Print this Article


අටුවා රසකතා- 14: අවවාද නො අසා ප්‍රමාදයට පත්විය

අවවාද නො අසා ප්‍රමාදයට පත්විය

අද ලිපියෙන් අප ඉදිරිපත් කරන්නේ මජ්ක්‍ධිම නිකාය අටුවාව වන පපඤ්චසුදනියෙහි සඳහන් කාන්තාවක් දැක ඍද්ධියෙන් පිරිහුණු සාමණේරයන් වහන්සේගේ කතා ප්‍රවෘත්තියකි.

ජනපද වැසි එක් ක්ෂීණාශ්‍රව මහ තෙර නමක් මහාථූපය ද, මහා බෝධිය ද වඳින්නෙමි’යි සමාපත්ති ලාභී භාණ්ඩ ගෙනෙන එක් සාමණේර හිමි නමක් සමඟ ජනපදයේ සිට මහා විහාරයට පැමිණ විහාර මළුවට පිවිසිය හ. සවස් කාලයෙහි බොහෝ භික්ෂූන් වහන්සේලා මහා ථූපය වඳින බැවින් ස්තූපය වඳිනු පිණිස නික්ම නො ගියහ. කුමක් නිසා ද යත් රහතන් වහන්සේලාට ත්‍රිවිධ රත්නය කෙරෙහි මහත් වූ ගෞරවයක් ඇති හෙයිනි. එම නිසා භික්ෂූන් වහන්සේලා මහාථූපය වැඳ ආපසු පැමිණි කල්හි ගිහි අය රාත්‍රී ආහාර අනුභව කරන වේලාවෙහි සාමණේරයන් වහන්සේට ද නොදන්නවා හුදකලාව ම, තමන් වහන්සේට මහාථූපය රිසිසේ වැඳපුදා ගැනීමට අවස්ථාව ලදැයි සිතා පිටත් ව ගියහ.

සාමණේරයන් වහන්සේ ද තෙරුන් වහන්සේ කුමක් හෙයින් අවේලාවෙහි මහාථූපය වැඳ ගැනීමට යන්නේ දැයි විමසිලිමත් වූයේ උන්වහන්සේ පසුපස ම නො පෙනෙන සේ වැඩියහ. තෙරුන් වහන්සේ දකුණු සෑ මළුවට වැඩම කොට මහා ථූප දෙස බලා බුද්ධාලම්භන පී‍්‍රතිය ඇති කොට මුළු හදවතින් ම සලකා බලා සතුටට පත් වූයේ මහා සෑය වඳින්නට වූහ. සාමණේරයන් වහන්සේ ද මාගේ උපාධ්‍යායන් වහන්සේ සෑ මළුව වදිතියි තුටුපහටු වූයේ තෙරුන් වහන්සේට මහා සෑයට පූජා කිරීමට මල් ලැබෙන්නේ නම් කෙතරම් අගනේ දැයි සිතා තෙරුන් වහන්සේ වන්දනා කොට නිම වු කල්හි සාමණේරයන් වහන්සේ තමන් වහන්සේ ද තෙරුන් වහන්සේ සමඟ වැඩි බව තෙරුන් වහන්සේට දැනෙන්නට සැලැස්වී ය. ඉක්බිති ඒ සාමණේරයන් වහන්සේ ස්වාමීනි, මහා ථූපයට මල් පූජා කරන්නට කැමැත්තහු දැයි ඇසූහ. එවිට තෙරුන් වහන්සේ, සාමණේරය මේ මහා ථූපයේ හැර වෙනත් සෑයක සර්වඥයන් වහන්සේ ගේ ධාතූන් වහන්සේලා මෙ පමණ ,නිදන් කොට නැත. මෙබඳු අසදෘශ මහා සෑයකට මල් පූජා නො කරන්නේ කවරෙක්ද? ඇසූ හ.

