Print this Article


දීපා පෙරේරා ලියූ සුපසන් ජීවිතය දොරට වඩී

දීපා පෙරේරා ලියූ සුපසන් ජීවිතය දොරට වඩී

ලබාගත් දුලබ මිනිසත් බව නො නසා පවත්වාගෙන යාමටත් ඒ තුළින් පරලොව සුගතිගාමී වන අයුරුත් මනා ලෙස පැහැදිලි කරමින් ප්‍රවීණ මාධ්‍යවේදිනී දීපා පෙරේරා මහත්මිය විසින් පාඨක ජනතාව වෙත “සුපසන් ජීවිතය” මැයෙන් සදහම් ග්‍රන්ථයක් එළිදක්වා ඇත.

අද්‍යතනයේ මෙරට මෙන් ම, විදේශයන් හි ද බහුශ්‍රැත මෙන් ම ධර්මධර මහතෙර නමක් ලෙසින් මහජන සම්භාවනාවට පාත්‍රව වැඩ සිටින අතිපූජ්‍ය ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමියන් වහන්සේ සමඟ පවත්වන ලද සදහම් සාකච්ඡාවන්හි එකතුවක් වශයෙන් මෙය සකස් වී ඇත. දහමින් යුතු දිවිය දැහැමි දිවියක් වන්නා සේ ම දහමින් යුතු නිවස දැහැමි නිවසකි. එවන් දිවියක හා නිවසක උරුමකරුවන් වන්නට නම් සිත කෙලෙසුන් හා වසඟයට යා නොදී ආරක්ෂා කරගත යුත්තේ කෙසේදැයි මූලික සූත්‍ර දේශනා ඉදිරිපත් කරමින් පාඨකයා තුළ ශ්‍රද්ධාවත්, සංයමත් ජනිත කරවීමට සමත් වී ඇත.

මෙහි ඇති භාෂාව පාඨක සිත දහම වෙත වේගයෙන් රැගෙන යයි “ඔබ දරුවන් ලැබුවාට අම්මා කෙනෙකුට ගැලපෙන චරිතයක ඔබට නැහැ. ඔබට දාව දරුවන් සිටියාට පිය කෙනෙකුට තිබිය යුතු වටිනා චරිතයක් ඔබට නැහැ. මේ නිසා ඔබ ප්‍රශංසා ලැබිය යුතු තැනක නො සිටිනවා සේ ම, ගරුකට යුතු තැනකත් සිටින්නේ නැහැ. “ආදි වශයෙන් හෘදය ගෝචර භාෂාවකින් හා පෞද්ගලික ව පාඨකයන් ඇමතීමෙන් මෙහි ඉදිරිපත් කෙරෙන සදහම් පණිවුඩය පාඨකයාට පෞද්ගලික ව කෙරෙන අනුශාසනාවක් සේ සිතා ඒ සඳහා අවධානය යොමු කිරීමට උත්සුක වේ.

එය සාර්ථක ඉදිරිපත් කිරීමක් සේ අගය කළ හැකි ය. මෙය විශාල ධර්ම ග්‍රන්ථයක් නොවේ. කුඩා දහම් ලිපි කිහිපයක් කෙටි මාතෘකා යටතේ ගොනු කොට ඇත. සංකීර්ණ සමාජ ක්‍රමයක ජීවත් වන නූතනයේ ලද විවේකයෙන් දහම් කරුණක් හැදෑරීමේ අවකාශය එමගින් පාඨකයාට හිමි වේ. දීපා පෙරේරා මහත්මිය අප කලක සිට දන්නා හඳුනන මාධ්‍යවේදිනියකි. තෙරුවන් කෙරෙහි බැති පෙම් ඇති ව කටයුතු කරන ඇය ධර්මධර තෙරවරුන් හා සාකච්ඡා කොට ලබාගන්නා සාරය බුදුසරණ පුවත්පත ඔස්සේ මුළු ලොවට ම දායාද කරලීමෙහිලා ගන්නා වෙහෙස අපමණ වූවකි. මෙවන් සදහම් නිමැවුම් තවත් ජනගත කරන්නට ඇයට තෙරුවන් බෙලෙන් ආයුරාරෝග්‍ය සම්පත්තිය උදාවේවා