Print this Article


නා උයනේ ශ්‍රී අරියධම්ම මාහිමිපාණන් වහන්සේගේ ස්වයං කථිත චරිත කථාව -02: පැවිද්දට යොමු වූ පුංචි සිත...

පැවිද්දට යොමු වූ පුංචි සිත...

පාසලේ තුන්වෙනි පන්තියෙන් සමත් වුණු මාව පස්වෙනි පන්තියට උසස් කළා දක්ෂතා නිසා. මම අටේ පන්තියට සමත් වුණහම මගේ ගුරුවරු මට කිව්වා මේ දරුවාට තවත් හොඳින් ඉගෙනගන්න අපි උසස් විද්‍යාලයකට ඇතුළු කරන්නම් කියලා.

මම හිතින් කිව්වා මට නම් එපා කියලා. ඒ මොකද? පැවිදිවීමේ අපේක්ෂාව තදින්ම හිතේ බලපෑ නිසා. පාසලේ ළමයිනුත් මට කියනවා අපට හොඳ ගුරුවරයෙක් වන්න කියලා. මම කිව්වා. මම ගුරුවරයෙක් වෙන්නේ නෑ. මම මහණ වෙනවම යි කියලා. ඔහොමයි මගේ අධ්‍යාපනය සිදුවුණේ.”

පැවිද්දට සිත යොමුවීම

ස්වාමීන් වහන්සේගේ කුඩා කාලයේ දී සිත තුළ තිබුණු පැවිදිවීමේ අදහස මුලින් සිහිපත් කළා. ඒ පිළිබඳ තව කරුණු ටිකක්.

“මට මතකයි මට අකුරු කියවන්නත් කලින් කුඩා කාලේ වුණ සිද්ධියක්. අපේ ගමේ ඥාති වන ස්වාමීන් වහන්සේලා සය නමක් සිටියා සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශ්වයට අයිති. එයින් එක ස්වාමීන් වහන්සේ නමක් ගමට වැඩම කරලා දවසක් අපේ ගෙදර නැවතිලා සිටියා. අම්මා බොහොම හොඳින් උපස්ථාන කළා. පසුදා හීල දානය වළඳලා පිටත්වීමට පෙර ඒ ස්වාමීන් වහන්සේ කිව්වා අපේ පන්සලට මෙච්චර කුඹුරු,තේ, රබර් වතු තියෙනවා. අපට මේ පවුලෙන් ම දරුවෙක් ඕනෙ මහණ කරගන්න කියලා. ඒ වේලාවේ අපේ අම්මා එක වචනයෙන් ම කිව්වා. “අපේ හාමුදුරුවනේ මගෙ දරුවන්ට අපායට යන්න දෙන්න බෑ කියලා. ඉතින් මට බයක් ඇති වුණා මහණ වුණොත් අපායට යනවනේ කියලා. නමුත් පැවිදිවීමේ අභිලාෂය කුඩා අවධියේ පටන් හිත ඇතුළේ දළුදාමින් තිබුණා.

ඒ අතරෙදි මට, වයස නවයේ දී කිරි අම්මා සමඟ නිලගම පන්සලේ සිල් සමාදන් වෙන්න පුරුදු වුණා. කිරි අම්මාත්, මගේ පියාත්. සතර පෝයටම සිල් ගන්නවා. මමත් පසළොස්වක පොහොයට සිල් සමාදන් වී අටසිල් පිරුවා.මට බණ කියන්න තරමටම හරි ආසයි. මම සත්වෙනි පන්තියේ සිටින විටදී මගේ මෑණියෝ අභාවප්‍රාප්ත වුණා. එම නිසා මගේ පැවිදි වීමේ අදහස තවත් ශක්තිමත් වුණා.

