Print this Article


අටුවා රසකතා- 15 : පේෂකාර දියණිය අන්ධ වෙයි

පේෂකාර දියණිය අන්ධ වෙයි

2 කොටස:

මජ්ක්‍ධිම නිකාය අටුවාව වන පපඤ්චසූදනියෙහි සඳහන් කාන්තාවක් දැක සෘද්ධියෙන් පිරිහුණු සාමණේරයන් වහන්සේගේ කතා ප්‍රවෘත්තියෙහි දෙවන කොටස යි.

සෘද්ධියෙන් පිරිහුණු සාමණේරයන් වහන්සේ වේගයෙන් ගොස් උපාධ්‍යයන් වහන්සේට පා සිවුරු දී නැවතුණ හ. මහ තෙරණුවෝ මෙය කලින් ම දැන සිටි නිසා මොහු මා විසින් වළක්වනු ලබන්නේ ද නො නවතින්නෙ යැයි දැන කිසිවක් නො කියා නිශ්ශබ්දව ම පිණ්ඩපාතේ වැඩියහ. සාමණේරයන් වහන්සේ වහා වහා ආපසු ගොස් නෙළුම් විල ඉවුුරෙහි ඒ පේසකාර ස්ත්‍රිය විලෙන් ගොඩවෙන තෙක් බලා සිටියේ ය. ඒ පේසකාර ස්ත්‍රිය ද සාමණේරයන් වහන්සේ අහසෙහි යනු දැක නැවත අවුත් සිටිනු දැක මුන්වහන්සේ ඒකාන්තයෙන් මා නිසා කළකිරුණේ ය යැයි දැන ඉවත්වන්න සාමණේරයන් වහන්සේයි කී හ. උන්වහන්සේ ඉවත් වූහ. ඇය ගොඩ වී සළුව ඇඳ උන්වහන්සේ වෙත එළඹ ඇයි? ස්වාමිනී යැයි ඇසී ය. සාමණේරයන් වහන්සේ සියලු පුවත් ඇයට දැන්වූහ. ඉන්පසු ඒ පේසකාර කාන්තාව බොහෝ කරුණුවලින් ගෘහයේ ආදීනව ද බ්‍රහ්මචරිය වාසයෙහි ආනිශංස ද දක්වා අවවාද කළත්, සාමණේරයන් වහන්සේගේ උකටලී බව නැති කරන්නට නො හැකි වන්නී, මුන් වහන්සේ මා කරණකොටගෙන මෙ බඳු මහත් වූ සෘද්ධියකින් පිරිහී ගියහ. දැන් අත්හරින්නට සුදුසු නොවේ යැයි උන්වහන්සේගේ අදහසට කැමති ව ගෙට ගොස් මවුපියන්ට ඒ බව දැන් වූවා ය.

ඇගේ මවුපියන් ද සාමණේරයන් වහන්සේට ගිහිගෙහි කටුක බව දක්වමින් විවිධාකාරයෙන් අවවාද කළත්, ඒ කිසිවක් උන්වහන්සේ නොපිළිගත් නිසා ඔහු අස්වැසීම නිරර්ථක ක්‍රියාවක් යැයි දැන පසුව ඔවුහු සාමණේරයන් වහන්සේට මෙසේ කී ය. ‘හිමියනි, අපි උසස් කුලවල ඇත්තෝ නො වෙමු. අපි රෙදි වියන්නෝ වෙමු.” යනුවෙනි. එය ද ගණනකට නො ගත් සාමණේරයන් වහන්සේ එය තමාට ප්‍රශ්නයක් නැති බව පැවසීය. පසුව ඒ පේෂකාර ස්ත්‍රියේ පියා ගිහි වුවහොත් වෘත්තියක් වශයෙන් රෙදි විවීම හෝ බටපතුරු කර්මාන්තය කළයුතු බැවින් එය කළ හැකි දැයි විමසී ය. එවිට සාමණේරයන් වහන්සේ පවසනුයේ “උපාසකය, එසේ ය, ගිහියන් ඒවා අනිවාර්යයෙන් කළ යුතු බැවින් මම ද ඉගෙනගෙන කරන්නෙමියි” පැවසී ය.පසුව ඒ උපාසක තෙමේ තමන් කෙරෙහි වූ සළුව සාමණේරයන්ට දුන්නේ ය. එය ඇඳගත් සාමණේරයන් ගිහි විය. එතැන් පටන් පේෂකාර දුවත් සමඟ දිවිය ගත කරන ඔහු පේෂකාර කර්මාන්තය ඉගෙන පේෂකාර ශාලාවෙහි සෙසු පිරිස සමඟ වැඩ කරන්නට විය.

