Print this Article


ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ සිරි සුමන පාර්ශ්වයේ මහානායක පදවිය පිළිබඳ

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ සිරි සුමන පාර්ශ්වයේ මහානායක පදවිය පිළිබඳ

ශ්‍රී සන්නස් පත්‍රයෙන් පිදුම් ලබන කොළොන්නාවේ සිරි සුමංගල මහා නා හිමි

ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය 16 වනදා

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ සිරි සුමන (දඩළු) පාර්ශ්වයේ නව වැනි මහා නායක පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍රය සිරි පියදස්සි විමලරතන වංශාවතංස සිරි ධම්මක්ඛන්ධ සිරිසුමන මහා ධම්මරාජාධිරාජගුරු වංශපාල ගණාචරිය, කම්මට්ඨාන විශාරද, ධර්ම ත්‍රිපිටක විභූෂණ, සද්ධර්ම කීර්ති ශ්‍රී විද්‍යා විශාරද ධර්ම වෛශාරද්‍ය, ලොකත්ථචාරී, සද්ධර්ම වාගීශ්වර ප්‍රවචන කීර්ති ශ්‍රී සම්බුද්ධ ධම්ම විශාරද, ශ්‍රී සම්බුද්ධ ශාසනජෝති ආචාර්ය කොළොන්නාවේ ශ්‍රී සුමංගල මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට පිළිගැන්වීම මෙම 16 වනදා පෙරවරු 8.30ට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වේ.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන තෛ‍්‍රනිකායික මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා, කථානායක කරු ජයසූරිය මැතිතුමා ඇතුළු මැති ඇමැතිවරුන් හා දෙස් විදෙස් සැදැහැවතුන්ගේ සහභාගිත්වයෙන් එය සිදු කෙරේ.


භික්ෂු ජීවිතයේ ලද භාග්‍යයකි

”කායෙන සංවරො සාධූ
සාධු වාචාය සංවරො
මනසා සංවරො සාධූ
සාධු සබ්බත්ථ සංවරො
සබ්බත්ථ සංවුතො භික්ඛු
සබ්බදුක්ඛා පමුච්චති”

“කයින්, වචනයෙන්, සිතින් සංවර වීම යහපත් ය. සිත සියලු දෙයින් හික්මවා ගත් භික්ෂුනම සියලු දුකින්ම මිදෙයි.”

වර්ෂ 2018 සැප්තැම්බර් මස 16 වන ඉරු දින කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී, පන්නිපිටිය, ශ්‍රී දෙව්රම් වෙහෙරෙහි, දඩළු පරම්පරායත්ත අමරපුර සිරි සුමන මහා නිකායේ මහානායක පදවිප්‍රාප්ත ආචාර්ය කොළොන්නාවේ සිරි සුමංගල මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීම නිමිත්තෙන් සුභාශිංසන පණිවිඩයක් ලබා දීමට ලැබීම පී‍්‍රතියට කරුණකි.

සම්බාධ රහිත නිදහස් එළිමහනක් වැනි පැවිදි ජීවිතයට එළඹ, ස්වකීය පැවිදි ආචාර්ය, උපාධ්‍යායන් වහන්සේලා කෙරෙහි ගෞරවාදරයෙන් නිසි බණදම් උගත්, සුපේශල ශික්ෂාකාමී, ධර්මධර, විනයධර කොළොන්නාවේ සිරි සුමංගල මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, භාෂා ශාස්ත්‍ර හා ධර්ම ශාස්ත්‍රීය අධ්‍යාපනය මැනවින් ප්‍රගුණ කොට ආචාර්ය උපාධියෙන් ද පිදුම් ලැබූහ. උන්වහන්සේ කයින්, වචනයෙන්, සිතින්, සියලු දෙයින් සංවරව, භික්ෂු ගෞරවය මැනවින් ආරක්ෂා කොට ගත්හ. දෙව්රම් විහාරයේ හා ස්වකීය නිකායික භික්ෂූන් වහන්සේලාගේ හා දායක කාරකාදීන්ගේ අභිවර්ධනය උදෙසා අපමණ සේවාවක් ඉටු කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන්, දඩළු පරම්පරායත්ත අමරපුර සිරි සුමන මහා නිකායික කාරක සංඝ සභාවේ ප්‍රසාදය දිනාගෙන එහි උතුම් පදවිය වූ මහානායක පදවියෙන් පිදුම් ලබා, ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැනීමට ලැබීම භික්ෂු ජීවිතයේ ලත් භාග්‍යයකි.

