Print this Article


පූජාච පූජනියනං

බුදුසරණ

සදහම් නදිය උතුරා යන සිලි ළාර
පෙන්වන නිවන් පුරයට යන කෙටි පාර
කියවමු ‘බුදුසරණ’ පත ගෙන අත නෑර
එය වෙයි මතු ද දිවි මඟ පර මෝ දාර

ගිහියන් පැවිද්දන් මෙය ගෙන කියවනවා
මාසේ සතර පොහො දිනවල පළවෙනවා
මේ ‘බුදුසරණ’ පත ගැන කියමු ද මොනවා
බැලුවත් අතට ගත්තත් පින් සිදු වෙනවා

****

සිය සිත

සිය සිත
සංසුන් කරන්නේ
එවිටය සිතට
සහනය ලැබෙන්නේ
සිය සිත
පාපයෙන් මුදවාගනු
පුණ්‍ය ක්‍රියා කරනු
නැතහොත්
සිත කුසලතා
වඩා ගනු
සිත නිරතුරු
පිවිතුරු කරගනු
සියලු බුදුවරු
ලොවට
වදාරන
අනුශාසනය
මෙය වෙයි

****

ත්‍රිවිධ රත්න රැකවරණය

සසර වසන තුරු
නිවන් දකින තුරු
සතර අපායට නොයවා
රැකවරණය සලසා දෙන
එකම සදාකාලික
රැකවරණය
බුද්ධ, ධම්ම, සංඝ
ත්‍රිවිධ රත්නය යි

****

මංගල කරුණු

බාල ඇසුර හැරදා පඬි ඇසුරේ නිසි උතුමන් පිදීම යි
නිසි දෙස විසුම පින් වැඩි සසරේ ගුණ දම් සිත් ලැබීම යි
හික් මී සිරිතේහි දැනුමින් සිප් සතරේ පිය බස් පැවැසීම යි
උවටැන් මා පිය අඹුදරු සහිරේ කටයුතු නිරවුල් වීම යි

දන් දී දැහැමිව නෑදෑ සුබසෙත සලසා නිවැරැදි කටයුතු ද
පාපෙන් දුරුවී මත් පැන් පිටු දැක පමාව බැහැරව දහමින් ද
ගරු සරු මුදු බව සතුට කලණ ගුණ නිසිකල සදහම් ඇසුම ද
ඉවසුම සුවචව මහ සඟ ඇසුර ද නිරවුල් දහමේ විමසුම ද

තපස බඹසර රැකුම සිව්සෙස් , දැනුම අවසන නිවන් ලැබුම ද
ලෝක දහමින් නොවී කම්පා සිතේ පිරිසුදු බවත් ඇතිව ද
මඟුල් සුතුරින් දෙව් පැනට දුන්, බුදු හිමිගෙ අනුසස් නමේ වෙද
මෙලොව දකිනා මඟුල් කරුණු ය අට තිසක් දැන නඟා තුති නඳ

****

වස්සානෙ ඇවිල්ලා

බෝමළුව ඇමදලා සුවඳ පැන් නහවන්න
වැලි මළුවේ දණ නමා බුදු සමිඳු නමදින්න
පිපුණු මල් නෙළාගෙන මල් අසුන සරසන්න
සුපින්බර වස්සානෙ ඇවිල්ලා පින් ගන්න

පෙරහරින් රැගෙන ගොස් වස්දානෙ පුද දෙන්න
සෑ මළුවේ ඉදිරිපස පහන් වැටි දල්වන්න
අමාදම් සිසිලසින් දහම් වැසි වස්සන්න
ඇවිල්ලා වස්සානෙ දුක් නිවා සැනසෙන්න

****

බිනර ඉසුර

නවතා ගන්න සසරේ සෝගිනි අඳුර
කළතා දහම් රස සරු කර දිවි සයුර
අමතා බුදු සමිඳු ලද පැවිදියෙ ඉසුර
වනිතා විමුක්තිය ලද පෝය යි බිනර

****

මරණය

භව උපත සිදු වෙයි
ජීවන ගමන එළඹෙයි
ලෙඩ දුක ද පැමිණෙ යි
නියත මරණය ළඟම සිදු වෙයි
උඩුකුරුව සයනය
පැවසෙයි මෙයට මරණය
නියතමයි මරණය
ඇයි ඉතින් මේ ශෝක ජනනය
ඇස් දෙක පියවෙන්න කලින්
යහ ගුණ හුරු කරමු සිතින්
දස කුසලය වඩමු බැතින්
සැනසීමක් ලැබෙයි තුටින්
මුනිඳු බණ අසමු
මරණානුස්සති වඩමු
සසර භය දකිමු
මරණ ගමනට තිතක් තබමු

****

නිසරු දිවිය

සිලි සිලි නදින්
හඹා යන මද සුළඟ
අතර නිති ඇද හැලෙන
අමෝරා වැසි අතර
නිබඳ අඟු පිලට වී
සියුම් සිතිවිලි අතර
වැහි පිහිලි කෙළවරින්
ඇද හැලෙන වැසි අතර
බුර බුරා පැන නඟින
ලොකු කුඩා පෙණ බුබුළු
දිලිසි දිලිසී ඉපිල
නැසී වැනසී යනෙන යුරු
පසන් සිතිවිලි තුළට
නිසරු දිවියෙහි අරුත
පසක් වේ මැ’යි නිතර

****

මගේ පැතුම

අසද්පුරුෂයන් දුරෙන්ම දුරු වේවා
කළ ගුණ නොදත්තන් දුරෙන්ම දුරු වේවා
කේළම් මුසාබස් කියන්නන් දුරු වේවා
අසද් ධර්මය ලොවෙන් ම දුරු වේවා

****

පින්බර කාලය

වැසි කල පිඬු සිඟා සුපුරුදු මඟ නොයන
වස්දම් පුරා ආවාසය තුළ වසන
මහ සඟරුවන සිව්පසයෙන් පුද ලබන
පින්බර දැහැමි වස් කාලය ඇත පැමිණ

දන් පින් කරන් හැකි සැම විට වස්සානේ
දැක දැන සසර බව දුක අතහැර මානේ
බුදු මඟ පසක් කොට දිවි මඟ අවසානේ
නොතබමු සසර මඟ පිය දැක නිරුවානේ