UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පරිසරයේ ස්වභාවය ධර්මානුකූලව දකිමු

පරිසරයේ ස්වභාවය ධර්මානුකූලව දකිමු

දුර්ලභව ලබාගත් මේ උතුම් මනුෂ්‍ය ජීවිතයේ වටිනාම අවස්ථාව නම් අපට අති දුර්ලභව මුණ ගැසුණු ගෞතම බුද්ධ ශාසනයෙන් උතුම් ප්‍රයෝජනයක් ලැබීමයි.

වර්තමාන පරිසරයේ පවත්නා ස්වභාවය ධර්මානුකූල ඇසකින් දැක, ඔබත් ඒ ගැන මෙනෙහි කර, ධර්මය ආරක්ෂා කරගෙන ධර්මය පිළිපදිමින් බුදු දහමේ පෙන්වාදෙන නිවන් මඟ අරමුණු කරන ආකාරයට මෙම කරුණු සාකච්ඡාවට යොමු කරමු.

බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව සියල්ල ම විපරිනාමයට පත්වෙනවා. එනම්, වෙනස්වීමකට පත්වෙනවා. මේ ලෝකයේ කිසිවක් සදාකාලික වන්නේ නැහැ. දහමෙහි පෙන්වා දෙන්නේ අනිත්‍ය, දුක්ඛ, අනත්ත නම් වූ ත්‍රිලක්ෂණ දහමට යටත් කොටයි. එවැනි වෙනස්වන ලෝකයක් තුළ අප අභිමත පරිදි සියල්ල සිදු නොවන බවත් පැහැදිලියි. අප මේ ලිපි පෙළෙන් කතා කරන්න බලාපොරොත්තු වන්නේ, අවුරුදු දෙදහස් හයසියයකට පමණ පෙර, මේ ලෝකයේ පහළව මානව සංහතියට පමණක් නොව, දෙවියන්, බඹුන්, මනුෂ්‍යයන් සහිත සියලු ලෝ වැස්සන්ට ම මහා කරුණාවෙන් හිත සුව පිණිස ශ්‍රී සද්ධර්මය දේශනා කළ තථාගත බුදුරජාණන් වහන්සේගේ සැනසිල්ලේ මඟ වර්තමාන පරිසරයේදීත් හැකිතාක්දුරට නිවැරැදිව අනුගමනය කළ හැක්කේ කෙසේ ද යන්න විමසා බැලීමටයි. එහෙත් මෙම අදහස් දැඩි අදහස් ලෙස සමාජය නොපිළිගත යුතුයි.

බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපේ රටට ලැබුණු, දෙවනපෑතිස් රජතුමා රාජ්‍ය පාලනය කළ සමයට වඩා, අද කාලය වෙනස්වයි පවතින්නේ. ඉතිහාසය ගැන සඳහන් කළොත් අනුරාධපුර පොළොන්නරු, කුරුණෑගල, දඹදෙණි, කෝට්ටේ ආදී රාජධානි පිළිබඳව සිහිපත් කළොත්, එදා පැවතුණ යුගයට වඩා, වර්තමාන යුගය ආගමික, සාමාජික, ආර්ථික, සංස්කෘතික ආදී මේ හැම ආකාරයකින් ම වෙනස්වයි පවතින්නේ. එයට අප යොදාගෙන තිබෙන නාමය සංවර්ධනය, දියුණුව, තාක්ෂණයේ ඇති වූ වෙනස්කම්, නව ලෝකය ආදී වශයෙනුයි.

ඔබත් නුවණින් විමසා බලා අප අපගෙන් ම ප්‍රශ්න කොටගෙන වෙනස්වී යන ආගමික, සමාජික, දේශපාලනික, සංස්කෘතික පරිසරයක් තුළ තථාගත බුදුරජාණන් වහන්සේගේ අකාලික වූ එනම් හැම කාලයකට ම එකහා සමාන විපාක ලැබිය හැකි, ඵල ලැබිය හැකි මේ උතුම් ශ්‍රී සද්ධර්මය කෙසේ නම් අනුගමනය කරමු දැයි සාකච්ඡා කිරීමයි.

