Print this Article


85 වන වරටත් පවත්වන තල්පිටියේ දළදා මහා පූජෝත්සවය

85 වන වරටත් පවත්වන තල්පිටියේ දළදා මහා පූජෝත්සවය

ලංකා ඉතිහාසයේ අඳුරුතම යුගයේ ආරම්භය සනිටුහන් වන්නේ 1505 පෘතුගීසින් ලංකාවට පැමිණීමත් සමඟ ය. කූට උපාය මාර්ග යොදා ගනිමින් ලංකා පාලනාධිකාරියේ සහාය ලබා ගනිමින්, ලංකාද්වීපය තුළ ඔවුන්ගේ අභිමතාර්ථ සාධනය කර ගැනීම උදෙසා යුහුසුළු වූ මිෂනාරි පාදිලිවරුන් ධර්මපාල කුමරු දොන් ජුවන් නමින් බෞතිස්ම කර වූ අතර රජුගේ ආශීර්වාදය මත ඔවුහු තම ආගම පැතිරවීමට කටයුතු කර ඇත.

දොන් ජුවන් ධර්මපාල රජවීමෙන් පසු කැලණියේ පිහිටි විහාර දෙකක් හා ඔහුගේ රාජ්‍ය බල ප්‍රදේශයේ සියලු විහාරස්ථාන හා ගම් බිම් ද, ගව, මහිෂ, ඇත් ආදිය මෙන්ම රන් රිදී මුතු මැණික් ආදියෙහි ද අයිතිය ඔවුන් වෙත පවරන ලද්දේ සන්දේශයක් අත්සන් කොට දීමෙනි. මෙහි භයානකත්වය වූයේ කෝට්ටේ දළදා මැදුර ද රජුගේ ආධාරයෙන් ඔවුන් සතු කර ගැනීමය. මේ අතර දළදාව භාරව සිටි හිරිපිටියේ දියවඩන නිලමේ තුමාට දළදා මාළිගාව පරංගීන් අතට පත්වීමට පෙර දිනයේ දෙවි කෙනෙකු තමා ඉදිරියට පැමිණ කෝට්ටේ කෙරෙහි ඇල්මෙන් පලක් නැත. දළදාවත් රැගෙන වහා උඩරටට පලා යව යනුවෙන් ප්‍රකාශ කරනු සිහිනයෙන් මෙන් ඇසී ඇත. ඒ අනුව වහා ක්‍රියාත්මක වූ හිරිපිටියේ දියවඩන නිලමේතුමා දළදා වහන්සේ සහිත කරඬුව රැගෙන දියවන්නාව තරණය කරමින් සීතාවක දක්වා පැමිණ ඇත.

මේ යන ගමනේ දී තෙල් පිටිය නම් ග්‍රාමයෙහි තිබූ ඉපැරැණි නා ගසක බෙනයක දළදා වහන්සේ සඟවා තබා ඇත. තෙල්පිටිය යනු වර්තමානයේ රයිගම් කෝරළයේ පානදුර තොටමුණ තල්පිටිබද්ද වාද්දුවේ පිහිටි තල්පිටිය ග්‍රාමයයි. ඉපැරැණි කල ශශි‍්‍රක පොල් වගාවෙන් හෙබි මෙම ග්‍රාමය කෝට්ටේ පිහිටි දළදා මාලිගාවෙහි පහන් පත්තු කිරීම සඳහා තෙල් සැපයූ ග්‍රාමයයි. මෙම පින්බිමෙහි විහාරස්ථානයක් ඉදිකොට දළදා විහාරය නමින් නම් කර ඇත. මෙම ඓතිහාසික කතා ප්‍රවෘත්තිය හේතු සාධක කර ගනිමින් මෙම විහාරස්ථානයෙන් දළදා වහන්සේ සිහිපත් කරමින් විවිධ පින්කම් කර ඇති අතර 1933 එම දළදා පූජාවට පෙරහරක් ද එක් කර ඇත. එතැන් පටන් නොකඩවා මෙම පෙරහර පැවැත්වීමට විහාරාධිපති හිමිවරුන්ගේ අනුශාසනා පරිදි තරුණ බෞද්ධ සංගමය මූලිකත්වය ගෙන ඇත.

මෙවර මෙම දළදා මහා පෙරහර පැවැත්වෙන්නේ 85 වන වතාවට ය. වසර 85 ක් මුළුල්ලේ ගම්වාසීන් ඉතා බැතියෙන් සමරන වාද්දුව ප්‍රදේශයේ සංස්කෘතික මංගල්‍ය ලෙස මෙම පෙරහර හැඳින්විය හැකි ය. ඒ බව මනාව පැහැදිලි කර ගැනීම සඳහා පෙරහර නිමිත්තෙන් එම ප්‍රදේශය තුළ ඉදිවන තොරණ කදිම සාක්ෂියකි. දේශීය අමුද්‍රව්‍ය භාවිත කරමින්, දේශීය කලා හැකියාව විදහා දැක්වෙන ආකාරයෙන් මෙම තොරණ නිර්මාණය කිරීම විශේෂත්වයකි. වසර තිහ හතළිහ එක දිගට මෙම පෙරහර වෙනුවෙන් නර්තන හැකියාවන් සහ විවිධ කුසලතාවයන් ඔස්සේ තම දායකත්වයන් ලබා දීමට ලැබීම ඔවුන් ජීවිතයේ භාග්‍යයක් කොට සලකන්නාහ. ඒ නිමිති කරගෙන මෙවර ද විශේෂ පින්කම් මාලාවක් විහාරාධිපති තල්පිටියේ චන්දරතන ස්‍යාමෝපාලි වංශික මල්වතු විහාර පාර්ශවයෙහි පානදුර තොටමුණ සහිත රයිගම් කෝරලයේ උප ප්‍රධාන සංඝනායක නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි තරුණ බෞද්ධ සංගමය මඟින් සංවිධානය කර ඇත. ඒ අනුව සෑම වර්ෂයක ම මෙන් ම මෙවර ද 2018 සැප්තැම්බර් 24 දින සිට ධර්ම දේශනා පින්කම්, සති පිරිත් දේශනා පින්කම ආදී පින්කම් රැසක් පවත්වා මල් පෙරහර ද පවත්වා දළදා මහා පෙරහර පවත්වනු ලැබේ.

දෙවිනුවර මහා පෙරහර, රුහුණු කතරගම ඇසළ මහා පෙරහර, බෙල්ලන්විල මහා පෙරහර, ඓතිහාසික සෙංකඩගලපුර දළදා මහා පෙරහර යන සියලු සංස්කෘතික මංගල්‍යයක්ම අවසානයේ ඒ සියලු පෙරහරවල ගමන් ගත් අලි ඇතුන් මෙම පෙරහර සඳහා ගෙන්වා ගෙන දළදා සමිඳුන් වෙනුවෙන් පහතරට දී කෙරෙන උතුම් පූජා පෙළහර තල්පිටිය දළදාවත්ත මහා විහාරස්ථානය කේන්ද්‍රකරගනිමින් 2018 සැප්තැම්බර් මස 29 වන දින රාත්‍රියේ පවත්වනු ලබන බව සතුටින් දැනුම් දෙමු. විශේෂයෙන් අපවත් වී වදාළ බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන් මෙම පෙරහර සාර්ථක කරගැනීම සඳහා වසර ගණනාවක් පුරාවට දක්වන ලද සහයෝගය කෘතවේදී ව සිහිපත් කරමු.