Print this Article


සදහම් අරණ

පිරිවෙන් අධ්‍යාපනය ලබන ගෞරවනීය ස්වාමින් වහන්ස /දුවේ, පුතේ

ලේඛන කුසලතාව වඩාත් වර්ධනය කර ගැනීම සඳහාත්, දහම් දැනුම වර්ධනය සඳහාත්, ගුණධර්ම වැඩිදියුණු කර ගැනීම සඳහාත් සදහම් අරණ ළමා නිර්මාණ පිටුව ඔබ වෙනුවෙන් වෙන්කර ඇත. ඔබගේ ගද්‍ය, පද්‍ය, සිතුවම් ,අදහස් පුර අටවක අමාවක, පුර පසළොස්වක, අව අටවක. බුදුසරණ පුවත්පත්හි පළ කරන්නෙමු.

****

පැන විසඳුම්හි ජයග්‍රාහිකාව

ධම්මරත්නයේ ගුණ

අප තිලෝගුරු බුදුපියාණන් වහන්සේ විසින් උන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරන ලද බුද්ධ භාෂිතය ධර්ම රත්නය ලෙස හැඳින් වේ. ජීවිතය සහ ලෝකය පිළිබඳ විවිධ දාර්ශනිකයින් හා විද්‍යාඥයින් විසින් නොයෙක් මත පළ කර ඇත. නමුත් බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයට සමාන හෝ උසස් දහමක් නැත්තාහු ය. බුදුපියාණෝ දෙසූ පරිදි ම, ‘ශාක්‍යමුනින්ද්‍රයන් විසින් වදාළ ශ්‍රී සද්ධර්මයට සමාන හෝ උසස් දහමක් මෙලොව හෝ වෙනත් ලොවක හෝ නොමැත” ඒ නිසා ම ධර්මය රත්නයක් ලෙස හඳුන්වනු ලබයි. බුදුරජාණන් වහන්සේ මෙලොව නොමැති කාලයක දී වුව ද, ධර්මය පවතී. උන්වහන්සේ විසින් සිදුකරනු ලැබුවේ, එම ධර්මය අවබෝධ කරගෙන ලෝක සත්ත්වයාට දේශනා කරලීමයි. අප නිතර භාවිත කරන දහම් ගුණ ඇතුළත් පාඨය වන ‘ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ” යන්නෙහි ශ්‍රී සද්ධර්මයේ ගුණ සයක් පිළිබඳ ව මනාව විස්තර වෙයි. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පසු පස්වන සතියේ දී, අජපල් නුගරුක මුලදී ගුරු තන්හි තබාගත්තේ ධර්මයයි. එසේ ම, බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි බුදුරදුන් නොමැති කාලයේ දී (පිරිනිවන් පෑමෙන් පසු) ගුරුතන්හි තබාගත යුත්තේ ධර්මය හා විනය දෙක බව වදාළහ. තමාට පිදිය යුත්තේ මලින්, පහනින් නොව ධර්මය හොඳින් අවබෝධ කරගෙන පිළිපැදීමෙන් බවයි, උන්වහන්සේ දේශනා කොට වදාළේ. එය රෝගියෙකුට බෙහෙතක් හා සමාන ය. ‘ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී’ ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින් ම රැකෙන බව දහමෙහි දැක්වේ. ‘සබ්බ දානං ධම්ම දානං ජිනාති’ සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් ය. සියලු දානයන්, ධර්ම දානයෙන් ජයග්‍රහණය කරන බව දැක්වේ. අපිත් දහම් පාසල් යන බොදු දරු දැරියන් වශයෙන් ධර්මය පිළිපැද තම දිවිය ධර්මාලෝකයෙන් ඒකාලෝක කර ගනිමු.

****

පැවිදි බව ලැබුවෙමි

බුදුසරණ සදහම් අරණ ළමා සමාජයේ අංක 367 තුම්මුදුන වාළුකාරාම මහා විහාරයේ හයවන ශ්‍රේණිය කේ.ඒ. ගයාන් කල්ප අබේසේකර වන මම පසුගිය ජූලි 7 වන දින උතුම් පැවිදි බව ලදිමි. පැවිදිවීමේ කැමැත්ත බොහෝ කලක සිට පැවතුණි. මගේ බලාපොරොත්තුව ඉටුවීම ගැන, මම ඉතාම සතුටින් පසුවෙමි. ගිරිඋල්ල, මහරගම පඤ්ඤානන්ද පිරිවෙනේ අධ්‍යාපනය ලබමි. උදය, සවස, වතාවත් කිරීම, බුදුන් වැඳීම, වත පිරිත් දේශනා ඉතාම ආශාවෙන් කරමි. පරිවේනාධිපති හිග්ගොඩ උදය ධම්ම පණ්ඩිත හාමුදුරුවෝ අපට ආදරයෙන් අවවාද අනුශාසනා කරන සේක. මා විහාරස්ථානයට පැමිණෙන විට ධම්මපදය, යමක වග්ගය, මහා මංගල සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍රය, රතන සූත්‍රය, ආදී පිරිත් සූත්‍ර පාඩම් කර තිබුණෙමි. මගේ බලාපොරොත්තුව හොඳින් අධ්‍යාපනය ලබා පණ්ඩිත හාමුදුරුනමක් වීම යි. මගේ පැවිදි නම මාහරගම හේමරතන සාමණේර හිමි ය. මම ඉතාම හොඳින් ගුරු උපදෙස් පිළිපැද උත්සාහවන්තව වැඩ කරමි.

****

සෙනෙහස දුන් ආදර අම්මා

දසමසක් මා කුස රැඳවූ අම්මා
ලේ කිරි කර අදරින් පෙව් අම්මා
දුක් කරදර සැම මැඩගෙන සිටි අම්මා
සැමදා වඳිනෙමි මගේ ආදර අම්මා

මුළු නිවසෙම ආලෝකය අම්මා
නිවසට පහනක් වී සිටි අම්මා
පියෙක් වගේ හිටියෙත් මගෙ අම්මා
නිවන් දකීවා මගෙ ආදර අම්මා

පියා නැති ලොවට ඔබමය මට පියා වුණේ
සඳනැති ලොවට ඔබමය මට සඳ කිරණේ
ඉරනැති ලොවට ඔබමයි හිරු මඬල වුණේ
ඔබ නැති කලට මට කෝ වෙන අන් සරණේ

****

පහත සදහම් ප්‍රශ්නවලට ඔබගේ පිළිතුර පැහැදිලිව ලියා අප වෙත එවන්න. නිවැරැදි පිළිතුරට වටිනා තෑගි පිරි පිරිනමන්නෙමු.

01). පන්සිල්පද පිළිවෙළින් නම් කරන්න.

02). ඔබ කැමැති එක් සිල්පදයක් ගැන වචන සියයට නොවැඩිව ලියා එවන්න.