Print this Article


සතිපට්ඨාන භාවනාව 21 : ධම්මානුපස්සනාවේ උද්ධච්ච කුක්කුච්ච නීවරණය - නීවරණ තිබෙන තුරු සසර සැනසීමක් නොවේ

ධම්මානුපස්සනාවේ උද්ධච්ච කුක්කුච්ච නීවරණය

නීවරණ තිබෙන තුරු සසර සැනසීමක් නොවේ

එක්තරා මිනිසෙක් වනාන්තරයට පිවිස ගවයෙක් මද්දට අසුකරගෙන කණුවක ගැට ගැසුවා. මේ සතා තණකොළ දුන්නට කන්නේ නැහැ. වතුර දුන්නාට බොන්නේ නැහැ. කණුව වටේම කරකැවෙනවා. මේ සතා උත්සාහ කරන්නේ කැළයට දුවන්නම යි. වාසය කරන්නේ වික්ෂිප්ත මනසකින්. කණුව වටේට ම කැරකෙන මේ සතාගේ ගෙල යම් දවසක කණුවටම තද වෙනවා.

මේ මොහොතේ ගව හිමියා පැමිණ ගවයා අතපත ගා හීලෑ කර ගන්නවා. දැන් මේ සතා කනවා, බොනවා. අවශ්‍ය පරිදි ගවයා හීලෑ කරගන්න ගව හිමියාට පුළුවන් වුණා. මේ උපමාවෙන් සඳහන් කරන්නේ අපේ සිතත් වනාන්තරයෙන් අල්ලා ගත් කුළු හරකෙක් වැනි බව යි. කෙසේවත් සිත එක අරමුණක තබාගන්න පුළුවන්කමක් නැහැ. නිබඳව ම සිත අරමුණු ඔස්සේ එහෙ මෙහෙ දුව පැන ඇවිදිනවා. බහුල වූ අරමුණු ඔස්සේ දුව පැන ඇවිදින සිත නිසා සිතේ තැන්පත් කමක් ලබන්න බැහැ. සිතේ තැන්පත් කමක් ගන්නට නම්, දීර්ඝ වේලාවක් එක අරමුණක් මෙනෙහි කළ යුතු යි. සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා, යන අරමුණ දිගටම විනාඩි දහයක් හෝ පැයක් හමාරක් හෝ මෙනෙහි කරද්දී සිතේ යම් සන්සුන් බවක් ඇතිවෙයි. සද්ධර්මය ශ්‍රවණය, භාවනාව ආදියෙහි සිත පිහිටුවීම නිසා සිතේ තැන්පත් බව ඇති වෙයි. මේ නිසා සිතේ දුවන පනින ස්වභාවය අඩුකර ගන්න පුළුවන්.

එසේනම්, උද්ධච්ච යනු සිතේ ඇතිවෙන නොසන්සුන්කම යි. සිත තැන්පත් නැතිකමට උද්ධච්ච කුක්කුච්ච යනුවෙන් පැහැදිලි කරයි. කුක්කුච්චය යනු කළ වැරැදි හෝ නොකළ යහපත් දේ ගැන සිතා පසුතැවීම යි. එසේනම්, උද්ධච්චය යනු සිතේ තැන්පත් නැතිකම වන අතර කුක්කුච්චය යනු පසුතැවිල්ල යි. නීවරණයේ ස්වභාවය නිබඳව ම මනස එක අරමුණක තබා ගැනීමට අපහසු බව යි. ඇස, කන, නාසය, දිව, සිරුර , සිත යන ආයතන හය කෙරෙහි සිත පිහිටුවමින් එය බාහිර අරමුණු හයක් කරා දිව යයි. එනම්, රූප , ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම වෙයි. මේ ආයතන දොළහ නිසා සිතේ විසිරීම සිදු වෙයි. තද නින්දට වැටුණු විට පමණක් සිත භවංගයට වැටෙයි. අනෙක් සෑම විටම සිත නොසන්සුන් ව පවති යි.

