Print this Article


වර්තමානයේ මාර්ගඵල අවබෝධ කළ නොහැකි ද?

වර්තමානයේ මාර්ගඵල අවබෝධ කළ නොහැකි ද?

මෙම ලිපියෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ වර්තමානයේ ගැඹුරු ලෙස සංවාදයට ලක්ව ඇති මාතෘකාවක් ගැනයි. එනම් සෝතාපත්ති ඵලයට පත්වීම, තවත් ලෙසකින් කියනවා නම් මාර්ගඵල අවබෝධ කිරීම පිළිබඳව යි.

තථාගතයන් වහන්සේගේ උතුම් නිර්මල බුද්ධ වචනය යම් කෙනෙක් පුහුණුවනතාක්, මධ්‍යම ප්‍රතිපදා ධර්මය, සතර සතිපට්ඨාන ධර්මය පුහුණුවනතාක් මේ ලෝකය තුළ පළමු ශ්‍රමණයාණන් වහන්සේගේත් දෙවන ශ්‍රමණයාණන් වහන්සේගේත්, තුන්වන ශ්‍රමණයාණන් වහන්සේගේත්, සිව්වන ශ්‍රමණයාණන් වහන්සේගේත්, එනම් සෝතාපත්ති ඵලයට පත්වූ උතුමන්ගෙන්, සකෘදගාමී ඵලයට පත් වූ උතුමන්ගෙන්, අනාගාමී ඵලයට පත් වූ උතුමන්ගෙන්, මහහරත් ඵලය අවබෝධ කරගත් උතුමන්ගෙන් මේ ලෝකය හිස් නොවන බව භාග්‍යවතුන් වහන්සේ සුභද්ධ නම් ශ්‍රාවකයාට අවධාරණය කර තිබෙනවා. එම දේශනාව සමස්ත ථෙරවාදී ශාසනයෙහි කිසිවෙකුටවත් ප්‍රතික්ෂේප කළ නොහැකි උතුම් බුද්ධ දේශනාවක්.

වර්තමානයේ ථෙරවාදී ශාසනය තුළ නිර්මල පිරිසුදු බුද්ධ වචනය තවමත් නොවෙනස් ව පවතින්නේ ය යනු සියලුම ථෙරවාදී බෞද්ධ සම්ප්‍රදාය නියෝජනය කරන ගිහි පැවිදි වියතුන් පිළිගන්නා කරුණකි. එසේනම්, උතුම් ධර්ම මාර්ගය නිරවුල් ව, නිවැරැදි ව පවතිනතාක් ලෝකය මාර්ගඵල ලාභීන්ගෙන් හිස් නොවන බවට සිදුකළ තථාගත දේශනාවත්, දෙවනුව පෙන් වූ නිර්මල ථෙරවාදී බුදුදහම තවමත් පවතින්නේ ය යන ථෙරවාදී සම්ප්‍රදායේ ස්ථාවරත්වයත් යන දෙකරුණු සංසන්දනය කිරීමේ දී මේ ගෞතම බුදු සසුන තුළ තවදුරටත් මාර්ගඵල ලාභීන් බිහිවීම සිදුවිය නොහැකි යැයි කිසිවෙකුට තර්ක කළ නො හැකි ය.

එහෙත් ධර්මය තිබුණු පමණින් ම, එය හුදු දැනුමක් ලෙස තම ජීවිතයට එකතු කරගත් පමණින් ම මාර්ගඵලලාභීන් බිහි වේ යැයි කෙනෙක් සිතන්නේ නම්, එය උතුම් විමුක්තිය ලබා ගැනීම මග හරවා ගැනීමක් බවට පත්වීමට ද ඉඩ ඇති බව කල්පනා කළ යුතු ය. පංච උපාදානස්කන්ධයන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලෙස අවබෝධ කර ගන්නා විට එනම්, පංච උපාදානස්කන්ධයන් නිත්‍ය නොවූ, දුක් සහගත වූ, මම ය, මගේ ය, මගේ ආත්මය යන අදහසින් ගත නොහැකි බව අවබෝධකර ගන්නා විට ගිහියකු තුළ හෝ පැවිද්දකු තුළ සක්ඛාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත, පරාමාස යන සංයෝජන ධර්ම දුරු වී යන බව ධර්මයෙහි අවධාරණය කර ඇත. සත්පුරුෂ ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය සහ ධර්මානු ධර්ම ප්‍රතිපදාව පුහුණුවීම මේ සඳහා උපකාරීවන කල්‍යාණ ධර්මයන් ය. එය සෝතාපත්ති අංග වැඩීම ලෙස සංයුක්ත නිකායේ සෝතාපත්ති සංයුක්තයේ එන සූත්‍රයන් හි අවධාරණය කර ඇත.

