Print this Article


චරිත දෙස බලා ධර්මය දෙස නොබලන්නා

චරිත දෙස බලා ධර්මය දෙස නොබලන්නා

වර්තමාන තාක්ෂණික දියුණුව සම්මත ලෝකය තුළ පැවැත්මට පහසුවකි. එසේ වූවත් ඒවා අධ්‍යාත්මික දියුණුවට බාධාවක් නොකරගෙන දහමින් සැනසිල්ලක් ලබන්නට, සුවපත්භාවයක් ලබන්නට අප විසින් මාර්ගය සකස් කරගනු ලැබිය යුතුයි.

ඒ මාර්ගය, බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව ආර්ය අෂ්ඨාංගික මාර්ගය ලෙස මජ්ක්‍ධිමා පටිපදා එනම්, මැඳුම් පිළිවෙත දේශනාව තුළ ඉතාම මැනවින් පෙන්වා දී තිබෙනවා.

ඒ නිසා අප විසින් අලුතෙන් මාර්ගයක් සෙවිය යුතු වන්නේ නැහැ. එනමුත්, අප විසින් කළ යුතු වන්නේ මැදුම් පිළිවෙත නම් වූ ධර්ම මාර්ගය කෙලෙස්වලට හසුකර ගන්නේ නැතිව, ඒ ධර්ම මාර්ගය විකෘතිකරගන්නේ නැතිව, තමාට අවශ්‍ය, අවශ්‍ය ආකාරයෙන් වෙනස් කර ගන්නේ නැතිව භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අවබෝධයෙන් යුතුව ශ්‍රද්ධාව මතුකරගෙන නුවණින් ම දැකගෙන අනුගමනය කිරීමයි. මාර්ගය සොයා ගත යුතු යැයි සඳහන් කරන්නේ. මෙන්න මේ කොටස සොයා බලා අනුගමනය කිරීමයි.

පළමුවෙන් ම සඳහන් කරන්නේ නම් මේ අදහසයි. භික්ෂූන් වහන්සේ විසින් ගිහි පිරිස් හෙවත් උපාසක උපාසිකා පිරිස් දෙස බැලිය යුත්තේ මව්පියන් දෙස බලන ආකාරයෙනුයි. සොහොයුරු සොහොයුරියන් දෙස බලන ආකාරයෙනුයි. ගුණබර අම්මා කෙනෙක්, පිය කෙනෙක් තම දරුවන් දෙස බලන ආකාරයෙනුයි. බුදු දහමෙහි එය පෙන්වා දී තිබෙන්නේ මේ ආකාරයෙන්.

“මාතු මත්තෙසු මාතු චිත්තං උපට්ඨ පේත”

අම්මා යන සිහිය සිතෙහි පවත්වාගෙන අම්මා කෙනෙක් දෙස බලන්නා සේ බලන්න.

“භගිනි මත්තෙසු භගිනි චිත්තං උපට්ඨ පේත”

සොහොයුරිය යන සිතිවිලි පවත්වාගෙන සොහොයුරියක් දෙස බලන්නා සේ දකින්න හිතන්න බලන්න.

“ධීතු මත්තෙසු ධීතු චිත්තං උපට්ඨ පේත”

දියණියක් ය, දරුවෙක් ය යන අදහස සිත්හි පවත්වාගෙන කටයුතු කරන්න.මවක්, සොහොයුරියක්, දියණියක් දෙස බලන ආකාරයෙන් සඳහන් කළත් මවෙක්, පියෙක්, සොහොයුරෙක්, සොහොයුරියක්, දුවෙක්, පුතෙක් යන සියලු දෙනා කෙරෙහි ම මෙත්තා සහගත සිතින්, මෙත්තා සහගත වචනයෙන් හා මෙත්තා සහගත ඇවතුම් පැවතුම් තුළින් භික්ෂූන් වහන්සේලා විසින් කටයුතු කළ යුතු බව ඉතාම පැහැදිලියි. ඒ බුදුරජාණන් වහන්සේගේ දේශනාවයි.භික්ෂූන් වහන්සේ ට සිව් පසයෙන් උපස්ථාන කරන දායක පින්වතුන් හෙවත් උපාසක උපාසිකාවන්ට කළයුතු ප්‍රත්‍ය උපකාරය කුමක් දැයි භාග්‍යවතුන් වහන්සේ සිඟාලෝවාද සූත්‍රයේ දී දේශනා කොට වදාළා. “උද්ධං සමන බ්‍රහ්මණා” යන උඩ දිශාව විස්තර කිරීමේ දී, අධ්‍යාත්මික යුතුකම් පෙන්වා දී තිබෙනවා. භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව පාලි ගාථා රත්නයකින් සඳහන් කළොත්

