Print this Article


සම්බුදු ගුණමහිම : බුදු ගුණ සිහි කරමු

වප් පුර පසළොස්වක පෝදා සිට සතර පෝයට ම කොටස් වශයෙන් පළවන නව අරහාදී සම්බුදු ගුණ මුල් කරගත් දම් දෙසුම ලිපි මාලාව අංක – 44

බුදු ගුණ සිහි කරමු

රෝගයක් තියෙන කෙනෙකුට දක්ෂ වෛද්‍යවරයෙක් හමුවුණොත් වෛද්‍ය උපදෙස් ලැබිලා රෝගය සුවවෙනවා.

ඒ වාගේ තමයි සංසාර රෝගය ජාති ආදී රෝගයන් සුව කර ගැනීමට බුදුපියාණන් වහන්සේ ගේ ධර්මය තමා පරම ඖෂධයක් කියලා කියන්නේ ධනංජානි කියන බැමිණියගේ කතාවේ එන බැමිණිය තෙරුවන් සරණ ගිය ආර්ය ශ්‍රාවිකාවක්. ධනංජානි බමුණා කියලා කියන්නේ බමුණන් පස්සේ යන බමුණු වැද්දෙක්.

මොකද බමුණන් පස්සේ තමයි එතුමා යන්නේ. ඉතින් අර බමුණො තුන් හාරසීයය, පන්සීයය ගෙදරට ගෙනැවිල්ලා දානය දෙන්නා වගේ ම බැමිණියත් දානය දෙනවා බුද්ධ ප්‍රමුඛ සංඝයා වහන්සේට. ඉතින් මෙතුමියට, යම්කිසි කරදරයක් විපතක් වෙනකොට මතක් කරනවා ‘නමෝතස්ස’ පාඨය එය කියා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න දෙසට වන්දනා කරනවා. ඉතින් මේක මහා කරදරයක් මේ බමුණාට, බමුණා කියනවා මගේ ශ්‍රාවකයො, මගේ දෙවියන් වහන්සේ නැත්නම් මගේ පූජනීය උතුමෝ බ්‍රාහ්මණයෝ හෙට එනවා. දානෙට හෙට එහෙම නම් ඔයවාගේ වැඩ කරන්න එපා කියනවා. නමුත් මෙතුමිය කියන්නේ මගේ දේ මම කරනවා. බමුණා බොහෝ ම සැරපරුෂ වුණත් ඒක නවත්වන්න බැරි වුණා. පසු දවසක දී එහෙම වෙලා බ්‍රාහ්මණයො ටික කලකිරී ආපසු ගියා. නමුත් බුදුරජාණන් වහන්සේ හමුවුණු ධනංජානී බමුණා පසුව තෙරුවන් සරණ ගියා. අනුශාසනීය ප්‍රාතිහාර්යය. බුදුරජාණන් වහන්සේ දිව්‍ය ලෝකයේ වාසය කරන මනුස්සයන්ටත්, දෙවියන්ටත් නිවන් මඟ, සුගති මඟ, දහම් මඟ, පාරමී මඟ කියාදෙන පරම ශාස්තෘ ගුණය ඇති නිසා සත්ථා දේව මනුස්සානං කියන ගුණයෙන් සමන්වාගතයි.

බුද්ධ ගුණ මහිමය

ඊළඟට බුද්ධ කියන ගුණය, බුද්ධ කියන වචනය අර්ථ හතරකින් බෙදාගන්න පුළුවන්.

1.සුත බුද්ධ

2.බුද්ධ

3.පච්චේක බුද්ධ (පසේ බුදුරජාණන් වහන්සේලා)

4.සම්මා සම්බුද්ධ යනුවෙන්.

සුත බුද්ධ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය කටපාඩම් කරගෙන, දරාගෙන, ගුණ පිළිවෙත් මඟ ඉන්න කෙනෙක් තමා සුත බුද්ධ, බුද්ධ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රාවක පාරමී ඥානයෙන් අවබෝධ කරගෙන රහත් භාවය ලබාගන්න උතුමන් වහන්සේලා.

