Print this Article


හැට වස් සපුරන බෝපාගොඩ ශ්‍රී පරමානන්ද පිරිවෙන

හැට වස් සපුරන බෝපාගොඩ ශ්‍රී පරමානන්ද පිරිවෙන

දකුණු පළාතේ මාතර දිසාවේ අකුරැස්ස ප්‍රදේශයෙහි දිවිතුර බෝපාගොඩ ශී‍්‍ර පරමානන්ද පිරිවෙන ද නොයෙක් පරිණාමයන්ට ලක්වෙමින් ඒ ඒ යුගවලට අවැසි දීප්තිමත් පුරවැසියන් රටට දායාද කළ විද්‍යස්ථානයකි.

මිල්ලව පියතිස්ස හිමි කඩිහිංගල ජිනානන්ද හිමි

දිවිතුර,බෝපාගොඩ,අකුරැස්ස ඇතුළු තදානුබද්ධ ප්‍රදේශවල ගැමි දරුවන්ගේ සමාජ, ආර්ථික,ආගමික, සංස්කෘතික, දේශපාලනික විඥානයේ කේන්ද්‍රීය ආයතනය වූ ශ්‍රී පරමානන්ද පිරිවෙන අදටත් ස්වකීය කාර්ය යුතුකමක් සේ සලකා නොපිරිහෙලා ඉටුකරනු ලබයි. වර්තමාන බෝපාගොඩ සහ අවට ගම්වල අධ්‍යාත්මික සහ භෞතික ප්‍රබෝධයේ ස්ථාවරත්වයට මෙම විහාරස්ථානයේ අධිපතීත්වය දරමින් වැඩ සිටි සිරි සිද්ධාර්ථ ආදි කර්තෘවරයාණන් වහන්සේගේ සිට වත්මන් විහාරාධීෂ්වර සියඹලාගොඩ රේවත හිමියන් දක්වා වූ ගිහි පැවිදි ගුරුභවතුන්ට දීර්ඝායුෂ පිණිස නිවන පිණිස පින් අනුමෝදන් කළ යුතු ය. මෙම විහාරස්ථානය සංවර්ධනයෙහිලා ලේනව රතනපාල හිමි, දෙහිගස්පේ සීලානන්ද හිමි, කටුවන පඤ්ඤාසාර හිමි, උයන්ගොඩ පියරතන හිමි ඇතුළු ආදි යතිවරයාණන් වහන්සේලාගේ අප්‍රතිහත ධෛර්යය කැපවීම විහාරස්ථානයේ පමණක් නොව ගම සම වයස් දරුවන්ගේ ද අධ්‍යාත්මික ගුණයටත්, භෞතික සංවර්ධනයටත් එක සේ සරණ වූ බව ගමෙන් රටට – දැයට දායාද වූ ගිහි පැවිදි කීර්තිමත් පුරවැසියන් දෙස බැලීමෙන් පැහැදිලි වෙයි. සුපේෂල ශික්ෂාකාමී යතිවරයාණන් වහන්සේලාගේ සහ ගිහි ගුරු භවතුන්ගේ ගුරුහරුකම් මැද උගත් ගිහි පැවිදි බොහෝ පිරිසක් වර්තමාන ලංකාවේ කීර්තිමත් භික්ෂූන් වහන්සේලා ලෙස, කටයුතු කරන අතර ගිහි විද්වතුන් ද දෙස් විදෙස් සේවාවන්හි ප්‍රබල තනතුරු දරමින් අප රටේ අධ්‍යාත්මික සහ භෞතික සංවර්ධනයට දායකත්වය ලබාදෙමින් කටයුතු කිරීමෙන් පරමානන්ද පිරිවෙනට මහත් ගෞරවයක් ගෙන දෙයි. එවන් ගිහි පැවිදි පිරිසක් මෙරටට දායාද කළ ශී‍්‍ර පරමානන්ද පිරිවෙනේ සඟපරපුර පිළිබඳ 60 වන සංවත්සරයේ දී විශේෂයෙන් සිහිපත් කළ යුතුම ය.