එසේ නම්, උද්ධච්ච කුක්කුච්ච නීවරණය තම සිතෙන් ප්‍රහාණය කළ යුතු යි. එය තම සිතට වධ දෙන නීවරණයක් ලෙස පෙන්නුම් කරයි. සිතේ විසිරීම, කුකුස ප්‍රහාණය කිරීමට කරුණු හයක් තිබෙයි. 1.බහුශ්‍රැත භාවය 2.සාකච්ඡා කිරීම 3.විනය පිළිබඳ දක්ෂ බව 4. වැඩිහිටියන් ආශ්‍රය කිරීම 5. කල්‍යාණ මිත්‍රයන් ආශ්‍රය කිරීම 6. සුදුසු කතා ඇතිකර ගැනීම යි. මේ කරුණු සිතට ගත්විට සිතේ තිබෙන දුවන පනින ගතිය සහ පසුතැවිල්ල ආදිය යම් ප්‍රමාණයකට සන්සිඳුවා ගන්න පුළුවන්. සිතේ විසිරීම තිබුණොත් සිත යම් තත්ත්වයකට ගෙන එන්නට අපහසු යි. සිතේ තැන්පත් බව ධ්‍යාන තත්ත්වයට සමත් වෙයි. එනම්, ප්‍රථම ධ්‍යානය, දුතීය ධ්‍යානය, තෘතීය ධ්‍යානය , චතුර්ථ ධ්‍යානය, පංචම ධ්‍යානය දක්වා සිත ගෙන එන්නට පුළුවන්.

උද්ධච්ච - කුක්කුච්ච කරුණු දෙක සිතේ හට ගත්විට එය මෙනෙහි කළ යුතු යි. සිත දුවනවා, සිත දුවනවා, සිත වික්ෂිප්ත යි, සිත වික්ෂිප්ත යි. සිත අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි. සිතේ විපිළිසර ගතියක්, පසුතැවිල්ලක්, එය අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් භාවනාවට ගත යුතු යි. එවිට එම නීවරණය ප්‍රහාණය වී කුසලාරම්මන මතුව, නුවණ හොඳින් දියුණු වී අනිත්‍යතා ලක්ෂණයන් වටහා ගන්නට පුළුවන්.

නිර්වාණයේ දොරටු වසා තිබෙන අතර දෙව්ලොවට , බඹලොවට පිවිසෙන මාවත ද වැසී ඇත. එසේනම්, සිතේ විසිරීම සහ කුකුස භයානකම නීවරණයක්. සිතේ විසිරීමෙන් අවසන් ගමන ගියොත් යහපත් තැනක උපත ලබන්නට බැහැ. උද්ධච්චයෙන්, මෝහයෙන් මරණයට පත්වන අය උපත ලබන්නේ තිරිසන් ලොව යි. පසුතැවිල්ල නිසා කුසල ආරම්මණයකට සිත පිහිටුවන්න බැහැ. මේ නිසා සුගතියකට සිත පිහිටුවන්න බැරිව උපත ලබන්නේ දුර්ගතියක යි.

මේ ගැන හොඳ දැනීමක් ඇතිකරගෙන හොඳින් සද්ධර්මය ශ්‍රවණය , භාවනාව ,ධර්ම සාකච්ඡා ආදිය කළ යුතු යි. සිත සහ සිතිවිලි ගැන හොඳින් දැනගත යුතු යි. එවිට තමන්ගේ සිතේ වික්ෂිප්ත බව සංසිඳුවා ගන්න පුළුවන්. පංච නීවරණයන් කුසල් සිත්වල හටගන්නේ නැහැ. උද්ධච්චය හටගන්නේ මෝහ සිතෙහි ය. සිත් සියල්ල අසූ නවය යි. චෛතසික පනස් දෙක යි. එයින් උද්ධච්චය හටගන්නා සිත , එහි යෙදෙන චෛතසික පිළිබඳ හොඳ දැනීමක් ඇති කරගැනීමෙන්, ධර්මය පිළිබඳ මනා වැටහීමෙන්, උද්ධච්ච කුක්කුච්ච නීවරණය ප්‍රහාණය කර ගන්නට සමත් වෙයි.

