Print this Article


ජාතික පනතින්...: මානව හිතවාදී සමාජයකට දම්පල් චින්තනයෙන් . . .

ජාතික පනතින්...:

මානව හිතවාදී සමාජයකට දම්පල් චින්තනයෙන් . . .

හනව වන සියවස අග භාගයේත්, විසිවැනි සියවස මුල් භාගයේත් ලක්දිව ඇති වූ බෞද්ධ පුනරුදයට අසහාය පහන් ටැඹක් වූ, අද්විතීය යුග පුරුෂයාණන් වූ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා සැබෑ ධර්ම වීරයාණ කෙනෙකි.

ආගම්වාදි, ජාතිවාදී, පුද්ගලවාදී පටු ආකල්පවලින් වියුක්ත වූ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ මානව හිතවාදී, නො වහල් චින්තනය ධර්මිෂ්ඨ වූ ත්, සමෘද්ධිමත් වූ ත් සමාජයක් බිහි කිරීමෙහි ලා අගනා මිණි පහනක් ම ය.

උදාර ජාතියක් ගොඩනගනු පිණිස එතුමා ඉදිරිපත් කළ ජාතික පනත ඒ කාර්ය භාරය ඉටු කිරීමෙහිලා නැවත ප්‍රායෝගික ව ක්‍රියාත්මක කරන්නට කාලය එළඹ තිබෙන්නේ ය. ජාතික පනතේ එන මේ ඔවදන් ජීවිතයට එකතු කර ගැන්ම, වෙසෙසින් බාල පරපුරට ග්‍රහණය කරවීම රට, ජාතිය, ආගම පිළිබඳ හැඟීම් ඇති කාගේ වුව ද යුතුකම ය. බෞද්ධාගමික පුනර්ජීවනය වෙනුවෙන්, ජාති මමත්වය වෙනුවෙන් හඬ නැඟු, අභීත වීරයාණ කෙනෙකුට කරන සැබෑ උපහාරයක් ද වන්නේ ය.

ජාතික පනතින් ...

* බෞද්ධ ප්‍රතිපත්තිවලට පිටු පා වැඩ නො කරනු

* සිංහල වීරයන් ගැන ආදර්ශවත් පාඩම් කියවනු

* පුරාණ සිද්ධස්ථාන ජාතික වස්තූන් සේ සිතා ගෞරව කරනු

* ආර්ය නම්, ගම්, චාරිත්‍ර ආරක්ෂා කරනු

* මව්පියන්ගේන් වුවත් ලැබෙන නරක දේ අත් හැරීමට එඩිතර වෙනු

* ජාතික ආහාරපාන දිව්‍ය භෝජන සේ සිතා පී‍්‍රතියෙන් වළඳනු

* සියලු දෙනා අතර එකම සහෝදර ප්‍රේමයක් ඇති කර ගනු

* එක මවකගේ දූ පුතුන් මෙන් අන්‍යොන්‍ය උපකාර කරනු

* මසින් හා ලෙයින් පිරුණු මෙම ශරීරය ලෝකයාගේ හිත වැඩ පිණිස දරන්නෙමි, කී අපේ සිංහල තපස්වී ගැන සිතා එඩිතර වෙනු

* තමාගේ ජීවත්වීම පරාර්ථය පිණිස යැයි නිතර සිහි කරනු

* කුසීත ගතිය දුරලා නිදහස් ජීවිකා වෘත්තියක යෙදෙනු

* ධාර්මික ව මුදල් සපයා සැපසේ ජීවත්වීමට උත්සාහ කරනු

* තමන් වෙනුවෙන් මුදල් සපයන්නට කෙනෙකු බැඳී නැති බව සිතනු

* නිරෝගීකම, උසස් වස්තුවක් සේ සිතනු

* ඥානය, ධනය හා නිරෝගීකම දියුණුවේ මාර්ගය බව සලකනු

* මවු භාෂාවට පි‍්‍රය කරන්නෙක් වෙනු

* අන්‍ය භාෂාවන් දෙවන (අමතර) භාෂාවන් සේ සිතා උගනු.