නැණ නුවණින් හා ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුක්ත උන්වහන්සේට, තවදුරටත් ශාසනික, ජාතික, සාමාජික සේවාවෙහි නියුක්ත වීමට හැකිවන සේ ආයුරාරෝග්‍ය සම්පත්තිය නොමඳව ලැබේවායි ආශිංසනය කරම්හ.


සැමගේ පැසසුමට ලක්විය යුතු ය

ශීල වෘද්ධ, ගුණ වෘද්ධ, තපෝ වෘද්ධ යතිවරයන් වහන්සේලා නිසාම ශ්‍රී ලංකාවේ සඟ සසුන සෝභාමත් වූ බව ප්‍රකට කරුණකි. ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ සිරි සුමන පාර්ශ්වයේ අභිනව මහානායක ධූරයට පත් කොළොන්නාවේ ශ්‍රී සුමංගල ස්ථවිරයන් වහන්සේ තමන් සතු ගුණෝපේත ලක්ෂණයන් උපයෝගී කරගෙන බුද්ධ ශාසනය උදෙසා අමිල සේවයක් ඉටු කළ බව අප කවුරුත් දන්නා කරුණකි. කොළොන්නාව ප්‍රදේශයේ උපත ලැබ දහතුන්වන වියේ දී අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය මඩිහේ සිරි පඤ්ඤාසීහ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උපාධ්‍යායකත්වයෙන් සහ ශාස්ත්‍ර විශාරද මිරිස්සේ පියදස්සි මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආචාර්යත්වයෙන් පැවිදි බිමට පිවිසි උන්වහන්සේ මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයෙන් සහ හුණුපිටිය ගංගාරාමයේ ශ්‍රී ඤානේස්වර පිරිවෙණෙන් සංඝයා වහන්සේ කෙනෙකුට උචිත පිරිවෙන් අධ්‍යාපනය අවසන් කොට ඉන්දියාවේ වරනාසි විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය දක්වා අධ්‍යාපනය ලැබ භාවනාව පිළිබඳ විශේෂ උනන්දුවකින් කටයුතු කර සිත දියුණු කිරීමේ ක්‍රම පිළිබඳ විශිෂ්ට පුහුණුවක් ලැබූහ. මිරිස්ස උඩුපිල ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ විහාරාධිපති ධූරයට පත් උන්වහන්සේ එම ප්‍රදේශයේ ඇති කළ ආගමික ප්‍රබෝධය සදාචාරාත්මක සමාජයක් බිහි කිරීමෙහිලා මහත් පිටුබලයක් විය. එම ප්‍රදේශයේ නිදහස් සාම හඬ සංවිධානයේ ප්‍රධාන අනුශාසක ධූරයට පත්ව යුද සමයේ උතුරු නැගෙනහිර පෙදෙස්වල විපතට පත් අසරණ ජනතාවට සහ ආබාධිත රණවිරුවන්ට උපකාර කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කොට රටෙහි සාමය ඇති කිරීම උදෙසා සිදුකළ මෙහෙය බෙහෙවින් අගය කළයුතු ය.

1999 වසරේ දී පන්නිපිටිය ශ්‍රී දෙව්රම් වෙහෙර මහා විහාරය ආරම්භ කොට අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත් කිරීමට විශාල දායකත්වයක් සැපයූ උන්වහන්සේ වර්තමානයේ එම විහාරස්ථානය කේන්ද්‍රකොට ගෙන ආගමික සහ ජාතික වැඩසටහන් රාශියක් සිදු කිරීමට ලබාදෙන නායකත්වය සැමගේ පැසසුමට ලක්විය යුතු ය. ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ සිරි සුමන පාර්ශ්වයේ අභිනව මහානායක ධූරයට පත් කොළොන්නාවේ සිරි සුමංගල ස්ථවිරයන් වහන්සේට ශ්‍රී දළදා සමිඳුන්ගේ ආශිර්වාදයෙන් චිරාත් කාලයක් ශාසනික කටයුතු සහ සේවාවන් සිදුකරගෙන යෑමට ශක්තිය, ධෛර්යය, නිදුක් නිරෝගී සුවය සහ චිර ජීවනය ලැබේවා! යි ආශිංසනය කරම්හ.