“ගිහීනමුප කරොන්තානං
නිච්චමාමිස දානතො
කරෝථ ධම්මදානේන
තේසං පච්චූපකාරකං

“නිතර සිවු පසයෙන් උපස්ථාන කරන, ගෘහස්ථ ජීවිත ගතකරන උපාසක උපාසිකාවන්ට භික්ෂූන් වහන්සේලා විසින් ධර්ම දානයෙන් ප්‍රත්‍ය උපකාර කළ යුතුයි”.

මෙහි ධර්ම දානය නම් මෙලොව ධර්මානුකූලව සුවපත් කිරීම යි. ඒ සඳහා මඟ පෙන්වාදීම පිණිස අනුකම්පාවෙන්, කරුණාවෙන් ඔවුන්ගේ වරද දැක ඒ වරද නිවැරැදි කොට ලාභ ප්‍රයෝජන තණ්හා මද මාන දෘෂ්ඨීන්ගෙන් බැහැරව කටයුතු පැවැත්විය යුතුයි. එතැනින් නො නැවතී ගිහියන්ගේ මෙලොව ජීවිතය තුළදී ම ලෝකෝත්තර දියුණුව ඇතිකර ගැනීමට, එනම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් නිවන් මඟ අරමුණු කිරීමට මාර්ගය පෙන්වාදීමයි.

ගෘහස්ථ ජීවිත ගතකරන ඇත්තන් අතර පවා ‘තණ්හා මද මාන දිට්ඨි” වැඩෙනා ආකාරයෙන් කිසිවිටෙක කටයුතු නොකළ යුතුවේ. එමෙන් ම ගෘහස්ථ ජීවිතවල පවත්නා අඩුපාඩු ඉදිරියේ තමන් වහන්සේලාත් තරහවෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන් කටයුතු නොකිරීමට ද බුද්ධ දේශනාවට අනුව තේරුම්ගත යුතුයි. ගෘහස්ථ ජීවිතය ගත කරන ඇත්තන් කාමභෝගී ජීවිත නිසා සැපතේ දී වඩ වඩා ඇලෙන්නට උත්සාහ කරනවා. එනම් තෘෂ්ණාවට හසුවෙනවා. අරමුණු ඉටුකරගන්නට බැරිවිට ලාභ අලාභ වන විට හ¾ඩනවා. වැළපෙනවා. අමනාප වෙනවා. ගැටීම් ඇති කරගන්නවා. එහෙත් අධ්‍යාත්මික ජීවිතයක් ඉහළින් ගත කරන, සසර බිය දන්නා නිවන් මඟ අරමුණු කරන, සතර සතිපට්ඨානයේ සිහිය පවත්වන භික්ෂූන් වහන්සේලා විසින් ඒවා දෙස කරුණාවෙන්, මෛත්‍රියෙන් බැලිය යුතුයි.

ඔවුන්ගේ ස්වභාවයට පත් නොවී අධ්‍යාත්මිකව ඉහළම තැන වැඩ සිටිමින්, භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මයට අනුව කරුණාවෙන් හා ප්‍රඥාවෙන් යුතුව කටයුතු කිරීම අවශ්‍යයයි.

ඉන් අදහස් කරන්නේ ගිහි අය විසින් කරනු ලබන යම් වූ ද නින්දා අපහාස, බොහෝ වැරැදි හා පීඩා ඉදිරියේ නිසොල්මන් ව සිටිය යුතුය යන අදහස නොවේ ද? කරුණාවෙන්, මෛත්‍රීයෙන් ඒවා නිවැරැදි කිරීමත්, ඔහුන්ගේ විපත්වලින්, වැරැදිවලින් ගැලවීමට හා ආරක්ෂා වීමට සුදුසු ක්‍රියාමාර්ගයක යෙදීමත්, ඇවැසි තැන නීතියට පවා යොමු කිරීමත් කළ හැකියි. බුදුරජාණන් වහන්සේගේ දවස පවා බුද්ධ ශාසනයෙහි අභිවෘද්ධියට, ආරක්ෂාවට, රජවරුන්ගේ පිහිට ලැබුණ බව ඉතාම පැහැදිලියි.