සාමණේරයන් වහන්සේ ස්වාමීනි, මඳක් ඉවසන්න යැයි පවසා එයින් ම ධ්‍යානයට සමවැදී ඍද්ධියෙන් හිමවතට ගොස් වර්ණයෙන්, ගන්ධයෙන් සමන්විත වූ මල් පෙරහනකට පුරවා ගෙන අවුත් මහ තෙරුන් වහන්සේගේ දෑතෙහි තැබූහ. තෙරුන් වහන්සේ ද සාමණේරය, මල් ඉතා ස්වල්පයයි පැවසූ හ. සාමණේරයන් වහන්සේ ස්වාමීනි, සර්වඥ ගුණයන් ආවර්ජනා කොට මල් ගනු මැනැවැයි පැවසුහ. උන්වහන්සේ පළමු මල් ආසනයෙහි මල් තැන්පත් කරන්නේ මල්වල අඩුවක් නොවී ය. එනම් පෙරහනෙහි මල් අඩු නො වී ය. තෙරුන් වහන්සේ දෙවැනි දොරටු මල් අසුනෙහි ද මල් පූජා කළහ. එයිනුදු මල්වල අඩුවක් නොවී ය. මෙසේ තෙරුන් වහන්සේ මුළු මළුව ම සුවඳ මලින් පුදන්නට වූහ . සෑ මළුව මලින් පිරී ගියේ ය. ඉන්පසු තෙරුන් වහන්සේ සාමණේරයන් වහන්සේට මෙසේ කී හ.සාමණේරය, මල්වල අඩුවක් නො වන්නේ යනුවෙනි. එවිට සාමණේරයන් වහන්සේ , ස්වාමීනි, එසේනම් පෙරහන අනිත් පිට හරවන්න යැයි කීහ. තෙරුන් වහන්සේ පෙරහන යටට හැරවූහ. එවිට මල් අවසන් විය. ඉන්පසුව පෙරහන සාමණේරයන් වහන්සේගේ අතට දී ඇත් පවුර වටා සෑය තෙවරක් පැදකුණු කොට නැවතත් වන්දනාකොට සාමණේරයන් වහන්සේගේ ඍද්ධිය අනාගතයෙහි පිරිහෙන්නේදැයි නො පිරිහෙන්නේදැයි බලනුයේ එක් පේෂකාර කාන්තාවක් කෙරේ ඇලීමෙන් ඍද්ධිය පිරිහෙන බව දැන සාමණේරයන් වහන්සේ විදර්ශනාවෙහි උත්සුක කරනු වස් මෙසේ කී හ.

සාමණේරය, ඔබ දැන් මහත් ඍද්ධි ඇත්තෙකි.ඔබ මෙබඳු මහත් වූ ඍද්ධිය නැති කරගෙන අනාගතයෙහි කණ වු පේෂකාරියකගේ අතින් මැඩූ කැඳ බොන්නෙහි ය, යනුවෙනි. තරුණ භවයේ දෝෂය කරණ කොටගෙන ඒ සාමණේරයන් වහන්සේ උපාධ්‍යායන් වහන්සේ කියු මෙම කාරණය සිහිකොට කමටහන් ඉල්ලීමක් හෝ සිදු නො කළ අතර, එය නෑසුනාක් මෙන් සිටිය හ. තෙරුන් වහන්සේ ද මහා සෑය ද, මහා බෝධිය ද වැඳ සාමණේරයන් වහන්සේ ලවා පා සිවුරු ගෙන්වාගෙන පිළිවෙලින් ගං ඉවුරෙහි වූ තිස්ස මහා විහාරයට වැඩියහ.

සාමණේරයන් වහන්සේ උපාධ්‍යයන් වහන්සේ ගේ පා අනුව හෙවත් තෙරුන් වහන්සේ සමඟ පා ගමනින් අනුව පිණ්ඩපාතය නො යති. තෙරුන් වහන්සේ කිනම් ගමකට පිණ්ඩ පාතය පිණිස හැසිරෙන්නේ දැයි විමසා උන් වහන්සේ පිණ්ඩපාතයේ වැඩි කල්හි අහසින් ගොස් උපාධ්‍යායන් වහන්සේට පා සිවුරු දෙති. තෙරුන් වහන්සේ එසේ නොකරන ලෙස සාමණේරයන් වහන්සේට සෑම කල්හි ම අවවාද දෙති. සාමණේරය, එසේ නො කරව. පෘථග්ජන ඍද්ධිය බිදෙන සුළු ය. නිශ්චිත නොවේ. අසත්ප්‍රාය රූපාදි අරමුණු ලැබ නොපමා ව බිඳෙයි. සමාපත්ති ඇති කල්හි පිරිහීි ගොස් බ්‍රහ්මචරිය වාසයෙහි රැඳී සිටින්නට නොහැකි වන්නේ ය. එහෙත් සාමණේරයන් වහන්සේ තෙරුන් වහන්සේගේ අවවාදයන් කිසිත් ගණනකට නො ගත්හ .නෑසුණාක් මෙන් සිටියහ. තෙරුන් වහන්සේ පිළිවෙලින් චෛත්‍යය වන්දනා කරමින් කපුවෙන නම් විහාරයට වැඩියහ. සාමණේරයන් වහන්සේ එහිදී ද පෙරසේ ම කරති. තෙරුන් වහන්සේගේ පා සිවුරු ඍද්ධිය ගෙන ගොස් දෙති. ඉක්බිති එක් දවසක් අතිශයින් රූමත් , තරුණ වයසේ සිටි පේසකාර දියණියක් නෙළුම් විලට බැස ගී ගයමින් මල් කඩයි එකල්හි නෙළුම් විල මතින් යන සාමණේරයන් වහන්සේ ඇගේ ගීත ශබ්දයෙහි බැඳුණේ ය.