ආදර්ශවත් මහ තෙරනමක්

බුදුපියාණන් වහන්සේ පස්වග මහණුන් වහන්සේලාගේ පටන් සාරිපුත්ත මොග්ගල්ලානාදී මහ සඟ පෙළපතක් ඇති කළහ. එදා උන්වහන්සේ ඇති කළ සඟ පෙළපත අද දක්වාම ලංකාව ඇතුළු බෞද්ධ රට රාජ්‍යවල සජීවීවම සේවාවන්හි යෙදෙති. අපේ රටේ ද එම සඟපරපුර දැනුදු මහඟු සේවාවක යෙදෙන බව ඉඳුරාම පැවසිය යුතුව ඇත. මේ අනුව, ලාංකික භික්ෂූන් වහන්සේලා අතර ආචාර්ය කොළොන්නාවේ ශ්‍රී සුමංගල මහානායක ස්ථවිරතුමන් ද ලක් සසුනට අමිල සේවාවක් ඉටු කළ, කරන ආදර්ශවත් මහ තෙරනමක් බව නොකියාම බැරි ය. උන්වහන්සේ පින් ඇති භික්ෂු නමකි. මිරිස්සේ පියදස්සී නාහිමියන්ගේ ශිෂ්‍යවරයාන කෙනෙකු වශයෙන් පැවිදිව කුඩා සමයේ දී පටන් ගමට පෙදෙසට ආගමික සහ සමාජ සේවාමය කටයුතුවල නිරත වුණි. මහරගම ධර්මායතනය සහ හුණුපිටිය ගංගාරාමයෙන් ද අධ්‍යාපනය දියුණු කරගත් සුමංගල පොඩි හාමුදුරුවෝ 1989 ජූලි මාසයේ දී උපසම්පදාවට පත් ව දඹදිව බරණැස දී ආචාර්ය උපාධිය ද ලබා ලංකාවට පැමිණ, පුළුල් ශාසනික සේවාවක් ආරම්භ කළහ. ධර්ම දේශනාවන් සහ භාවනා පන්තිවලට ජනතාව හුරු කරවමින් ලෙඩ රෝග සුවකර ගැනීමට අදාළ ආගමික චාරිත්‍රවිධින්වලටද හුරුකරවමින් මුන්වහන්සේ කළ සේවය බෙහෙවින්ම අගය කළ යුතුව තිබේ.

ගිලානෝපස්ථානයටද සහජ ආශාවක් ඇති ශ්‍රී සුමංගල මහානාහිමියෝ දැනුදු ඒ ගිලන්සේවාව අඛණ්ඩව පවත්වාගෙන යති. උන්වහන්සේගෙන් සිදු වූ, සිදුවෙන අමිල සේවාව අගය කිරීමට දඩළු පාර්ශ්වයෙහි මහානායක පදවියෙන්ද පුදනු ලැබූහ. එම පාර්ශ්වයේ මහානායක පදවිය දැරූ අතිපූජනීය මාතර විමලරතන මහානායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ අපවත්වීමෙන් පසු, ඉකුත් ජූලි මාසයේ හත්වන දින, සිරිසුමන දඩළු පාර්ශ්වීය ගරුතර කාරක සංඝ සභාව විසින් නිකායේ මහානායක පදවිය පිරි නැමීමෙන් ද උන්වහන්සේට ඉහළම ගෞරවය දක්වා ඇත. දේශීය, විදේශීය රට රාජ්‍යවල ද ධර්ම දේශකත්වය නිසා නමක් දරාගෙන ඇති ආචාර්ය කොළොන්නාවේ ශ්‍රී සුමංගල මහානායක ස්ථවිරතුමන්ට තව බොහෝ කාලයක් ජාතික, ආගමික සහ සමාජ සේවාමය කටයුතු කිරීමට ශක්තියත්, බලයත්, නිරෝගිතාවයත් වඩ වඩාත් ලැබේවා’යි ප්‍රාර්ථනා කරම් හ.