මෙම උතුම් සෝතාපන්න තත්ත්වයට පත්වූවෙකු තුළ තථාගතයන් වහන්සේ පිළිබඳ ව ‘අවෙව්ජපසාදය’ හෙවත් නොසෙල්වෙන ශ්‍රද්ධාවක් ඇතිවන බවත් ශ්‍රී සද්ධර්මය කෙරෙහි ද, ආර්ය මහා සංඝරත්නය කෙරෙහි ද එවැනි ම ශ්‍රද්ධාවක් උපදින බවත් අර්යකාන්ත ශීලය පිහිටන බවත් ධර්මයෙහි පෙන්වා දී ඇත. සැබැවින් ම සෝතාපත්ති ඵලයට පත්වීම යනු සම්මා දිට්ඨිය පහළ වීමකි. සංයුක්ත නිකායේ කච්චාන ගොත්ත සූත්‍රයට අනුව එය, ඇත සහ නැත යන අන්තයන්ගෙන් මිදී හේතුඵලවාදී ව, මධ්‍යස්ථ ව දකින්නට පෙළඹීම නිසා අප අධ්‍යාත්මයේ සිදුවන ප්‍රබල පරිවර්තනයක් ලෙස සඳහන් කළ හැකි ය.

තථාගතයන් වහන්සේගේ ධර්මයට අනුව මේ පෘථිවියෙහි එකම රජු වීමට ද වඩා, සදෙව් ලොව ආධිපත්‍යය ලැබීමට ද වඩා, බඹලොව ආධිපත්‍යය ලැබීමට ද වඩා සෝතාපත්ති ඵලයට පත්වීම උතුම් ය.

‘පතව්‍යා ඒක රජ්ජෙන
සග්ගස්ස ගමණෙනවා
සබ්බලෝකාධි පච්චේන
සෝතාපත්ති ඵලං වරං’

මෙලෙස යම් කෙනෙක් උතුම් සෝතාපත්ති! ඵලයට පත්වූයේ නම්, ඔහුට විඳින්නට ඇති දුක් ප්‍රමාණය අල්ප බවත්, සෝතාපන්න ඵලයට පත්නොවී මිය යන පුද්ගලයෙකුට නැවත නැවතත් ඉපදීම නිසා විඳින්නට වන දුක් ප්‍රමාණය අති විශාල බවත් භාග්‍ය වතුන් වහන්සේ විවිධ උපමා මාර්ගයෙන් අවධාරණය කොට ඇත. එබැවින් ගිහි පැවිදි අප සැවොම මේ ලැබූ උතුම් මනුෂ්‍ය භවයතුළ දී උතුම් සෝතාපන්න ඵලය ලැබීමටවත් වීර්යය කළ යුතුම ය. එසේ වුවද එකී වීර්යය පවත්වා ගත යුතු වන්නේ සම්මා දිට්ඨිය මත පදනම් වූ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය ම ප්‍රගුණ කිරීමෙනි. සීලයත්, සමාධියත් අනුග්‍රහ කර ගනිමින් අප විසින් ප්‍රඥාව වැඩිය යුතුම ය.

අපට මේ භවය තුළ දී ප්‍රඥාව අවබෝධ කළ නොහැකියැයි කිසිදු බෞද්ධයකු විපිළිසර නොවිය යුතු ය. අවශ්‍ය කරනුයේ ඤානයෙන් පරිපූර්ණ වීර්යයක් ඒ සඳහා ඇති කර ගැනීම ය. එවැනි උතුම් අරමුණක ගමන් ගන්නා පුද්ගලයකුට යම් හෙයකින් මේ භවය තුළ දී ම මාර්ගඵල අවබෝධකරගත නොහැකි වුව ද අසහනයට පත්විය යුතු නැත. ඒ, කුමක් නිසා ද? නිවැරැදි ධර්ම මාර්ගය පුහුණු කරන බුද්ධ ශ්‍රාවකයා සුගතිය දෙසට ම නැඹුරු වූවෙකු වන බැවිනි.