මේ අදහස් පෙළ කියවමින්, සිතා බලමින් අපත් රාග, ද්වේෂ, මෝහ එනම් ඇලීම ගැටීම සහ මුලාව සංසිඳුවාගෙන අපගේ ජීවිත සැනසිලිමත් කර ගන්නට උත්සාහ කරමු. අතීතය ගැන බුදු දහම සම්බන්ධව මෙන් ම රාජ්‍ය හා සමාජික, දේශපාලනික කරුණු පිළිබඳව අපේ රටේ තොරතුරු අනුව දැන ගන්නේ මහා වංශය මුල්කරගෙන ය. ඒ මහා වංශයේ සඳහන් තොරතුරු අනුව එදා මේ රටේ පැවතුණු ඒ සංස්කෘතිය මනාකොට තේරුම් ගත හැකියි. වර්තමාන පරිසරය වන විට තාක්ෂණික දියුණුව යන නව ලෝකය තුළ බොහෝ ම වෙනස්කම් ඇතිවී තිබෙනවා. ඒ වෙනස්කම්වලට මුහුණ දෙන ජනයාත් ඒ අනුවම සිතන්න, පතන්න බලාපොරොත්තු ඉටුකරගන්න උත්සාහ ගන්නවා. උත්සාහ ගනිමින් සිටිනවා.

අප මේ සඳහන් කරන්න බලාපොරොත්තු වන්නේ තථාගත බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ ශ්‍රී සද්ධර්මය එසේ කාලයෙන් කාලයට වෙනස් නොවන බවට සිහිපත් කරගත යුතු ආකාරය ගැනයි. කාලයේ වෙනස්වීම් අනුව යම් යම් ඇවතුම් පැවතුම්, සිරිත් විරිත් වෙනස් විය හැකි බව සැබෑවයි. විදුලිය, ජලය, දුරකතන පහසුකම් නොමැති කාලයක. යාන වාහන, ගුවන්විදුලි, රූපවාහිනි, ගුවන්යානා මේ තරම් දියුණුව නො පැවැති යුගයක. කෙටියෙන් සඳහන් කරන්නේ නම්, අන්තර්ජාලය හා අභ්‍යවකාශයේ සැරිසැරීම වැනි තියුණු ලෙස දියුණු තාක්ෂණික ක්‍රමයන් නොතිබුණු යුගයක,. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුගමය කරමින් මිනිස් සිත දැඩි ආශාවන්ගෙන්, තරහවෙන්, වෛරයෙන්, අතෘප්තිකර ආශාවන්ගෙන් සමනය කරගෙන සුවපත් වූ ජීවිත ගැන අප සිතනවා. කියවනවා. අප ඒ ගැන අදත් ගෞරවයෙන් කතා කරනවා.

එහෙත් මේ භෞතික දියුණුව හා සමඟින් අප එදා ඒ ලැබූ මානසික සුවය, ධර්මයෙන් ලැබූ පිහිට කෙළවර සඳහන් කරන්නේ නම්, අරහත්වයට පවා අද දවසේ බොහෝ කෙනෙකුට පවතින්නේ සිහිනයක් හැටියට පමණයි. ඒ අතීතයේ තිබූ දේ හැටියට සඳහන් කොට ඒ වගේ ම අනාගතයේ දවසක, මතුමත්තේ දවසක ලැබිය හැකි දේ බවට සිතමින් සිටිනවා දෝයි, වර්තමාන සමාජය දෙස බලනවිට අපට සිතන්නට සිදුවෙනවා. මෙන්න මේ නිසා දුර්ලභව ලබාගත් මේ උතුම් මනුෂ්‍ය ජීවිතයේ වටිනාම අවස්ථාව නම් අපට අති දුර්ලභව මුණ ගැසුණු ගෞතම බුද්ධ ශාසනයෙන් උතුම් ප්‍රයෝජනයක් ලැබීමයි.

