Print this Article


පිරිකර පූජාවයි අනුසස් ලැබීමයි : කුසලයට පමා නොවන්න

කුසලයට පමා නොවන්න

සමාජයේ ඇතැම් අයෙකු පින්කමක් කළ විට බොහෝ භවභෝග සම්පත් ප්‍රාර්ථනය කරන බව පෙනේ. අවසානයේ දී මෙතේ බුදුන් දැක නිවන් දැකීමට ද පතති. පිනක් සිදුකිරීමෙන් ප්‍රාර්ථනා කළත් නොකළත් අනන්ත සසර ගමනේ දී බොහෝ සැප සම්පත් ලැබීමට ඉඩ ලැබේ.

ප්‍රාර්ථනාවක් සමෘද්දිමත්වීමට ඊට ශක්තිය හා බලය ද තිබිය යුතුය. සැප සම්පත් සසර පැතීමට වඩා සසර කතරෙන් එතෙරවීමට ම කල්පනා කළ යුතුව ඇත.

සුළු පිනක් කොට වූව ද එහි විපාක ලෙස මහත් ඵලයක් ලැබිය හැකිය. එබැවින් පිනට කුසලයට නො පමාවන්න.

නිය කපන උපකරණ පිදීමේ අනුසස්

බුදුරජාණන් වහන්සේට මෙන් ම මහා සංඝරත්නය උදෙසා නිය කපන උපකරණ පූජා කිරීමෙන් කර්මයට අනුව අනුසස් පහක් ලබන්නෙක් වූයෙමි. එනම් බොහෝ වූ දැසි දාසයන් ද, ගවයන් හා අශ්වයෝ ද, ආරක්ෂක මෙහෙකරුවන් ද, කෙස් රැවුල් කපන්නන් ද, බත්, ආහාර පිසින්නන් ද හැම කල්හි ම ලබන්නෙක් වෙමි.

ඉදිකටු ගුලා පිදීමේ අනුසස්

චිත්ත සුඛය, කාය සුඛය, ඉරියව් පැවැත්මේ සුඛය ද නම් වූ ආනිසංසයෝ තුනක් බුදුරජාණන් වහන්සේට හා මහා සංඝරත්නයට ඉදිකටු ගුලා පූජා කිරීමෙන් කර්මයට අනුව අනුසස් ලබන්නෙක් වෙමි.

බෙහෙත් අඳුන් පිදීමේ අනුසස්

බුදුරජාණන් වහන්සේට හා මහා සංඝරත්නයට බෙහෙත් අඳුන් එනම් ඇස් බෙහෙත් පූජා කිරීමෙන් කර්මයට අනුරූප අනුසස් ලැබුවෙමි. එනම් මහත් නෙත් ඇත්තේ වෙමි. ඇසෙහි සුදු, කහ, රතු පැහැයන් මනා කොට ඇත්තේ වෙමි. නො කැඩුණා වූ පහන් වූ ඇස් ඇත්තේ වෙමි. සියලු රෝගාදියෙන් මිදුණේ වෙමි. දිවැස් ලබන්නෙමි. අනුත්තර ප්‍රඥා චක්ෂුස ලබන්නෙක් වෙමි.

ආයෝග දානයේ අනුසස්

ආයෝග යනු පටි විශේෂයකි. සමාධියෙහි නො සැලෙමි. සමාධියෙහි වශී භාවය ඇත්තෙමි. නො බිඳෙන පිරිස් ඇත්තේ වෙමි. හැම කාලයේ විශ්වාස කරන කතා ඇත්තේ වෙමි. එලෙසම භවයෙහි සැරිසරන සෑම කල්හි ම භෝග සම්පත්තිය ලබන්නෙක් වෙමි.

බුදුරජාණන් වහන්සේට මෙන් ම මහා සංඝරත්නයට ආයෝග දානය පූජා කිරීමෙන් කර්මයට අනුරූප අනුසස් පහක් ලබන්නෙක් වෙමි.

ඇඟ ගල්වන තෙල් පිදීමේ අනුසස්

බුදුරජාණන් වහන්සේට හා මහා සංඝරත්නයට ඇඟ ගල්වන තෙල් පූජා කිරීමෙන් කර්මයට අනුරූප වූ අනුසස් පහක් ලබන්නෙක් වෙමි. එනම් නීරෝගී බව, රූමත් බව, වහා ධර්මයන් දැන ගැනීමට සමත් බව, ආහාර පාන ලබන බව, ආයුෂ ලබන බව යන මේ අනුසස් ය.

මුව පිරිසුදු කරන දෑ පිදීමේ අනුසස්

පිරිසුදු උගුර ඇත්තේ වෙමි. මිහිරි හඬ ඇත්තේ වෙමි. කාශශ්වාස නැත්තේ වෙමි. මාගේ මුවින් හැම කල්හි ම මානෙල් මල් සුවඳ හමයි. කර්මයට අනුරූපව අනුසස් පහක් මෙලෙස ලැබූයේ බුදුරජාණන් වහන්සේට හා මහා සංඝරත්නයට මුව පිරිසුදු කරන දෑ පිදීමේ අනුසස් ලෙසිනි.