පච්චේක බුද්ධ කියලා කියන්නේ අසංඛෙය්‍ය දෙකකුත් කල්ප ලක්ෂයක් පුරා පාරමී පුරාගෙන පැමිණ තමන් ම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්නවා. හැබැයි සර්වඥතා ඥානය ලැබෙන්නේ නැති උතුමන් වහන්සේ තමයි පසේ බුදුරජාණන් වහන්සේලා.

සම්මා සම්බුද්ධ කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයන් තමන් ම අවබෝධ කරගෙන, වශී කරගෙන, සර්වඥතා ඤාණ ලාභී උතුමන් වහන්සේ, එතකොට දැන් මේ කියන සම්මා සම්බුදු රජාණන් වහන්සේ සතු ගුණයක් තමා බුද්ධ කියලා කියන්නේ. මේ බුද්ධ කියන වචනයේ තේරුම් රාශියක් දේශනාවේ තිබෙනවා.

චතුරාර්ය සත්‍ය ධර්මයන් තමන්ම අවබෝධ කරගත් නිසා කියනවා බුද්ධ කියලා. තමන් වහන්සේ අවබෝධ කරගත් ඒ චතුරාර්ය සත්‍ය ධර්මයන් අන්‍ය සත්වයන්ට අවබෝධ කර වු බැවින් බුද්ධ කියලා කියනවා. දැන් අන්‍ය සත්වයන්ට අවබෝධ කරනු කියලා කියන කොට බුදුපියාණන් වහන්සේගෙන් බණ අසා අහවල් අහවල් කෙනා නිවන් දැක්කේ නෑ. කියා එදා සැවැත් නුවර රජගහනුවර ජනතාව ගණන් කරන්න බෑ කියනවා. බොහෝ පිරිස් අවම වශයෙන් සෝවාන් මගඵල ලබලා හිටියේ. ඊළඟට නෙළුම් මලක් ප්‍රබුද්ධ වන්නා සේ තමන් වහන්සේ මේ ලෝකයට සුවඳ සහිතව ප්‍රබුද්ධ වුන නිසා, පිපුණ නිසා බුද්ධ කියලා කියනවා. කිසිම දෙයක් ඉතිරි නොකර සියල්ල සර්ව සම්පූර්ණව අවබෝධ කරගත් නිසා කියනවා බුද්ධ කියලා. සියලුම උපක්ලේෂ ධර්මයන් අභිබවා ගිය බැවින් එනම් විසමලෝභය, මාන දිට්ඨි ඒ වාගේම ඉස්සා මච්ඡරිය, මායා සාටෙපය ආදි නොයෙක් උපක්ලේෂයන් මේ කෙලෙස් සියල්ලක්ම නැති කළ නිසා බුද්ධ කියලා කියනවා.

සියලුම ආශ්‍රවයන් ක්ෂය කර ඛීණාසව බවට පැමිණි නිසා කියනවා බුද්ධ කියලා.

ඒකාන්තයෙන් ම රාගය නැසූ නිසා කියනවා බුද්ධ කියලා.

ඒකාන්තයෙන් ම ද්වේශය නැසූ නිසා කියනවා බුද්ධ කියලා.

ඒකාන්තයෙන් ම මෝහය නැසූ නිසා කියනවා බුද්ධ කියලා.

ඒකායන වූ මධ්‍යම ප්‍රතිපදාවේ ගමන් ගත් නිසා කියනවා බුද්ධෝ කියලා.

තමන් වහන්සේ ම හුදකලාව, තනියම අනුත්තර සම්මා සම්බෝධියට පත්වූ නිසා කියනවා බුද්ධ කියලා.

අඥානකම මඟ හැර ප්‍රඥාව, විද්‍යාව පහළ කරගත් නිසා කියනවා බුද්ධ කියලා.

ආදි වශයෙන් දේශනා වෙනවා මේ බුද්ධ කියන නම අම්මාගෙන්, තාත්තාගෙන්, සහෝදරයෙක්ගෙන් හෝ සහෝදරියකගෙන් හෝ ඥාතීන්ගේ හිතවතුන්ගෙන් මැති ඇමැතිවරුන්ගෙන් ලැබුණු නමක් නොවෙයි.

ඒ නිවන අවබෝධ කරගත්. නුවණ සහිත බෝධි මූලයේ දී සර්වඥතා ඤාණ ප්‍රතිලාභයෙන් ලද නාමයක් තමයි බුද්ධ කියලා කියන්නේ.