තාක්ෂණික දියුණුවේ පවතින නා නා මාදිලියේ මෙවලම් පරිහරණය කළත්,. අප ඒවා පරිහරණය කරන්නේත්, කැඩී බිඳී යන ජාති, ජරා, ව්‍යාධි මරණයන්ට උරුම, මොනතරම් කපා, පොවා, නහවා ඉන්ද්‍රියයන් සතපවන්නට උත්සාහ කළත් ශරීරයේ පවත්නා රෝම කූපයක තරම් සැබෑ අයිතියක් නැති ශරීරයක් දරාගෙනයි. කෙටියෙන් පවසනවා නම් එවැනි ජීවිතයකුයි අප පවත්වන්නේ. සංතෘෂ්ටිය, සැනසිල්ල සොයාගෙන යන ජීවිතයක සියල්ලට ම මුල්වන්නේ සිතයි. මේ දියුණු මෙවලම් හෝ තාක්ෂණය නොමැති යුගයේ දියුණුව සිතේ සංස්තෘෂ්ටිය ලැබුණේ ඒ මනසේ ඇති කරගත්තා වූ අවබෝධය. නිසයි. එයට පිහිට වුණේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ මහා කරුණාව, මහා ප්‍රඥාව මුල් කරගත් මේ උතුම් වූ ශ්‍රී සද්ධර්මයයි.

ආගමික ඇසකින් නො බලන්නේ නම්, ලෝකයේ කවර නම් මනුෂ්‍යයෙකුට එක හා සමානව ගලපා සිතින් විමසා, පිළිවෙත් මාර්ගය තුළින් ම අත්දැකීම් ලබා සංතෘෂ්ටියක් ලැබිය හැකි දහමක් බව ඉතාම පැහැදිලියි. ඒ සැනසිල්ල ම අද දවසෙත් අප ලබන්නට බලාපොරොත්තුවෙන බවත් ඉතාම පැහැදිලියි. එයට හේතුව මේ කිසිදු තාක්ෂණික දියුණුවක් නැති දවස පහනක් දල්වාගෙන ධර්මය ශ්‍රවණය කරමින්, සාකච්ඡා කරමින් භාවනා කරමින් ලැබූ මානුෂික සංතෘෂ්ටිය ම දියුණු තාක්ෂණික මෙවලම් උපකාරී කොටගෙනත් බලාපොරොත්තු වෙනවා. ඒ බලාපොරොත්තුවේ, සැනසිල්ලේ කිසිදු වෙනසක් නැහැ. එකහා සමානයි. එනමුත් ගැටලුව පවතින්නේ වර්තමානය මේ පරිසරයේ වෙනස්කම් ඒ සැනසිල්ල සොයන මාර්ගයට අප විසින් බාධාවක් ඇතිකරගෙන තිබීම නිසා ය. මේ නිසා එදාට වඩා වේගයෙන් මිනිස් සිත් තුළ පවත්නා ලෝභ, ද්වේෂ, මෝහ ආදී අපමණ වූ කෙලෙස්, දුර්ලභව ලබාගත් මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම, උතුම් බව මිනිස් සිතින් හා චින්තනයෙන් ගලවා දමමින්, බැහැර කරමින් බෞද්ධ දර්ශනයේ මැනවින් උගන්වන මාර පාක්ෂික වැඩ පිළිවෙලක් හා සතර අපායට මඟ කියා දෙන කෙලෙස් මාවතක් වැඩි පිරිසකට සාදා දෙන බවයි.