මෙසේ කලක් ගතවීමෙන් පසු දිනක් ඔහු පේෂකාර ශාලාවෙහි වැඩ කරමින් සිටින අතර සෙසු පිරිමින්ගේ භාර්යාවෝ උදෑසනම බත් සාදාගෙන පැමිණියහ. එහෙත් ඔහුගේ බිරිඳ තාම පැමිණියේ නැත. අන්‍යයන් වැඩ නවත්වා ආහාර ගන්නා කල්හි ද, ඔහු සෙමින් සෙමින් නඩාව ගසමින් ම හුන්නේ ය. ඇය ප්‍රමාද වී පැමිණියා ය. පසුව ඔහු ඇගේ ප්‍රමාද වී පැමිණීමට තර්ජනය කළේ ය. එවිට ඇය පවසන්නී ‘අන් අයගේ නිවෙස්හි දර, කොළ, ලුණු ආදිය තැන්පත් කර ඇත. බැහැරින් ගෙනවිත් දෙන අය ද ඇත. එහෙත් මා හට ඒ කිසිවක් නැත. ඔබ මේ බව නොදන්නෙහි ද? මා සියල්ල තනිව කළ යුතු නොවේදැයි” කී ය. කැමතිනම් කන්න, නැතිනම් නො කන්න යැයි තරහින් පැවසී ය.

මෙයින් කිපුණු ඔහු ‘මැය ඉර බැසගිය පසුත් මා හට ආහාර රැගෙනවිත් තවත් දේ කියන්නී යැයි කිපී පේෂකාර යන්ත්‍රයේ ඉදිකටුව අමුණන තසර දඩුව කඩා ඇයට දමා ගැසී ය. ඇය ද එය එනු දැක කණුවකට මුවා වූ අතර, එහි තියුණු වූ කොණ ඇගේ අසේ වැදී ඇස බිඳී ගියේ ය. ඈ දෑතින් ම ඇස අල්වා ගත්තා ය. ඇගේ ඇසින් ලේ වැගිරෙයි. ඒත් සමඟ ම ඔහුට ඔහුගේ උපාධ්‍යයන් වහන්සේ විසින් කියන ලද ‘ඔබ අනාගතයේ කණ වූ පේෂකාරියක අතින් මිරිකන ලද කැඳ බොන්නේ ය.’ යන වචන සිහිවන්නට විය. ‘අනේ මාගේ උපාධ්‍යයන් වහන්සේ දුර දක්නා නුවණින් මේ බව ප්‍රකාශ කරන ලදහ” යනුවෙන් සිතමින් අඬන්නට විය.

එවිට අන්‍යයන් පැමිණ ‘දරුව නොහඬන්න, බිඳුණු ඇස හැ¼ඩීමෙන් ප්‍රකෘතියට පත් නොවෙයි’ යනුවෙන් ඔහු අස්වසන්නට විය. පසුව ඔහු තමා හඩන්නේ ඒ කාරණය නිසා නො වන බවත්, තෙරුන් වහන්සේගේ දුර දක්නා නුවණින් තමන්ට කළ ප්‍රකාශය සිහි වූ නිසා බවත්, පවසා ඔවුන්ට සියල්ල පැහැදිලි කළේ ය.