Print this Article


බුදු දහම දර්ශනයක් ද? ආගමක් ද? : අවිද්‍යාවෙන් විද්‍යාවට

බුදු දහම දර්ශනයක් ද? ආගමක් ද? :

අවිද්‍යාවෙන් විද්‍යාවට

මෙම ලිපියේ මුල් කොටස බිනරපුර පසළොස්වක පත්‍රයේ පළ විය.

සමස්තයක් ලෙස ගත් කල සමාජයක බහුතරය නූගත් ය. එවැනි සමාජයක ජනතාවට ඔවුන්ගේ විෂයයන්හි උද්ගතවන විවිධාකාර ගැටලු නිරාකරණයට දර්ශනයට හැකියාවක් නොමැත. මන්දයත් දර්ශනය නොවියත් ජනතාවට බුද්ධි ගෝචර නොවන නිසා ය.

සමාජගත පුද්ගලයාට තමන්ගේ දෛනික ජීවිතයේ දී විවිධ ආකාරයේ අවශ්‍යතාවයන් නිර්මාණය වෙයි. මූලික වශයෙන් තමන්ටත්, තමන් හා බැඳුණු තමන්ගේ පරිවාරයටත් බාහිරින් පැමිණෙන උවදුරු වළක්වා ගත යුතු ය. රැකවරණය සලසා ගත යුතු ය. මේ සඳහා මිනිසා නිරන්තරයෙන්ම සොයන්නේ ලේසිම සහ පහසු ම ක්‍රමයන් ය. ආගම මඟින් මේ සඳහා පහසුම ක්‍රමෝපායයන් සලසා දෙයි.

ආගම මඟින් පුද්ගලයා තුළ අවබෝධය මෙන් ම සදාචාරය ද ක්‍රමවත් ව ප්‍රගුණ කරයි. ජීවන ගමන වන්දනාවක් ලෙස සලකන ආගම සමාජගත පුද්ගලයාගේ සාංසාරික ප්‍රයෝජනය පිණිස විමුක්ති මාර්ගයක් ද පෙන්වා දී තිබේ. විදග්ධ සමාජයට මෙන්ම බුද්ධිහීන සමාජයටද අනුරූපවන ක්‍රියාමාර්ග ආගම තුළ ඉදිරිපත් වෙයි. තමා නොදත් දේ දැනගැනීමට, දන්නවුන්ගේ මඟ අනුගමනය කිරීමට පුද්ගලයා නිරාසායෙන්ම යොමු වෙයි. මෙහිදී බුදුදහම යනු කුමක්දැයි විමසීම ද අත්‍යවශ්‍ය කරුණකි. ආර්ය ධර්මය, අනවද්‍ය ධර්මය, අපචයගාමී ධර්මය, ශුක්ල ධර්මය, සද් ධර්මය, ආර්ය මාර්ගය, මධ්‍යම ප්‍රතිපදාව, ධර්ම විනය, සුගත විනය ආදී නොයෙක් ආකාරයෙන් බුදුන්වහන්සේ තම ඉගැන්වීම් හඳුන්වා ඇත. මෙසේ විවිධ නම්වලින් සුත්‍රාගත දේශනාවන් තුළ හඳුන්වා ඇති ධර්මය කුමක්දැයි විමසා බැලීම මෙහි දී වඩාත් යෝග්‍ය වේ. අංගුත්තර නිකායේ අරිය මග්ග වර්ගයේ දී බුදුන් වහන්සේ මෙසේ සඳහන් කරති.

“මහණෙනි, ආර්ය මාර්ගය යනු කුමක් ද? ප්‍රාණ ඝාතයෙන් වැළකීම, සොරකමින් වැළකීම, කාම මිථ්‍යාචාරයෙන් වැළකීම, බොරු කීමෙන් වැළකීම, කේලම් කීමෙන් වැළකීම, පරුෂ වචනයෙන් වැළකීම, හිස් වචන කීමෙන් වැළකීම, දැඩි ලෝභයෙන් වැළකීම, ද්වේෂයෙන් වැළකීම, හා නිවැරැදි දැකීම යන ගුණාංගයන් ප්‍රගුණ කිරීම ආර්ය ධර්මය වේ.”