මසේ කලක් යනවිට අපට ආරණ්‍යයක් බිහිවුණා. නාඋයන ආරණ්‍යය. 1954 දී පූජනීය විගොඩ බෝධිරක්ඛිත ස්වාමීන් වහන්සේ එහි වැඩම කොට ආරණ්‍යයේ වැඩ සිටියා. අපි ආරණ්‍යයේ සිල් සමාදන් වෙන්න පුරුදු වුණා. එහිදී අපට ලැබෙනවා පූජනීය කඩවැද්දුවේ ස්වාමින් වහන්සේ ලියන කුඩා භාවනා පොත්, ඒවායින් අපි භාවනා ක්‍රම පුහුණු වුණා. ගෙදර භාවනා කරන්නත් පටන් ගත්තා. අපේ පියතුමා සෑම දවසකම රාත්‍රී ආහාරයෙන් පස්සේ දෙපැයක් පමණ වාඩි වී භාවනා කරනවා. මමත් ඒ අතර කරණීය මෙත්ත සූත්‍රය පාඩම් කරගෙන මෛත්‍රි භාවනාව පුරුදු කළා. මම තනි කාමරයක නිදා ගන්නේ. මෛත්‍රී භාවනාව පැය භාගයක් පමණ කර රාත්‍රියේ නිදාගත්තා. එයින් මට ලොකු ආනිසංසයක් දකින්නට ලැබුණා. සැපෙන් නින්ද යනවා. සිහින පෙනෙන්නෙ නෑ. සැපෙන් අවදි වෙනවා. දවස පුරාම බොහොම පී‍්‍රතිමත්ව ගත කරනවා. ධර්ම කාරණා පාඩම් කරනවා. මම හිතින් ප්‍රාර්ථනා කරනවා අනේ මට කුඩා වයසෙදිත් මේ භාවනාවේ ප්‍රතිඵල මෙහෙම තියෙනවා නම් මේකට වෙන් වෙලා ආරණ්‍ය ගතවෙලා භාවනා කරන්න ලැබුණොත් කොච්චර වාසනාවක් ද? ඒ නිසා මම පැවිදි වෙන්න ඕනෙ කියලා දෙවියන්ට පින් දීලා කියනවා. මට උතුම් ලෙස මහණදම් පුරන්න තැනක් ලැබේවා! කියලා. මම පාන්දර 5.00 ට සැමදාම අවදි වෙනවා. මේ විදිහට මාස හය හතක් පුහුණු වෙන අවස්ථාවේ තමයි පැවිදි වීමට අවස්ථාව ලැබුණේ.

එසේම මට වයස 14 පමණ කාලයේ දිනක් අතිපූජනීය මාතර ඤාණරාම මාහිමිපාණන් වහන්සේ තවත් දෙනමක් සමඟ දම් දෙසුමක් සඳහා නාඋයන ආරණ්‍යයේ සිට බඹරගස්වැව ගම්මානය බලා වඩිද්දි අපේ ගමේ බෝ මැඩ ටික වෙලාවක් වැඩ සිටියා. බෝමළුවේ ආසන පනවා වඩා හිඳුවා ගිලන්පස පිළිගන්වා වන්දනා කොට පසෙකට වුණු පිරිසත් සමඟ සිටි මම ප්‍රසාදයෙන් ගරුතර ස්වාමින් වහන්සේලා දෙස බලා සිටියා. මහෝපාධ්‍යාය මාහිමියන් වහන්සේ උඩුකය ඍජුව තබාගෙන බඹයක පමණ දුර පෙනෙන සේ තබාගත් නෙත් ඇතිව වැඩ සිටියා .ගැඹුරු දැනුමක් කොහොමවත් නැති මට මහෝපාධ්‍යාය මාහිමියන් වහන්සේ මැදුම් පිළිවෙතෙහි පිහිටි උතුමන් වහන්සේ යැයි වැටහී ගියා. කවදා හරි මමත් මැදුම් පිළිවෙත පුරන පැවිද්දෙක් වෙම්වා’ යි ප්‍රාර්ථනාවක් එදා ඇති කර ගත්තා.

