Print this Article


ධම්මපදයෙන් ජීවිතයට: කළොත්  පාපය ඇතිවෙයි පසුව තාපය

යමක වග්ගය 17:

කළොත්  පාපය ඇතිවෙයි පසුව තාපය

ඉධ තප්පති පෙච්ච තප්පති - පාපකාරි උභයත්ථ තප්පති
පාපං මෙ කතං’ති තප්පති - භිය්‍යො තප්පති දුග්ගතිං ගතො

පාපකාරි- පවු කරන තැනැත්තා , ඉධ -මෙලොව දී , පෙච්ච-පරලොවත්, උභයත්ථ - දෙලොව ම , මෙ-මා විසින් , පාපං- පාප කර්මයක් , කතං ඉති – කරන ලැදැ’යි , දුග්ගතිං- නිරයට , ගතො - ගියේ , භිය්‍යො - වැඩියෙන්, තප්පති –තැවෙයි

පවු කරන තැනැත්තා මෙලොවත් තැවෙයි. පරලොවත් තැවෙයි. මම පාපයක් කළෙමි’යි සිතමින් තැවෙයි. අපායට ගිය පසු වඩාත් තැවෙයි.

බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවන විහාරයෙහි වැඩ වසන කාලයේ දේවදත්ත ස්ථවිරයන් වහන්සේ අරබයා මෙම ගාථාව දේශනා කළ සේක.

බුදුරජාණන් වහන්සේ සමඟ ම කොසඹෑ නුවර එකට වාසය කළ කාලයේ බුදුරදුන්ට සැදැහැවතුන්ගෙන් ලැබෙන වැඩි ගෞරවාදරය හා පුද සත්කාර නිසා දෙව්දත් තෙරණුවෝ දැඩි ඊර්ෂ්‍යාවෙන් පසු වූ හ. තමන් සංඝ නායකත්වය ලද හොත් බුදුරදුන්ට ලැබෙන ගරු සැලකිලි තමන් වෙත හරවා ගත හැකි බව සිතූහ. එ බැවින් උන් වහන්සේ දිනක් වේළුවනාරාමයෙහි දම් දෙසමින් සිටි බුදුරදුන් කරා එළඹ ‘ ඔබ වහන්සේ දැන් වයෝවෘද්ධ යි. එබැවින්, සංඝයාගේ පාලනය මට පවරා නිවාඩු ගන්නැ’යි දෙව්දත් තෙරණුවෝ ආරාධනාවක් කළහ. එහෙත් දෙව්දත් තෙරණුවන්ගේ සෑබෑ තතු දත් බුදුන් වහන්සේ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළහ.

එදා සිටම බුදුරදුන් කෙරෙහි වෛර බැඳගත් දෙව්දත්, බුදුන් වහන්සේ ඝාතනය කිරීමට වරක් දුනුවායන් යෙදැවී ය. අනතුරු ව ගිජුකුළු පව්ව මත සිට ගල් පෙරැළී ය. තුන්වන වතාවේ නාලාගිරි ඇතා මෙහෙයවී ය. මේ තෙවතාව ම අසාර්ථක වූ බැවින් දුනුවායෝ බුදුන් නසනු වෙනුවට ශ්‍රාවකත්වයට පත් වූහ. පෙරැළූ ගල වළකනු පි ණිස ගලක් ඉදිරිපත් විය. එයින් ගැළවුණු කුඩා පතුරක් බුදුරදුන් ගේ පයෙහි කුඩා තුවාලයක් කළ ද බරපතල හානියක් නො වී ය. නාලාගිරි ඇතා ද බුදුරදුන් ට දමනය විය. මේ සියල්ලෙන් කෝප වූ දේවදත්ත සංඝ භේදයක් කරවීමට උත්සාහ කළේ ය. අලුත පැවිදි වූ භික්ෂු පිරිසක් රවටා බුදුරදුන්ගෙන් වෙන් කරවා ගයා ශීර්ෂයට ගොස් දෙව්දත් ප්‍රතිපක්ෂයක් ගොඩ නඟා ගත්තේ ය. එහෙත් එහි වැඩම කළ සැරියුත් – මුගලන් දෙනම විසින් ඉන් වැඩි පිරිසක් නැවත කැඳවා ගෙන ඒමට සමත් වූ හ.

අවසානයේ දෙව්දත් බලවත් ලෙස රෝගාතුරු විය. නම මසක් ම දුක් විඳි ඔහු භාග්‍යවතුන් වහන්සේ දකින්නට කැමැත්තෙන් පසු වුවද ඔහුගේ ශ්‍රාවකයෝ ‘ඔබ හොඳ සුවයෙන් පසු වෙත් දී බුදුරදුන්ට එරෙහි ව ක්‍රියා කළ අයුරු සිහි ගන්වා’ බුදුරදුන් වෙත ගෙන නොගිය හ. එහෙත් බුදුරදුන් දකින්නට කැමැත්තෙන් සිටි දෙව්දත් මා විනාශ නොකරන්න. මා බුදුරදුන්ට වෛර කළ ද උන් වහන්සේගේ සිතේ මා කෙරෙහි ‘කෙස් ගසක’ තරම් වත් වෛර මාත්‍රයක් නොමැති බව ප්‍රකාශ කළේ ය. සැබවින්ම බුදුරදුන්ගේ සිත තුළ කිසි දු සතුරකුට වෛර මාත්‍රයක්වත් නොවී ය. පසුව ඔවුහු දෙව්දත් දෝලාවකින් රැගෙන භාග්‍යවතුන් වහන්සේ දක්නට පැමිණිය ද අවාසනාවකට මෙන් දෝලාවෙන් බිමට පා තැබූ දෙව්දත්, පොළොවෙහි ගිලී අවීචි මහා නරකාදියෙහි උපත ලැබී ය.

පරලොව තැවෙන්නේ කර්ම විපාක විඳින විට ය. අන්ත දුක් සහිත ස්ථාන වූ දුගතිවල උපන් විට අනේක විධ වේදනා කම් කටොළු වලට පාත්‍ර වන්නට සිදු වෙයි. එහෙයින් තම පවු නිසා මෙසේ දුක් විඳිතැ’යි තැවෙන්නට පවුකරුට සිදු වෙයි.