සුවිශේෂී මෙහෙවරක් සිදු කර ඇති යතිවරයාණ කෙනෙකි

අමරපුර මහා නිකායේ දඩළු පරම්පරායත්ත සිරි සුමන පාර්ශ්වයේ අභිනව මහානායක පදවියෙන් පිදුම් ලද ආචාර්ය පූජ්‍යපාද කොළොන්නාවේ සිරි සුමංගල මහා ස්ථවිර පාදයන් වහන්සේ වත්මන් තෛ‍්‍රනිකායික භික්ෂූන් වහන්සේලා අතර ආගමික ජාතික ශාසනික වශයෙන් සුවිශේෂී මෙහෙවරක් සිදුකර ඇති යතිවරයාණ කෙනෙකි.

අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක මාහිමියන් ආදී සම්මානනීය ගුරු හිමිවරුන් යටතේ භික්ෂු ජීවිතයට අවශ්‍ය අධ්‍යාපනය හා ශික්ෂණය ලබා කඳුබොඩ, ගල්දූව, නිමලව ආදි භාවනා මධ්‍යස්ථානවලින් භාවනා පිළිබඳව ද විශේෂ පුහුණුවක් ලබා තම භික්ෂු ජීවිතය වඩාත් සෝභාවත් කරගත් සුමංගල ස්ථවිර පාදයෝ ඉතාමත් ශ්‍රද්ධාවන්ත භික්ෂූන් වහන්සේ කෙනෙකි. තම ආරාමයේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ගඳකිළියක් කර අනඳ තෙරුන් වහන්සේ සේ දිනපතා බුද්ධෝපස්ථාන කිරීමෙන් එය පසක් වේ.

වත්මන් භික්ෂූන් වහන්සේගෙන් රටට දැයට හා සමයට සිදුවිය යුතු කාර්ය භාරය මැනවින් වටහාගෙන කටයුතු කරන කොළොන්නාවේ සිරි සුමංගල මහා ස්ථවිර පාදයන් වහන්සේ සිය වසරකින් වත් සිදුකළ නොහැකි තරම් සේවාවක් දශක සතරකට ආසන්න තම පැවිදි දිවිය තුළ සිදු කරන්නට සමතකු වූ බව ගිහි පැවිදි කවුරුත් අවිවාදයෙන් පිළිගනිති.

පන්නිපිටිය ශ්‍රී දෙව්රම් මහා විහාරයට යන කාටත් කොළොන්නාවේ සිරි සුමංගල මහා ස්ථවිර පාදයන් වහන්සේගේ විශේෂ කුශලතාවන් පසක් වේ. ත්‍රිපිටකය ශිලා ලේඛනගත කිරීම එහි ඇති සුවිශේෂ කාර්යයකි. ශාසනික වශයෙන් ද අගනා මෙහෙවරක් සිදු කර ඇති සුමංගල ස්ථවිර පාදයෝ තරුණ වියේ දී ම අමරපුර නිකායේ දඩළු පරම්පරායත්ත සිරි සුමන පාර්ශ්වයේ අනුනායක පදවියට පත්ව අද එම නිකායේ මහානායක පදවියෙන් පිදුම් ලැබීමට තරම් භාග්‍යවත්ව සිටිති. අභිනව පදවියේ සම්භාවනීය කාර්ය භාරය ඉටු කිරීම සඳහා ශක්තිය ධෛර්යය අභිනව මහානායක මහා ස්ථවිර පාදයන් වහන්සේට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් ලැබේවායි ප්‍රාර්ථනා කරම්හ.