එසේම පූජනීය කඩවැද්දුවේ ජිනවංස පණ්ඩිත ස්වාමීන් වහන්සේ වරක් නාඋයන ආරණ්‍යයට සත් නමක් සමඟ වැඩම කළා. අපිත් එදා ආරණ්‍යයට ගොස් ස්වාමීන් වහන්සේලා වන්දනා කරගත්තා. එදා පූජනීය කඩවැද්දුවේ ස්වාමින් වහන්සේ පහාරා ද සූත්‍රයෙන් පැයක් පමණ දහම් දෙසුවා. අපිත් ඒ ප්‍රණීත දම් දෙසුම ශ්‍රවණය කළා. ඔය විදිහෙ සිද්ධි තුළින් තව තවත් පැවිද්දට සිත නැමුණා”.

ස්වාමින් වහන්සේ පැවිදිවීම සඳහා ගෙදරින් නික්මීම සිදුවුණේ කොහොමද?

පියතුමාගේ අවසරය

“නාඋයන ආරණ්‍ය සේනාසනයේ පැවිදි කිරීමට අවුරුදු දහය, එකොළහ, දොළහ වයසේ කුඩා ළමයි තුන් දෙනෙක් හිස කෙස් බා ගුරු ඇඳුම් ඇඳගෙන දස සිල් සමාන්දන් වී සිට අපේ ගම හරහා තවත් ආරණ්‍යයකට යනවා දැකලා මම හිතුවා මේ කුඩා ඇත්තොත් දැන් මහණවෙන්න සූදානම්. මම තව පමා වෙන්න අවශ්‍ය නෑනෙ කියලා. ඊට පහුවදාම මගේ පියාණන්ට දවල් කෑම ගත්තායින් පසු වැඳලා මම කිව්වා ‘මාව ආරණ්‍යයකට ගිහින් බාර දෙන්න’ කියලා. පියාණන් ඇහුවා. මොකටද? මම කිව්වා. ‘මට මහණ වෙන්න ඕනෙ” කලින් මේ ගැන කාටවත් කිව්වේ නෑ. ඊට පස්සේ පියාණන් ටිකක් වෙලා නිහඬව ඉඳලා ‘හා හොඳයි’ කිව්වා. මම කිව්වා ‘දැන්ම ම යන්න ඕනෙ’ ඇයි දැම්මම යන්නේ පියාණන් ඇසුවා මම කිව්වා’ මගේ සහෝදරයෝ එපා කියයි. ඒ නිසා දැන්ම ම ගියොත් හොඳයි’ ආ ඒක මම බලාගන්නම් අපි හෙට උදේ යමු’ කියලා පියාණන් පැවසුවා. කවුරුත් මට ආදරේ නිසා උදේ වනතුරු කිසිවෙකුට කිව්වේ නැහැ. ගමනට බාධා වෙයි කියලා.

පසුදා උදේ ආහාරගෙන ගමේ වැඩිහිටියන්ට වන්දනා කළා. හැමෝම ආශිර්වාද කළා. බාධා වුණේ නෑ. ඉන්පසු ආරණ්‍යයට පැමිණියා. බෝධිරක්ඛිත ස්වාමීන් වහන්සේ වැඩ සිටියේ ගල්ලෙනේ. පියතුමා මගේ අත ගෙන බෝධිරක්ඛිත ස්වාමීන් වහන්සේගේ අතෙහි තබා ‘මේ දරුවා මහණ කරගන්න’ කියලා බාර කළා .ස්වාමින් වහන්සේ කෙටි වේලාවක් අනුශාසනා කරලා මාව බාරගත්තා. ඒ 1956 බුද්ධ ජයන්ති වර්ෂයේ ඔක්තෝබර් 27 වැනිදා යි. පසුවදා මගේ පියතුමා සමඟ අපේ ගමේ විශාල පිරිසක් දානෙ හදාගෙන ආරණ්‍යයට ආවා. දන් දී ඒ කටයුතු අවසන් කරලා දවල් දොළහෙන් පස්සේ ගල්ලෙන ඉදිරිපිට විශාල මිදුලේ කෙළවරට මාව කැටුව ගිය පියතුමා කියනවා පුතා මේ හදිසි තීරණයකින්ද ආවේ. එහෙම නම් තීරණය වෙනස් වෙනවා. මහණවෙලා සිවුරු අරින එක අපට මහා මදිකමක් එහෙම නම් ගෙදර යමු” මම ඉතින් වැඳගෙන කිව්වා. ‘මම මේ ආපසු යන ගමනක් නොවෙයි ආවේ. පියතුමා සාධුකාර දීලා මට ආශීර්වාද කළා. එදාම හිසකෙස් බා ගුරු ඇඳුම් ඇඳගෙන දසසිල් ගත්තා.”

