Print this Article


සදහම් අරණ

පිරිවෙන් අධ්‍යාපනය ලබන ගෞරවනීය ස්වාමින් වහන්ස /දුවේ, පුතේ

ලේඛන කුසලතාව වඩාත් වර්ධනය කර ගැනීම සඳහාත්, දහම් දැනුම වර්ධනය සඳහාත්, ගුණධර්ම වැඩිදියුණු කර ගැනීම සඳහාත් සදහම් අරණ ළමා නිර්මාණ පිටුව ඔබ වෙනුවෙන් වෙන්කර ඇත. ඔබගේ ගද්‍ය, පද්‍ය, සිතුවම්, අදහස් පුර අටවක අමාවක, පුර පසළොස්වක, අව අටවක. බුදුසරණ පුවත්පත්හි පළ කරන්නෙමු.

****

බුදුසරණ පුවත්පත බැබළේවා

සතර පෝදාටම පළවන බුදුසරණ පුවත්පත අප නොවරදවා ම කියවනවා. එම පුවත්පතින් බොහෝ දහම් දැනුම ලබා ගන්න පුළුවන්. අපේ ගරු පින්වත් ස්වාමීන් වහන්සේලාගේ ලිපි අපට දැනුම ලබාදෙනවා.ජාතක කතා කියවා අතීත කතා දැන ගන්න පුළුවන්. සදහම් අරණ ළමා සමාජයේ නැන්දලා මාමලා අපේ නිර්මාණ පෙළ ගැස්වීම ද අගය කොට සලකනවා. මම සමහර කතා අපේ අම්මාට කියා කියවා ගන්නවා. බුදුසරණ පුවත්පතේ හැම දෙනාට ම පින්සිදුවේවා.

****

ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ

ක්‍රි.පූ. 236 උඳුවප් මස ජය ශ්‍රී මහා බෝධි ශාඛාව අනුරාධපුර මහමෙවුනා උයනේ දී රෝපණය කරන ලදී. එසේ රෝපණය කළ බෝධි ශාඛාව අතීතයේ දී සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් වහන්සේ බුද්ධත්වය ලැබීමේ දී පිට දී වැඩ සිටි දඹදිව බුද්ධගයාවේ පිහිටි ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව වේ. වර්තමානයේ බෝ යනුවෙන් හැඳින්වුව ද මෙම පෞරාණික වෘක්ෂයේ සැබෑ නාමය වන්නේ ඇසතු යන්නයි. එය බෝ හෙවත් බෝධි යනුවෙන් ව්‍යවහාරයට එක් වූයේ සිදුහත් බෝසතාණන් වහන්සේ බුද්ධත්වය පරිපූර්ණ ලෙස අවබෝධ කළේ ඒ වෘක්ෂයේ සෙවණේ දී වීම නිසා ය.ක්‍රි.පූ. 236 දී දඹදිව ධර්මාශෝක මහ රජතුමාගේ දියණිය වූ ද, මිහිඳු මහ රහතන් වහන්සේගේ නැගණිය වූ සංඝමිත්තා මහ රහත් තෙරණිය විසින්, එවකට ශ්‍රී ලංකා දීපයේ රජ කළ දේවානම්පියතිස්ස රජතුමාගේ මූලිකත්වයෙන් මහමෙවුනා උයනේ රෝපණය කරවනු ලැබී ය.

****

සම්බුදු සමිඳුනි...

සසර කතරේ සියලු දුක් මැද ඔබේ සරණ ම සිහිවුණේ
සිතට වෙහෙසයි සසර දුකමයි සමිඳුනේ මට වැටහුණේ
බුදු හිමි ගුණ ඇති තවත් කෙනෙකුත් මෙලොව නැත තව හමුවුණේ
සමිඳුනේ මට අන් සරණ නැත ඔබේ සරණ ම පතන්නේ

සසර කතරේ අතරමං වී ඔබ සොයාගෙන පැමිණුනේ
දුක් කතර තුළ දුක සොයන කල පටාචාරා බිහිවුණේ
දුක් අදෝනා කඳුළු ගංගා මිහිපිටේ තව ගලන්නේ
සමිඳුනේ ඔබ සරණ නැත්නම් අපා දුකමයි ලැබෙන්නේ

****

බුදු සමිඳුගේ උපස්ථායක මම වෙමි

“පියුමතුරා බුදුහාමුදුරුවෝ කාලයේ මම හංසවති නුවර නන්ද රජතුමාගේ පුතා සුමන. ඒ බුදුහාමුදුරුවන්ට උපස්ථාන කරන හිමියන් දැක මටත් ඒවගේ බුදු කෙනෙකුට උපස්ථාන කරන්නට ලැබේවා! යන ප්‍රාර්ථනයෙන් සසර පුරාවට දන් පැන් පිළිගන්වා අන්තිම ආත්මයේ කිඹුල්වත් නුවර සුද්දෝධන රජුගේ සොහොයුරු අමිතෝදන රජුගේ පුත් ආනන්ද නමින් සිදුහත් කුමරු උපන්දිනයේ ම මමත් උපන්නා. එතුමා බුදු වී කිඹුල්වත් නුවරට වැඩිය දවසේ භද්දිය, අනුරුද්ධ, භගු, කිම්බිල, දේවදත්ත හා උපාලි කරණවෑමියා ද සමඟ බුදුසමිඳුන් සමීපයෙහි පැවිදිවුණා. බුදුහිමිට වරින්වර උපස්ථාන කළේ නාගසමාල, නාගිත, උපවාණ, සුනක්ඛත්ත, සාගත, චුන්ද, රාධ, හා මේඝිය යන හිමිවරුන් විසින්. ස්ථිර උපස්ථායක තනතුර සඳහා කෙනෙක් පත්කර ගැනීමට අවශ්‍ය වූ නිසා නම් කිහිපයක් යෝජනා වූ නමුත් බුදුසමිඳු කැමැත්ත පළකළේ මා පත්කරගැනීමටයි. ඒ අනුව මම වරඅටක් ඉල්ලා සිටි අතර බුදුසමිඳුන් එය අනුමතකර මා ස්ථිර උපස්ථායක ලෙස පත්කොට වදාළා. ඊට අමතරව බහුශ්‍රැත භික්ෂුන් අතර සිහි නුවණ ඇති අය අතර, අගතනතුර ද, ධර්මභාණ්ඩාගාරික තනතුරද මට පිරිනැමූ සේක. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා තුන් මසකට පසු මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රධාන වූ පළමු ධර්ම සංගායනාව ඇරඹීමට පෙර දින රාත්‍රියේ මම රහත්ඵලයට පත්වූයෙමි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛදේශනා ලෝකසත්වයා හට නැවත නැවත දේශනාකරමින් වසර එකසිය විස්සක් ආයුවළඳා මම පිරිනිවීමට පත් වුණෙමි.

****

නිවන් දකින් අම්මා

හබුංකටයි බත් දෙකටයි කියා කැව්වේ අම්මා
අම්ඹිලි මාමා කියලා සඳ පෙන්නුවේ අම්මා
හතයි හතයි හතයි කියා ඇවිද්දුවෙත් අම්මා
මෙ පින් බලෙන් මතු භවයෙදී නිවන් දකින් අම්මා

පෙර පාසල් එක්ක ගියෙත් මගෙ ආදර අම්මා
බේත් ගන්න රෝහල වෙත එක්ක ගියෙත් අම්මා
මා පිය ගුණ ඔද තෙදබල කියා දුන්නේ අම්මා
මෙ පින් බලෙන් මතු භවයෙදී නිවන් දකින් අම්මා

සංස්කරණය
නයනා නිල්මිණි