උද්ධච්ච කුක්කුච්ච සිත අයහපත් අරමුණක් බව දැන කියාගෙන තම චිත්ත සන්ථානය හැකිතාක් දියුණු තියුණු කර ගැනීම සඳහා උත්සාහ ගත යුතු යි. පොත පත කියවීම ආදී කටයුතුවල නියැළුන විට නීවරණයන් යටපත් කර, අනීවරණ තත්ත්වයට සිත ගෙන එන්නට පුළුවනි. බුදු , පසේ බුදු, මහ රහතන් වහන්සේ පමණක් සිතේ විසිරීම, පසුතැවිල්ල සංසිඳුවාගෙන තමන් වහන්සේලාගේ සිත ඉහළම තත්ත්වයට ගෙන ආවා. එය කිසිවෙකුට වෙනස් කළ නොහැකි යි. වෙනස් වන්නේ පෘතග්ජන වූ අපගේ සිත පමණ යි. ආර්ය උතුමන් වහන්සේලා ස්ථිර භාවයට පත් වුණා. එවැනි උතුමන්ගේ තත්ත්වය වෙනස් කරන්නට පුළුවන් කමක් නැහැ. නියමාකාරව වටහාගෙන කටයුතු කිරීමෙන් තම චිත්ත සන්ථාන දියුණු කරගන්න පුළුවන්කම ලැබී තිබෙනවා.

නීවරණ තිබෙන තුරා සැනසුමක් සොයා ගන්න අපහසු යි. නීවරණයන්ගෙන් සිත ගත දෙකම පහත හෙළයි. කය මන්දෝත්සාහී ගතිය ඇති කරයි. සිත අයහපත් තත්ත්වයට පත් කරයි. මේ ගැන දැනීමකින් ශීල, සමාධි, ප්‍රඥා හොඳින් දියුණු කර ගන්න. සම්මා දිට්ඨි නම් නිවැරැදි ප්‍රඥාව , සම්මා සංකප්ප ආදී නිවැරැදි අදහස්, සම්මා වාචා නිවැරැදි වචන, සම්මා කම්මන්ත නිවැරැදි වැඩ කටයුතු, සම්මා ආජීව නිවැරැදි දිවි පෙවෙත, සම්මා වායාම නිවැරැදි උත්සාහය, සම්මා සති නිවැරැදි සිහිය සම්මා සමාධි නිවැරැදි චිත්ත සමාධිය ආදී කරුණු අට පිළිබඳ මනා දැනීමක් ඇති කරගත් විට සුගතිගාමී විය හැකි යි. සිත පුළුවන්තරම් දියුණු කරගෙන ආර්ය තත්ත්වයට සිත ගෙන යා හැකි යි. මේ ගැන කවුරුත් හොඳ දැනීමකින් , සම්මා සම්බුද්ධ ශාසනය පිළිබඳ ව වැටහීමක් ඇති කරගත්තොත්, නීවරණ සංසිඳුවාගෙන අනීවරණ ලෙස සිත ගෙන එන්නට සමත් වෙයි.

සම්බුද්ධ ශාසනයෙන් බලාපොරොත්තු වන්නේ උතුම් ගුණ දියුණුව යි. ඒ දියුණුව සකස් කරගැනීම ඇත්තේ අනුන් තුළ නොව, තමා තුළම යි. එයට ඡන්ද ඍද්ධි පාදය , චිත්ත ඍද්ධි පාදය, විරිය ඍද්ධි පාදය, වීමංස ඍද්ධි පාදය ආදී සතර ඍද්ධිපාදයන් තිබිය යුතු යි. එවිට සිත ඉදිරියට ගෙන යාම පහසු යි. ඍද්ධි පාද සිතේ පහළ වුණොත් ඒ පින්බර ගමන නවතා දමන්නට කිසිවකුට බැහැ. නිවන් මඟ ගමන් කරන්නන්ට අතුරු බලවේග, මාර්ග බලවේග බොහොම යි. නමුත්, මේවා හොඳින් වටහාගෙන ශීල, සමාධි, ප්‍රඥා ආදී ගුණාංගයන් හොඳින් වර්ධනය කරගෙන නිවන් මඟ උදෙසා ඉදිරියට යාම කාගෙත් පරම යුතුකම විය යුතු යි.

මනුස්ස ජීවිතය සහ බුද්ධ ශාසනය අපට ලැබුණු නිසා එය මනාකොට වටහාගෙන වැඩි වැඩියෙන් පින් දහම් කරගත්විට, අපට මරණින් මතු සුගතිගාමී විය හැකි යි. අපායෙන් නිදහස් විය හැකි යි. මේ ගැන දැනකියාගෙන නීවරණ පිළිබඳ මනා වැටහීමක් කවුරුත් ඇතිකරගෙන සම්මා සම්බුද්ධ ශාසනය පිළිබඳ ව හොඳ අවබෝධයකින් කටයුතු කිරීමට අධිෂ්ඨාන තබා ගෙන නිවන් මඟ පසක් කරගත යුතු යි.