නාඋයන ආරණ්‍ය සේනාසනය

මිහිඳු මහ රහතන් වහන්සේගෙන් ලැබුණු සර්වඥ ධාතුන් වහන්සේලා නිධන් කොට දෙවන පෑතිස් නරේන්ද්‍රයන් යොදුනෙන් යොදුන දාගැබ් බැඳවී ය. එයින් එක් චෛත්‍යරාජයාණන් වහන්සේ නමක් නාඋයනේ වැඩ වෙසෙති.එසේ නම් නාඋයන ආරණ්‍ය ඉතිහාසය ක්‍රි.පූ. තෙවන ශත වර්ෂය දක්වා දිව යයි. නටබුන් වූ දාගැබෙහි ධාතුන් වහන්සේ සමඟ රන් කරඬුව ලැබී එය නැවත නිධන් කොට මෑත භාගයෙහි චෛත්‍යය නැවත ගොඩනංවා ඇත. අතීතයෙහි මහ රහතුන් වහන්සේලාගේ ගුණ සුවඳ නාමල් සුවඳත් සමඟ මුසුවී මුළු බටහිර අනු දිශාවම (වයඹ පළාතම) සුගන්ධවත් වන්නට ඇත. කටාරම් කෙටූ ගල්ලෙන වලින් යුක්ත විශාල නා වනය වත්මන ශතාධික සඟ පිරිසකගෙන් යුත් පින් බිමෙකි. මල් සුවඳට ඇදී එන බඹර කැළ සේ සිල් සුවඳට දහස් ගණන් සැදැහැත්තෝ ඇදී එති. ගෝතම බුදු සසුන සුරකින පින් බිමෙකි නාඋයන. බොහෝ සැදැහැතියෝ දන් සිල් බවුන් පුරන පින් බිමෙකි නාඋයන.

1954 දී විගොඩ බෝධිරක්ඛිත මාහිමියන් වහන්සේගේ පැමිණීමෙන් නාඋයන අරණෙහි වත්මන් දියුණුවට මග පෑදිණි. ඒ ස්වාමීන් වහන්සේ 1952 වර්ෂයේ දී කල්‍යාණි යෝගාශ්‍රමය දෙවන ප්‍රව්‍රජ්‍යා මංගල්‍යයේදී පැවිදි බව ලැබී ය. එය සිදුවුයේ වැල්ලවත්ත ධර්මෝදය පිරිවෙන් භූමියේ දී අතිගරු රාජකීය පණ්ඩිත මුල්ලේගම සීලාලංකාරාභිධාන අධිකරණ නායක මාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙනි. බෝධිරක්ඛිත සමනුද්දේසයන් වහන්සේ උපසපන් භූමියට පත්වූයේ වර්ෂ 1954 දී නිමලව තපෝවන ඇටුල්ල ජාතස්සර උදකුක්ඛේප සීමා මාලකයේ දී අතිගරු අලුබෝමුල්ලේ ශ්‍රී අරියවංස මහා ස්වාමීන්ද්‍රයාණන් ගේ උපාධ්‍යායත්වයෙනි. ඒ උපසම්පදා පුණ්‍ය මහෝත්සවය ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රමීය දෙවන උපසම්පදා පින්කමයි. බෝධිරක්ඛිත ස්වාමින් වහන්සේ වසර 44 ක් පමණ නාඋයන අරණෙහි වැඩ සිටියහ.

