UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිරිකර පූජාවයි අනුසස් ලැබීමයි:  නිවන් පතා උතුම් පැතුම්

නිවන් පතා උතුම් පැතුම්

සත්ත්වයා අනන්ත අප්‍රමාණ කාලයක් සසර ගමන් කරයි. ඒ දිගු සසර ගමනේ දුකෙන් තොරවීමට නම් පිරිය යුතු ගුණ දම් ද අප්‍රමාණය කර්මය, කර්මඵලය පිළිබඳ මනා අවබෝධයෙන් සියලු දුක් දුරු කිරීම පිණිස ගුණ දහම් වර්ධනයට සසර ගමනේ පිහිට සඳහා මඟ වියදම් තම තමන් විසින් ම සොයා ගත යුතු ව ඇත. අමා නිවන ම අරමුණෙන් කුසල් දම් වඩා දුක් දුරුකරන අයුරු මෙම කතා පුවතින් පැහැදිලි වන හෙයින් ඒ ගුණ දම් මනුසත් භවයට එක්කර ගැනීමට අදිටන් කර ගනිමු.

පෙර කාලයක හංසවතී නගරයේ බොහෝ ධන සම්පත් ඇති කුලයක උප්පත්තිය ලද ඔහු කල්ප ලක්ෂයකින් පසු එනම්, මතු ලොව පහළ වන්නා වූ ගෞතම නම් තථාගතයන් වහන්සේගේ සසුනෙහි පිලින්දවච්ඡ නම් ශ්‍රාවකයෙක් ව දේවතාවන්ට ප්‍රියමනාප පුද්ගලයන් අතර අග්‍රස්ථාන ලබන බව පදුමුත්තර බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක.

ඒ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ඇතුළු ලක්ෂයක් ශ්‍රාවක සංඝයා විෂයයෙහි පෙර කිසිවෙක් නොදුන් ආකාරයෙන් සර්වපරිෂ්කාර මහා දානයක් පූජා කිරීමේ අනුසස් ලැබීම ය.ඒ අනුව පිදූ පරිෂ්කාරයන් හි අනුසස් ගැන උන්වහන්සේ පෙන්වා දුන්නේ මේ ආකාරයටය.

තෙල් බෙහෙත් තබා ගන්නා බඳුන් පිදීමේ අනුසස්

බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට තෙල් බෙහෙත් තබාගැනීමට බඳුන් පිදීමෙන්, කර්මයට අනුරූප වූ අනුසස් පහක් ලැබුවෙමි.

මනා රූ ඇත්තේ වීමි. ප්‍රිය වචන ඇත්තේ ද වීමි. කැළඹුණු සිතින් තොර වූ උසස් සිත් ඇත්තේ ද වීමි. නීරෝගී සැප ඇත්තේ ද, සකලාරක්ෂාවෙන් ආරක්ෂිත වූයෙක් ද වෙමි.

අංසකඩ පිදීමේ අනුසස්

බුදුරජාණන් වහන්සේට හා මහා සංඝරත්නය උදෙසා අංසකඩ පූජාකිරීමෙන් කර්මයට අනුරූපව අනුසස් ත්‍රිත්වයක් ලැබුවෙමි.

පරසිත් දන්නා වූ නුවණ ලැබුවෙමි. පෙර ආත්ම සිහි කිරීමේ නුවණ, හැම කල්හි ම පැහැපත් ශරීර ද වර්ණයක් ඇත්තෙක් ද වෙමි.

පටි පිදීමේ අනුසස්

කරදර කම්කටොළුවල දී කම්පා නොවන සිතක් ඇතිවීමි. සිත සමාධිගත කර ගැනීමට හැකිවීමි. නොබිඳෙන පිරිසක් ඇත්තේ වෙමි. හැම කල්හිම අන්‍යයන් පිළිගන්නා වචන ඇත්තේ වෙමි. එළඹ සිටි සිහි ඇත්තේ වෙමි. කිසිවිටත් බියක් නැත්තේ වෙමි.

මෙම උතුම් ගුණයෝ දෙව්ලොව දී මෙන් ම මිනිස් ලොවෙහි දී ද පවත්වන්නට බුදුරජාණන් වහන්සේ හා මහා සංඝරත්නයට පටි පුදා අනුසස් සයක් ලැබුවෙමි.

බෙහෙත් පිදීමේ අනුසස්

දීර්ඝායු ඇත්තේ ද, ශරීර ශක්තිය ඇත්තේ ද වීමි. වීර්යය ඇත්තේ ද, පැහැපත් ශරීර වර්ණ ඇත්තේ ද වීමි. යහපත් කීර්ති රාවයක් ඇත්තෙමි. ශරීර සැප ඇත්තෙමි. කවර නම් වූ උපද්‍රවයක් නොවේ. අන්තරාය ද නැත. හැම කල්හි අන්‍යයන්ගේ ගෞරවයට ලක්වන්නේය. තම දරුවන්, බිරිඳ, ස්වාමියා, සහෝදර, සහෝදරියන්, මවුපියන් ඇතුළු ප්‍රියයන් අකාලයේ මරණයට පත්වන්නේ නැත. එ නම්, ප්‍රිය විප්‍රයෝග දුකකට පත් වන්නෙක් නො වෙමි.

බුදුරජාණන් වහන්සේට හා මහා සංඝරත්නයට බෙහෙත් වර්ග පූජා කිරීමෙන් කර්මයට අනුරූප අනුසස් දහයක් ලබන්නෙක් වෙමි.

පාවහන් සහ පා ආවරණ පිදීමේ අනුසස්

උපනුපන් ආත්මභාවයන්හි දී හස්ති යාන, අශ්ව යාන, දෝලා සිවිකා ද රථ, ගමන් බිමන් යෑම සඳහා ඒ ඒ කාලයන්හි පැවැති විවිධ වාහන ලැබෙන්නේ ය. පයට පහසුව ගෙනදෙන අගනා පාවහන් ලබන්නෙමි. කිසියම් වූ ආත්මභවයක දී පයේ, හෝ පතුල්වල රෝගාබාධයන් ඇති නොවන්නේ ය. සෘද්ධි බල ඇති වන්නේ ය.

දිය පිස්නා වස්ත්‍ර පිදීමේ අනුසස්

රන්වන් පැහැ ශරීර ඇත්තේ වෙමි. රජස් නැත්තේ වෙමි. ශරීරයෙන් නික්මෙන රැස් ඇත්තේ වෙමි. ප්‍රතාප ඇත්තේ වෙමි. සිනිඳු සිරුරක් ඇත්තේ වෙමි. සිරුරෙහි කුණු නො ඇලෙයි.

දිය පිස්නා වස්ත්‍ර පිදීමෙන් කර්මයට අනුරූප වූ අනුසස් ලබන්නෙක් ද වෙමි.

 

බිනර පුර අටවක පෝය


බිනර පුර අටවක පෝය සැප්තැම්බර් 16 වන දා ඉරිදා අපර භාග 04.00 ට ලබයි. 17 වන දා සඳුදා අපර භාග 05.49 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 16 වන ඉරිදා ය.

 

මීළඟ පෝය සැප්තැම්බර් 24 වන දා සඳුදා


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 16

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 24

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 02

Full Moonඅමාවක

ඔක්තෝබර් 08


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]