Print this Article


ජනපති ලුම්බිනිය වැඳ පුදා ගනී

ජනපති ලුම්බිනිය වැඳ පුදා ගනී

නේපාලයේ රාජ්‍ය සංචාරයේ නිරත වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බුදුන් වහන්සේ උපත ලද අසිරිමත් ලුම්බිනිය වැඳ පුදා ගැනීමට පසුගියදා(01) පෙරවරුවේ එක් විය. පෙරවරුවේ ලුම්බිනිය පුද බිම වෙත ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පළාත් ප්‍රධාන ඇමැති සහ සංස්කෘතික ඇමැතිවරයා විසින් මහත් හරසරින් යුතුව පිළිගනු ලැබී ය. අනතුරුව ජනාධිපතිතුමා ආගමික වතාවත්වලට එක් වූ අතර, ලුම්බිනිය වෙත පැමිණෙන කිසිදු රාජ්‍ය නායකයකුට පවා අවස්ථාවක් නොලැබෙන, සිදුහත් කුමරු උප්පත්තිය ලබා පළමු පියවර තැබූ ස්ථානය ස්පර්ශ කරමින් වන්දනාමාන කර ගැනීමේ දුර්ලභ අවස්ථාව ද ශ්‍රී ලංකා ජනාධිපතිතුමා වෙනුවෙන් සලසා දී තිබුණි. ලුම්බිනි - ශ්‍රී ලංකා මහා විහාරයේ භාරකාර ගලහපිටිය පේමරතන නා හිමියන් විසින් මෙහි දී ආගමික වතාවත් සිදුකොට ජනාධිපතිතුමා ඇතුළු පිරිස වෙත ආශිර්වාද පළ කළහ. අනතුරුව ජනාධිපතිතුමා ලුම්බිනි පුද බිමේ පිහිටි මායා දේවි විහාරය ද වැඳ පුදා ගත්තේ ය. එහි දී ජනාධිපතිතුමා වෙත විශේෂ සමරු තිළිණයක් ද පිළිගැන්විණි.

ඡායාරූප - සුදත් සිල්වා