සංඝරාජ හිමියන්ගේ ආගමික ප්‍රබෝධයෙන් අවධි වු මහා සංඝරත්නය අතර උන්වහන්සේගේ අනුගාමික කොටගල සිද්ධාර්ථ නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ, මෙම විහාරස්ථානයේ ආදිකර්තෘවරයාණන් ය. උන්වහන්සේගේ ඇවෑමෙන් රතනපාල ස්වාමින් වහන්සේගේ ද උන්වහන්සේගේ ඇවෑමෙන් දෙහිගස්පේ සීලානන්ද නා හිමියන්ගේද පසුව ලේනව ධම්මපාල හිමි, කටුවන පඤ්ඤාසාර හිමි, උයන්ගොඩ සීලරතන හිමි ඇතුළු විහාරාධිපති ස්වාමින් වහන්සේලා කලින් කල මෙම පිරිවෙන් විහාරස්ථානයේ අභිවෘද්ධියට හා සතරපේරු දායක කාරකාදීන්ගේ උභය ලෝකාර්ථය පිණිසම වැඩ විසූ යතිවරයාණන් වහන්සේලා ය. එමෙන්ම කඩිහිංගල ජිනානන්ද හිමි, කැකුණේවෙල චන්දරතන හිමි මෙම සංවත්සරයේදී සිහිපත් කළ යුතුම ස්වාමීන් වහන්සේලා දෙනමකි. කඩිහිංගල ජිනානන්ද හිමියෝ භාෂා ශාස්ත්‍ර විෂයයෙහි විශාරද යතිවරයාණන් වහන්සේ නමකි. සිංහල, පාලි, ඉංගී‍්‍රසි සහ සංස්කෘත භාෂා පිළිබඳ උන්වහන්සේට පැවැති විශාරද දැනුම පිරිවෙනේ දියුණුවට මෙන්ම පරිපාලනමය කටයුතු සහ ශිෂ්‍යයන්ගේ විෂයයීක දැනුම් වර්ධනයට මහත් පිටිවහලක් විය. “පාලි තරංගනිය” සහ “ධම්මපද අර්ථ විග්‍රහය” කෘති දෙකම කඩිහිංගල හිමියන් ලියන ලද කෘති දෙකකි. ශී‍්‍ර පරමානන්ද පිරිවෙන කඩඉම් කාලපරිච්ඡේදයකට නායකත්වය දුන් කඩිහිංගල හිමියෝ අධ්‍යාපන විද්‍යස්ථානය ආරම්භ කරන ලදී. ඒ 1958 ජූලි මාසයේ පළමු දිනය. ශිෂ්‍යයන් 16 දෙනෙකුගෙන් ආරම්භ කරන ලද පිරිවෙන 1962 වර්ෂයේදී මහා පිරිවෙනක් බවට පත් කර උසස් පෙළ පන්ති ද ආරම්භ කරන ලදී.

අංග සම්පූර්ණ විද්‍යස්ථානයක් වූ පරමානන්ද පිරිවෙන තුළ දුක්ගැහැට විඳිමින් සිටි පවුල්වල දරුවන් අධ්‍යාපනය ලබා ලෝකය දකින්නටත් ලෝකාර්ථය පිණිස රටට, ජාතියට විහාරස්ථානයට මහත් මෙහෙවරක් ඉටු කරන ක්ෂේත්‍රවල ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ආයතන ප්‍රධානීන් , අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රධානීන්, දේශපාලන ක්ෂේත්‍රයේ ක්‍රියාකාරිකයන් හෙවත් ජනමත නායකයන් වැනි විශාල පිරිසක් බවට පත්විය.

වර්තමානයෙහි පිරිවෙන සහ විහාරාධීෂ්වර ධූරය හොබවනු ලබන්නේ මාතර හම්බන්තොට දෙපළාතේ ප්‍රධාන සංඝනායක ශී‍්‍ර රෝහණ සංඝ සභාවේ විධායක කාරක සභික සියඹලාගොඩ රේවත නාහිමියන් ය. ආචාර්ය ප්‍රාචාර්යන් වහන්සේලාගේ ගමන් මග එලෙසින්ම අනුගමනය කළ රේවත නායක ස්වාමීන් වහන්සේ අනුර විද්‍යාලය නමින් විදුහලක් ආරම්භ කොට ප්‍රදේශයේ දූ දරුවන්ගේ නැණ පහන් දැල්වීමට ගත් ක්‍රියාමාර්ගය ගම්වැසියන් අදටත් කෘතවේදිව සිහිපත් කරති.