Print this Article


පිරිත් දේශනාව 24:  මහා සමය සූත්‍රය

මහා සමය සූත්‍රය

බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයේ ශාක්‍ය වැසියන් හා කෝලිය වැසියන් දෙරට මැදින් ගලාබසිනා රෝහිණී නදිය හරහා බැම්මක් බැඳ වී වැපිරීම් ආදියට ජලය ලබා ගනිති. එක් වර්ෂයක පොසොන් මාසයේ දී ජලය හිඟවීමෙන් ගොයම මැලවී යන කල්හි නගර දෙකේ ම ගොවියෝ රැස් වූහ.

ශාක්‍ය වැසියන් කෝලිය වැසියන්ටත්, කෝලිය වැසියන් ශාක්‍ය වැසියන්ටත් තමන්ගේ ගොයම එක් දියවරයකින් පමණක් නිපදවා ගත හැකි බැවින් අපට දය දෙන්නැයි ආයාචනා කළහ. නමුත් දෙරට වාසීන් ම තමන්ට අන් අයගෙන් යැපීමට නොහැකි යැයි පවසමින් ආයාචනා ප්‍රතික්ෂේප කළහ. ඒ හේතුකොටගෙන දෙ පිරිස අතර ගැටුමක් හට ගත්තේ ය. ජාති, ගෝත්‍ර ආදිය ප්‍රකාශ කරමින් එකිනෙකාට අවමන් කර ගත්හ. අනතුරුව මේ ආරවුල ගම් ප්‍රධානීන්ට ද, නගර ප්‍රධානීන්ට ද, අමාත්‍යවරුන්ට ද පැතිර ගොස් අවසානයේ රජුන් අතරටත් ගිය බැවින් දෙරට අතර යුද්ධයක් බවට පත් විය.

බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියට සමවැද ලෝකය දෙස බලන විට තමන්ගේ මව් පස හා පිය පස ඥාතීන් ගැටුමකට මැදිවී ඇති බව දුටහ. එම අවස්ථාවේ දී තමන් එහි වැඩම කළොත් ගැටුම සන්සිඳෙන්නේ දැයි විමසා බලා සන්සිඳෙන බව දැන එහි වැඩම කොට අහසෙහි පළක් බැඳ වැඩ හුන්හ. බුදුරදුන් එහි වැඩම කර සිටිනවා දැක දෙරට වාසීන් ම ආයුධ ඉවත දමා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළහ . භාග්‍යවතුන් වහන්සේ කාරණය දැනගෙන ම මහ රජ කවර හෙයින් මෙහි රැස්වූයේ දැයි ප්‍රශ්න කළහ. තමන් මෙහි රැස්වූයේ යුධ වැදීමට බව රජවරු ප්‍රකාශ කළහ.කුමක් නිසා යුධ වදින්නේදැයි බුදුරජාණන් වහන්සේ විමසූ සේක. ජලය නිසා යැයි පිළිතුරු දුන්හ. ජලය කොපමණ අගනේ දැ යි ප්‍රශ්න කළහ. ස්වල්පයක් අගනා බව පිළිතුරු දුන්හ. පෘථිවිය කොපමණ අගනේදැයි ප්‍රශ්න කළහ.බොහෝ අගනේයැ යි පිළිතුරු දුන්හ. ක්ෂත්‍රියෝ කොපමණ අගනේ දැයි විමසූහ. බොහෝ අගනේ යැ යි පිළිතුරු දුන්හ. සුළු වටිනාකමක් ඇති ජලය නිසා බොහෝ වටිනාකමක් ඇති ක්ෂත්‍රියන් නසන්නේ දැයි විමසූහ. කලහයෙහි ආශ්වාදයක් නැති බවත්, කලහ කිරීම සුදුසු නැති බවත් ඵන්දන ජාතකය දේශනා කරමින් පැහැදිලි කළහ.

අතීතයේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජතුමා රාජ්‍ය කළේ ය. එකල වලසෙක් කොලොන් ගසක් යට නිදා සිටිය දී දිරා ගිය අත්තක් කඩා වැටී ඌට තුවාල විය. මෙය ගසේ වසන දෙවියෙකුගේ වැඩක් යැයි කල්පනා කළ වලසා වෛර බැඳ ගත්තේ ය. කරත්ත හදන වඩුවන් පිරිසක් හමු වූ වලසා කොලොන් ලී කරත්ත හැදීමට වඩාත් සුදුසු යැයි පවසා කොලොන් ගස කපන්නට වඩුවන් පොළඹවා ගත්තේ ය.ගස කැපීමට සූදානම් වන විට රුක් දෙවියා තමා සමඟ වලසා නිකරුණේ වෛර බැඳගෙන මේ ක්‍රියාව කරවන බව හඳුනා ගෙන වඩුවන්ට කරත්ත සෑදීමට වලස් හම ඉතා ප්‍රයෝජනවත් වන නිසා වලසා මරා සම ගන්නයැයි අවවාද දුන්නේ ය. වඩුවෝ වලහා ද මරා ගසද කපා ගමට ගෙන ගියහ. මේ සියල්ල ඒ වනයට අධිපති දේවතාවා විසින් මැනවින් දකින ලද්දේ ය.

වෛර බැඳීම නිශ්ඵල නිරර්ථක ක්‍රියාවක් බවත් එනිසා අනුන් ගැන විශ්වාස තබා යුධ වැදීම කිසිසේත් සුදුසු නැතැයි පෙන්වා දුන්හ.

අනතුරුව බුදුරදුන් දුබලයා මහා බලවතාගේ සිදුරු දකී. මහා බලවතා දුබලයාගේ සිදුරු දකී.යැයි පෙන්වා දීමට, පෙර කැටකිරිල්ලක විසින් ඇතෙකු නැසී යැයි ලටුකික ජාතක කථාව ද දේශනා කළහ.

බඹදත් රජ දවස බෝසතුන් ඇත් ජාතියෙහි උපන්නහ. කැට කිරිල්ලක් ඇතුන් යන පාරෙහි පැටවුන් දමා රකින්නා ය. ඇතුන් පාරේ යන විට කිරිල්ලිය ඉදිරියට පැමිණ සිය පැටවුන් නොපාගා යන ලෙස ආයාචනා කළා ය. බෝසතුන් පසුව පැමිණෙන නපුරු ඇතුගෙන් බේරා ගනුයි කියා ගියේ ය. අවසානයේ නපුරු ඇතා පැමිණියේ ය. කිරිල්ලි පෙර සේ ම ආයාචනා කළා ය. තොප වැනි දුබලයන්ට මොනවා කළත් මට කුමක් කරන්නේ දැයි කී තනි ඇතා වම් පයින් පාගා පැටවුන් මරා මුත්‍රා කොට පා කර හැරියේ ය. දුකට පත් කැටකිරිල්ල තාගේ බලයත් , මාගේ නුවණත් බලව. මාගේ නුවණින් තාගේ බලය නසමි’යි කියා ගොස් කවුඩෙකු සමඟ මිතුරුව ඇතුගේ දෑසට කොටන ලෙස කීවා ය. අනතුරුව නිල මැස්සෙකුට මිතුරුව කවුඩාගේ කාර්යයෙන් පසු ඉහඳ තබන ලෙස කීවා ය. අනතුරුව මැඩියෙකුට යහළු වී ඇතා වේදනා බරිතව පිපාසයෙන් ඇවිදින විට ප්‍රපාතයක සිට දිය ඇති බව අඟවා නාද කොට ප්‍රපාතයෙන් පෙරලන ලෙස ඉල්ලා සිටියා ය. අවසර ලත් පරිදි යහළුවන් ඒ සියල්ල ඉටු කළ නිසා කන්දෙන් පහළට ඇද වැටුණු ඇතා මිය ගියේ ය. සන්තෝෂයට පත් කිරිල්ල ඇතු පිට නැග මාගේ මන දොළ සපිරුනේ යැයි කෑ ගැසුවා ය. එසේ හෙයින් මහතුන් කෙරෙහිත් , නීචයන් කෙරෙහිත් ද්වේශ නොකළ යුතු යැයි වදාළ බුදුරදුන් එකල තනි ඇතා නම් දෙව්දත් තෙර යැයි ද, ඇත් නායක නම් තමන් වහන්සේ යැයි ද වදාළ සේක.

සෑම වෙලාවක ම බලවතා ජය නොගන්නා අතර ඇතැම් අවස්ථාවල දුබලයින් ද ජයග්‍රහණය ලබයි. බලවතා ජය ගත්තත් දුබලයා ජය ගත්තත් එහි ආශ්වාදයක් දෙපිරිසෙන් කිසිවෙකුට අත් විඳිය නොහැකි බව පැහැදිලි කළහ.