ගෞරවය ප්‍රසාදය පළ කරමි

ස්වකීය පැවිදි දිවියෙන් අපේක්ෂිත අනල්ප වූ ආගමික සමාජයීය හා ජාතික කාර්යයන් රැසක් එදා මෙදා තුර ඉෂ්ට සිද්ධ කළා වූ පන්නිපිටියේ ශ්‍රී දෙව්රම් මහා විහාර නිර්මාතෘ ආචාර්ය කොළොන්නාවේ සුමංගල ස්වාමීන් වහන්සේගේ මහා නායක පදවි ප්‍රාප්තිය පිළිබඳ මාගේ ගෞරවය ප්‍රසාදය පළ කරමි.

භාවනාව විෂයයෙහි මහත් උනන්දුවකින් කටයුතු කළ සුමංගල ස්වාමීන් වහන්සේ මෙරට ආරණ්‍ය සේනාසන, භාවනා මධ්‍යස්ථාන හා යෝගාශ්‍රම ඇසුරෙන් ද භාරතීය අධ්‍යාත්මික ආයතනයන්ගෙන් ද මහත් ප්‍රාගුණ්‍යයක් ලදහ. එමඟින් උන්වහන්සේට සැදැහැවතුන් වෙනුවෙන් මහත් ශාන්තියක් අත් කළ දිය හැකි විය.

ජාතික, සමාජයීය වශයෙන් ද උන්වහන්සේ බොහෝ පරෝපකාර වැඩසටහන් සහ සේවාවන් ආරම්භ කොට දැනුදු එබඳු විවිධ ජන ආධාර සේවා අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් සිටිති.

ධර්ම චාරිකා සේවා, තරුණ ප්‍රතිසංවර්ධන, ශීල සමාදාන හා ආශිර්වාද පූජා වැඩසටහන් පැවැත්වීම ආදී සුචරිතවත් සමාජයක් උදෙසා වන අංග සම්පූර්ණ ආගමික ජාතික හා ශාසනික සේවාවක් කොළොන්නාවේ ශ්‍රී සුමංගල ස්වාමීන් වහන්සේ විසින් මේ වන විට සපුරනු ලැබ ඇත.

රටවල් 35 ක පමණ ධර්ම ප්‍රචාරක කටයුතුවල නිරත වෙමින් ද, ත්‍රිපිටක ධර්මය ශිලා ලේඛනගත කොට අනාගතය උදෙසා සුරකමින් ද මහත් භාරදූර කාර්යයන් රැසක දැනට ද නියැළෙමින් සිටින කොළොන්නාවේ සුමංගල ස්වාමීන් වහන්සේට දඩළු පරම් පරායත්ත සිරිසුමන මහා නිකායේ කාරක සංඝ සභාව විසින් පිරිනමන ලද මහා නායක ධුරය වෙනුවෙන් හා ඒ පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍රය ප්‍රදානය කිරීමේ මහෝත්සවය වෙනුවෙන් මාගේ ගෞරව පූර්වක ශුභාශිංසනය ප්‍රකාශ කරනු කැමැත්තෙමි.


හෘදයාංගම සුභාශිංසන පිරිනමමි

ලාංකේය සමාජය සහ බුදුදහම අතර පවතින්නේ අතීතයේ සිට පැවත එන යාවජීව සමීප සම්බන්ධතාවකි. අප සමාජයේ අභිවෘද්ධිය පිණිස බුදු දහමෙන් ලද ආලෝකය මෙන් ම මහා සංඝරත්නය වෙතින් ලද නායකත්වය සහ අනුශාසකත්වය ද මහා පන්නරයක් ම විය.

අදත් බුදු සසුනටත්, මහා සංඝ රත්නයටත්, ජනතාවටත් මඟ පෙන්වනු පිණිස සංඝ මූලස්ථාන මඟින් සුවිශේෂ සංඝ පීතෘන් වහන්සේලා වෙත නායකත්ව වගකීම් පවරනු ලැබේ.

එකී පෙර සඟ සිරිත අනුව යමින් පන්නිපිටිය ශ්‍රී දෙව්රම් මහා විහාර නිර්මාතෘ ආචාර්ය කොළොන්නාවේ සිරි සුමංගල නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ වෙත, දඩළු පරම්පරායත්ත අමරපුර සිරි සුමන පාර්ශ්වයේ නවවැනි මහා නායක පදවිය පිරිනැමීම සම්බන්ධව මාගේ හෘදයාංගම සුභාශිංසන පිරිනමමි. උන්වහන්සේ තිස්පස් වසරක් ඉක්මවූ ස්වකීය පැවිදි දිවියේ සුවිශේෂ ශාසනික, සමාජ මෙහෙවරක් ඉටුකළ මහා තෙරනමකි.