මෙහි අවසානයේ සඳහන්වන නිවැරැදි දැකීම පිළිබඳව මනාව විවරණය කොට දක්වන සාරිපුත්ත හිමියෝ මජ්ක්‍ධිම නිකායේ සම්මා දිට්ඨි සූත්‍රයේ දී එම නිවැරැදි දැකීම, කර්මය, ආහාරය, සත්‍ය, ජරා, මරණය, ජාතිය, භවය, උපාදානය, තෘෂ්ණාව, වේදනාව, ස්පර්ශය, ෂඩ් ආයතන, නාම රූප, විඥානය, සංස්කාරය, අවිද්‍යාව හා ආශ්‍රව යන කරුණු දහසය පිළිබඳ මනා අවබෝධය බව දක්වති. එසේම සත්පුරුෂ ධර්මය උදෙසා බුදුන් වහන්සේ අංග්තුතර නිකායේ සාධු වර්ගයේදී ද මෙසේ දේශනා කරති.

“මහණෙනි සත්පුරුෂ ධර්මය යනු කවරේ ද? නිවැරැදි දැකීම, නිවැරැදි සංකල්පනාව නිවැරැදි වචනය, නිවැරැදි කර්මාන්තය, නිවැරැදි ජීවිතය, නිවැරැදි ව්‍යායාමය, නිවැරැදි ස්මෘතිය, නිවැරැදි සමාධිය, නිවැරැදි ඥානය හා නිවැරැදි විමුක්තිය යනු ඒ සත්පුරුෂ ධර්මය යි.”

මධ්‍යම ප්‍රතිපදාව සඳහා බුදුන් වහන්සේ අංගුත්තර නිකායේ අචේලක වර්ගයේ දී මෙසේ දේශනා කරති,

“මහණෙනි මධ්‍යම ප්‍රතිපදාව යනු කවරේ ද? සතර සම්‍යක් ප්‍රධානය වැඩීම, සතර සෘද්ධිපාද වැඩීම, පංච ඉන්ද්‍රිය වැඩීම, පංච බලය වැඩීම, සප්ත බොජ්ඣංගය වැඩීම, අෂ්ටාංගිත මාර්ගය වැඩීම යනු මධ්‍යම ප්‍රතිපදාව යි.”

මේ ආකාර වූ ආර්යයන් වහන්සේලාගේ දේශනයන් මඟින් බුදුදහම යනු කුමක්දැයි දළ වශයෙන් අවබෝධ කර ගැනීම පහසු ය. අවිද්‍යාවෙන් විද්‍යාව කරා ගමන් කරන පුද්ගලයාට ඒ ගමන සඳහා ප්‍රගුණ කළයුතු ගුණ ධර්ම පද්ධතියක් බුදුදහම පෙන්වා දෙයි. යථාර්ථාවබෝධයකින් තොරව පුද්ගලයා ගතකරන ජීවිතය මුලාවක් බැවින් එයින් මිදීම යනු විමුක්තිය යි. මෙම විමුක්තිය හුදෙක් මරණින් මතු ලබාගත යුත්තක් නොව මේ ජීවිතයේ දී ම ලබාගත යුත්තක් බව බුදුදහම පෙන්වා දෙයි. මෙම විමුක්තිය බාහිර වශයෙන් වෙනත් පුද්ගලයෙකුගෙන් හෝ සංස්ථාවකින් හෝ මිනිසත් බව ඉක්මවූ අයෙකුගෙන් හෝ ලබාගත නොහැකි ය. එමෙන්ම පොත පත ඉගෙනීමෙන් ලබන උගත්කමින් හෝ දෘෂ්ටි ග්‍රහණයෙන් හෝ සම්ප්‍රදායගත දැනුමක් ඉගෙනීමෙන් හෝ විමුක්තිය පසක් කළ නොහැකි ය. ආමිස නිරාමිස වශයෙන් කිසිවක් රැස්කර ගැනීමෙන් ද පවින් වැළකී පින් රැස් කිරීමෙන් ද විමුක්තිය ලබාගත නොහැකි ය. චිත්ත පාරිශුද්ධියෙන් හා ප්‍රඥාවෙන් පමණක් විමුක්තිය පසක් කළ හැකි බව බුදු සමය අවධාරණය කරයි.

බුදුදහම ආගමක් ද එසේ නොමැතිනම් දර්ශනයක් ද යන්න තෝරා බේරා වෙන්කර ගැනීමට උක්ත කාරණාවන් පිළිබඳ විවේකී බුද්ධියෙන් විමසන්නේ නම් චංචල ලෝකය තුළ නිශ්චල නිගමනයන්ට ඉඩක් ලැබෙනු ඇත.