මෙහි දී ඔබ අප තේරුම්ගත යුතු කරුණක් පවතී. එනම් මේ සඳහන් කරන දේ සමස්ථ සමාජය නොවන බවයි. මේ රටේත් වැඩි පිරිසක් තවමත් සද් පුරුෂවත්, ගුණවන්තවත් හැකිතාක්දුරට දැහැමි මඟක ජීවිත පවත්වන බවත් ඉතාම කරුණාවෙන් හා ගෞරවයෙන් සඳහන් කළ යුතුයි. එසේ නම් අප මේ ගැන මෙවැනි අදහස් ප්‍රකාශ කරන්නේ කුමක් නිසා ද? අප ඉහත සඳහන් කළ ගුණවත්, යහපත් වූ, දහම් මඟ අනුගමනය කරන පිරිස් තවමත් වැඩි පිරිසක් සිටියත් ක්‍රමයෙන් ඒ පිරිස අඩුවේගෙන යන නිසා ය. ජනගහනය වැඩිවීම නිසා වැරැදි සිදුවන බව, වැරැදි වැඩිවන බව යන අදහස පිළිගත යුතු නැහැ. බුදු දහම එවැනි අදහස් අනුමත කරන්නේත් නැහැ. ධර්ම ශක්තිය වැඩි දියුණු කරමින් වැඩි වන ජනගහනය හා සමඟින් ඒ මඟ අනුගමනය කරමින් දහමින් සැනසෙන පිරිස වැඩිකරගත යුතු බවයි, දහම තුළින් ප්‍රගුණ කළ යුතු වන්නේ.

බුදුරජාණන් වහන්සේගේ දවස පළමු රහත් හැට නම අමතා දේශනා කළේ කුමක් ද? “චරථ භික්ඛවේ චාරිකං බහු ජන හිතාය, බහු ජන සුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේවමනුස්සානං” යනුවෙනුයි.

ධර්ම චාරිකාවේ හැසිරෙන්න. දෙවි මිනිසුන්ට හිත සුව පිණිස අර්ථය පිණිස ලෝකානුකම්පාවෙන් ලෝකයාට අනුකම්පා පිණිස ම ධර්මයේ හැසිරෙන්න. ඒ අදහස් පෙළ සිතට ගත් විට ගිහි පැවිදි දෙපාර්ශ්වයට ම තමා තමා විසින් ධර්මය තුළ නැගී සිට ලෝභ, ද්වේෂ, මෝහා දී කෙලෙස්වලින් බැහැරව, තමනුත් දහමෙහි හැකිතාක්දුර ට හැසිරෙමින්, අන් අයත් ඒ මඟට යොමුකර ගැනීමයි. එයට හේතුව වර්තමාන පරිසරය තුළ අවුරුදු සියයක් පරමායුෂ යැයි සඳහන් කළත්, බොහෝ පිරිසකට ඒ පරමායුෂ භුක්ති විඳින්නට මෙලොව අවස්ථාවක් නැති බව හෝ සසරින් රැගෙන ආ පුණ්‍ය ශක්තියේ බලයක් නැති බව පැහැදිලියි.කෙසේ වෙතත් බුදු දහමට අනුව මව්කුසේ කලලය පිහිටි අවස්ථාවේ පටන් මෙලොවට බිහිවීමෙන් අනතුරුව ද ජීවිතයේ ඕනෑම අවස්ථාවක් අවසන් මොහොත විය හැකියි. එවැනි කෙටි වූ ජීවිතයක් තුළ වර්තමාන පරිසරයේ පවත්නා තාක්ෂණික දියුණුවත් සම්මත ලෝකය තුළ පැවැත්මට පහසුවක් කරගෙන, එහෙත් ඒවා අධ්‍යාත්මික දියුණුවට බාධාවක් නො කරගෙන, දහමින් සැනසිල්ලක්, සුවපත්භාවයක් ලැබීමට අප විසින් මාර්ගය සකස් කරගනු ලැබිය යුතුයි.

 

බිනර පුර අටවක පෝය


බිනර පුර අටවක පෝය සැප්තැම්බර් 16 වන දා ඉරිදා අපර භාග 04.00 ට ලබයි. 17 වන දා සඳුදා අපර භාග 05.49 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 16 වන ඉරිදා ය.

 

මීළඟ පෝය සැප්තැම්බර් 24 වන දා සඳුදා


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 16

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 24

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 02

Full Moonඅමාවක

ඔක්තෝබර් 08


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]