පන්නිපිටිය ශ්‍රී දෙව්රම් මහා විහාරය කේන්ද්‍රකර ගනිමින් දෙස් විදෙස් පතළ ආගමික, සමාජ සේවාවන් රැසක් ඉටුකිරීමට උන්වහන්සේ සමත් වූහ.

බුදු සසුනත්, සමස්ත දේශයත් වෙනුවෙන් ස්වකීය මෙහෙවර අඛණ්ඩව ඉටු කිරීමට අති පූජනීය කොළොන්නාවේ සිරි සුමංගල මහා නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ වෙත ශක්තිය, ධෛර්යය ප්‍රාර්ථනා කරමින්, ඒ සඳහා නිදුක් නිරෝගී සුවයත්, චිර ජීවනයත් මෙත් සිතින් ප්‍රාර්ථනය කරමි.


ප්‍රශංසා කටයුතු වේ

වර්ෂ 1969 දී සරත් විජේසිංහ නමින් ජන්ම ලාබය ලැබ ශාස්ත්‍ර විශාරද පණ්ඩිත මිරිස්සේ පියදස්සී නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් හා අතිපූජ්‍ය මඩිහේ සිරි පඤ්ඤාසීහ මහා නාහිමියන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් කොළොන්නාවේ සිරි සුමංගල නමින් වයස අවුරුදු 13 දී උතුම් පැවිදි දිවියට ඇතුළු වූ අප නාහිමියන් 1989 දී එම මහා නාහිමියන් වහන්සේලාගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් උපසම්පදාව ලැබී ය.

ප්‍රාචීන, මධ්‍යම, ත්‍රිපිටක ධර්ම පරීක්ෂක, විනයාචාර්ය, සද්ධර්මාචාර්ය හා ශාස්ත්‍රවේදී උපාධිය දක්වා පැවිදි අධ්‍යාපනය හැදෑරු උන්වහන්සේ ඉක්බිති 2010 වර්ෂයේ දී ඉන්දියාවේ වාරානසී විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ද 2012 දී එම විශ්වවිද්‍යාලයෙන් ම ආචාර්ය උපාධිය ද ලබා ගත්හ. මෙරට මෙන්ම ඉන්දියාවේ යෝගි ආශ්‍රම ආශි‍්‍රතව භාවනා පුහුණු කිරීමෙන් ලද අධිමානසික චිත්ත ශක්තිය තුළින් සැදැහැවතුන් සුවපත් කිරීමෙහි ද උන්වහන්සේ ගත් පියවර ප්‍රශංසා කටයුතු වේ. භීෂණ සමයේ නොමග ගිය තරුණ පිරිස් සඳහා මානසික සංවර්ධනය සඳහා මෙන් ම යුද්ධයෙන් විපතට පත් අසරණ ජනතාව හා ආබාධිත රණවිරුවන් වෙනුවෙන් වැඩසටහන් දියත් කිරීම, සදහම් හඬ නමින් ධර්ම චාරිකා සේවාවක් ක්‍රියාත්මක කිරීම, බුදුමග සංවිධානය ආරම්භ කොට දැවැන්ත ලෙස ශාසනික වැඩසටහන් සිදු කිරීම, 1999 වසරේ දී පන්නිපිටිය ශ්‍රී දෙව්රම් වෙහෙර ඉදිකිරීම ආරම්භ කොට වසරක් තුළ අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත් කිරීම හා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් වැඩසටහන් සිදුකිරීම ආදිය අප නාහිමියන් විසින් සිදුකරන ලද ආගමික, සාමාජික හා ජාතික මෙහෙවර අතර වේ. අභිනව නායක පදවියෙන් සුවිසල් මෙහෙවරක් ඉටු කරනු සඳහා උන්වහන්සේට සුබ පැතුම් සමග වන අපගේ ආශීර්වාද ගෞරවයෙන් පුද කරමි.