපහණෙහි කැටයම් හා සැරසිලි වලින් යුක්ත) නිර්මාණ දැකගත හැකි වන බව ය.

විවිධ යුගවලදී මුරගල්, සඳකඩ පහණ හා කොරවක්ගල්වල මූර්ති කැටයම් පිළිබඳ පසුව විස්තර ඉදිරිපත් කෙරෙනු ඇත.

සඳකඩ පහණ, මුරගල, කොරවක්ගල අනුරාධපුරයේ පැරැණි දොරටුවලට සම්බන්ධ කර ඇත්තේ පඩි පෙළකිනි. සඳකඩ පහණ පඩිපෙළෙහි මුල් ම පඩිය නිර්මාණය කරන ගල් පුවරුව ය. පඩිපෙළ දෙපසින් ඒ පඩිපෙළ රඳවා සිටින ලෙසින් සකස් කරන ලද ගල් පුවරු දෙක කොරවක් ගල් ලෙසින් සැලකේ. එමෙන් ම පියගැටපෙළට සම්බන්ධ වී ඇති කොරවක්ගල හා සම්බන්ධවන සඳකඩ පහණ අසල ම දොරකඩ දෙපස සිටුවා ඇති ගල් පුවරු දෙක මුරගල් නමින් හැඳින් වේ.

මිහින්තලේ දාගැබ් පමණක් නොව පොකුණු ලෙසින් වූ නාග පොකුණ, කළු දිය පොකුණ ආදී නිර්මාණ ආශි‍්‍රතව ද මූර්ති නිර්මාණ පිහිටි ගල්වලට ම බද්ධ කර සාදා ඇත. ඊට අමතර ව බත්ඔරු බෙහෙත් ඔරු, දාන ශාලා, පුරාණ රෝහල් සංකීර්ණය ආදී බොහෝ නිර්මාණ ද සංඝාවාස හා ලෙන් විහාර ද මිහින්තලේ විවිධ ස්ථානවල පුරාණ වාස්තු විද්‍යාත්මක ගොඩනැගිලි දැකිය හැකි ය. මේ නිසා අනුරාධපුරය, අනික් නිර්මාණ, පොළොන්නරුව ආදී රාජධානිවලට අයත් නිර්මාණවලට වඩා මිහින්තලේ ඉතා පුරාණ සිංහල බෞද්ධ කලා ශිල්පවලට තෝතැන්නක් ලෙසින් සැලකේ.