පණ්ඩුපලාස අවධිය

ස්වාමීන් වහන්සේ දසසිල් උපාසක ලෙස ගතකළ කාලය ගැන යමක් සිහිපත් කළොත්...

“ගෙදරින් නික්මුණ දවසට පසුදාම මට දසසිල් ඉගැන්නුවා. ඒ බෝධිරක්ඛිත ස්වාමින් වහන්සේට අසනීපෙකට උපන් ගමට වැඩම කොට ආයුර්වේද ප්‍රතිකාර ගන්න තිබුණා. එම නිසා ගම්පහ විගොඩ උන්වහන්සේගේ අයියගේ ඉඩමක කුටි සෙනසුන් තුනක් හදලා ස්වාමින් වහන්සේ එහි අප ව කැටුව ගියා. මමයි අනෙක් දසසිල් ළමයි තුන්දෙනයි ප්‍රධාන දායකතුමයි පාන්දර 4 ට නාඋයනින් පිටත් වී බසයෙන් දවල් දානයට විගොඩට පැමිණියා. උන්වහන්සේ උපන් නිවසට වැඩම කරලා එහි දී දානෙ වළඳලා කුටි සෙනසුන් වලට ගොස් මූලික අධ්‍යාපනය ලැබුවා මාස 04 ක්. අපට ස්වාමින් වහන්සේ බොහෝම අර්ථවත් කාලසටහනක් දීලා ඒවා අඛණ්ඩව පුරන හැටි පුහුණු කළා. පාන්දර 3.50 ට අවදි වෙනවා. 4.00 සිට 5.00 දක්වා භාවනාව කරනවා. ඊළඟට බුද්ධ වන්දනාව හා වත පිරිත නැවත විනාඩි 15 ක භාවනාව. උදේ වරුවේ වත් පිළිවෙත් සක්මන් භාවනාව, උදේ 9.00 ට පැන් පහසු වීම, 10.00 ට පිණ්ඩපාතය ගමනේ දී දායක පිරිසට ඒ ස්වාමීන් වහන්සේ දේශනා කරන බණ අපි පැමිණ ආපසු කියන්න ඕනෙ. ඒ විදිහට පුහුණු වුණා. සතියක් පුරා සවස බුද්ධ වන්දනාවෙන් පසු විනාඩි පහළොව, පහළොව බද්ධ පර්යංකයෙන් භාවනා කරනවා. ඊළග සතියේ දී එය විනාඩි විස්ස දක්වා දීර්ඝ කරනවා. මෙසේ පැයක් බද්ධ පර්යංකයෙන් භාවනා කරන්න පුරුදු කළා. කිසිදු වේදනාවක් නැතිව.

ඒ අතර අපට පාලි භාෂාව ඉගැන්නුවා. භාවනා ක්‍රම පුහුණු කළා. වත් පිළිවෙත් නිවැරැදිව කරන්න පුහුණු කළා. ධර්ම දේශනා කරන්න පුහුණු කළා. ඒ හැම දෙයින්ම අපි සමර්ථ බවට පත් වුණා. මට මෛත්‍රි උපාසක යන නමත් ලැබුණා. ඒ ස්වාමීන් වහන්සේ මගේ සටහන් පොත් මට සහිකයක් සටහන් කරලා දුන්නා. පසුව ස්වාමීන් වහන්සේ දායකයන් සමඟ ශ්‍රීපාද වන්දනාවට වැඩම කළා. අපව ප්‍රධාන දායකතුමා සමඟ ගල්දූව මූලස්ථානයට පිටත් කළා. ඒ වන විට මහෝපාධ්‍යාය මාතර පණ්ඩිත ස්වාමින් වහන්සේ හා කඩවැද්දුවේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ යන දෙනම ම වැඩසිටියා ගල්දූවේ.