Print this Article


අටුවා රසකතා- 13 : කාල බුද්ධරක්ඛිත තෙරුන්ගේ පැන විසඳුම

කාල බුද්ධරක්ඛිත තෙරුන්ගේ පැන විසඳුම

‘අටුවා රසකතා’ යනුවෙන් සතිපතා පළවෙන ලිපි පෙළෙහි දහතුන්වැන්න මෙයයි. අද ලිපියෙන් ඉදිරිපත් කරන්නේ ද මජ්ක්‍ධිම නිකාය අටුවාව වන පපඤ්චසූදනියෙහි සඳහන් කාල බුද්ධරක්ඛිත තෙරුන්ගේ කතා ප්‍රවෘත්තියකි.

බුද්ධඝෝෂ හිමියන් මෙම කතාව යොදා ගන්නේ සච්චක සූත්‍රයට අර්ථවිවරණ සපයන අවස්ථාවෙහි ය. එනම් උපතින් නිඝණ්ඨ භක්තිමතෙකු වූ සච්චක බුදුරජාණන් වහන්සේ සමඟ වාදයකට පැමිණෙයි. එහි දී බුදුරජාණන් වහන්සේ ඔහුගේ වැරැදි මතයන් ඉවත දැමීම සඳහා සූත්‍ර දෙකක් ම දේශනා කරති. බුද්ධඝෝස හිමියන් සඳහන් කරන ආකාරයට එය බණවර දෙකහමාරකි. එහෙත් සච්චක සරණ සීලයෙහි පිහිටීමක් හෝ අධිගමයකට පැමිණීමක් නොවී ය. බුදුරජාණන් වහන්සේ මෙ තරම් ඔහුට ධර්මය දේශනා කළේ අනාගතයෙහි ඔහු ලක්දිව ඉපදී ත්‍රිපිටකය ඉගෙන විදසුන් වඩා රහත්වන බව දැනගත් නිසා යැයි බුද්ධඝෝෂ හිමියන් සඳහන් කරයි.

ඒ අනුව ඒ අත් බවින් චුත වූ සච්චක දෙව්ලොව ඉපිද, පසුව එයින් චුතව රුහුණු දනව්වෙහි දකුණුගිරි වෙහෙර අසල එක් ඇමැති කුලයක උපන් සච්චක එම වෙහෙරෙහි ම කාලබුද්ධ රක්ඛිත නමින් පැවිදි වී ත්‍රිපිටක බුද්ධ වචනය ඉගෙන ප්‍රගුණකොට ඝන සමූහය සහිතව දිනක් උපාධ්‍යායන් වහන්සේ හමුවට වැඩියහ. එහෙත් උපාධ්‍යායන් වහන්සේ කාලබුද්ධරක්ඛිත හිමියන් සමඟ සිනාසීමක් හෝ කතාබහ කිරීමක් හෝ නොකළහ. පසුව උපාධ්‍යායන් වහන්සේ හමු වූ බුද්ධ රක්ඛිත හිමියන් ‘ස්වාමීනි, මා ත්‍රිපිටක ග්‍රන්ථධරව ඔබ වහන්සේ සමීපයට ආ වේලේ සිනා සී කතාවක්වත් නො කරයි. මගේ කවර දෝෂයක් දැයි’ විචාළේ ය. එවිට උපාධ්‍යායන් වහන්සේ ‘ඇවැත් බුද්ධරක්ඛිතයෙනි, ඔබ ත්‍රිපිටකධාරී වූ පමණින් ප්‍රවෘජ්‍යා කෘත්‍ය සම්පූර්ණ වූවෙහිදැයි සිතන්නෙහිද? එය එසේ නොවේ. මේ පිරිවරින් තොරව ප්‍රපඤ්චයන් සිඳ වාගිරිගල විහාරයට ගොස් මහණදම් පුරයි.’ උන්වහන්සේට උපාධ්‍යායන් වහන්සේගෙන් උපදෙස් ලැබුණි. එම අවවාදය පිළිගත් බුද්ධරක්ඛිත තෙරණුවෝ වාගිරිගල විහාරයට ගොස් වහා විදසුන් වඩා උතුම් වූ රහත්බවට පත් වූහ. පසුව මහා පිරිවර ඇතිව, රාජ පූජිතව සෑගිරියෙහි වැඩ වාසය කළහ.

එකල භික්ෂූන් වහන්සේලාගේ උපසම්පදා විනය කර්මය සිදුකරන සමයේ සද්ධාතිස්ස මහරජතුමා චේතිය පර්වතයෙහි රාජලෙනෙහි වාසය කරයි. එහි දී කාල බුද්ධරක්ඛිත තෙරුන්ගේ උපස්ථායක භික්ෂුවක් ඇමතූ රජතුමා ‘යම් කලෙක බුද්ධ රක්ඛිත හිමියන් දහම් පැන විසඳන්නේ ද එදවස මට ද දැනුම් දෙන්න යැයි.” කී ය. ටික දවසකට පසු බුද්ධරක්ඛිත හිමියන් විසින් අද මාගේ බණ කියන දවස ය. අද මාගේ පැන විසඳන දවස ය. මේ පණිවුඩය රජුට දෙන්නයැයි කීහ. තෙරුන් වහන්සේ ද එදින ධර්ම ශ්‍රවණය සඳහා භික්ෂූන් රැස් වූ කල්හි භික්ෂු සංඝයා පිරිවරා කණ්ඨක චෛත්‍ය මළුවට පැමිණ සෑය වැඳ වැඩ සිටියහ. ඉක්බිති එක් පිණ්ඩපාතික තෙරනමක් කාලකාරාම සූත්‍රයෙන් ප්‍රශ්නයක් විචාළහ. එයට පිළිතුරු වශයෙන් කාලකාරාම සූත්‍රයට අර්ථ විවරණ සපයමින් බුද්ධරක්ඛිත හිමියෝ ධර්ම දේශනාව ඇරඹූහ.

උපස්ථායක තෙරුන් බුද්ධරක්ඛිත හිමියන්ගේ ධර්ම දේශනාව ආරම්භ වූ බව රජුට දැන් වූ අතර රජු පැමිණෙන විට ගාථාවේ මුල් පද දෙක දේශනාකොට අවසන් විය. එහි පැමිණි රජු අප්‍රසිද්ධ වේශයෙන් සිට තුන්යම පුරා ධර්මය අසා තෙරුන් වහන්සේ ‘ඉධමවොච භගවා’ යැයි ධර්ම දේශනාව අවසන් කළ කල්හි රජු සාධුකාර දුන්නේ ය. එම හඬින් තෙරුන් වහන්සේ ඒ රජුයැයි දැන් ‘මහරජ කොයිවේලේ ආවේදැයි’ විචාළේ ය. ‘ස්වාමීනි පූර්ව ගාථාව අවසන් වීමට පෙර යැයි’ කී ය. එවිට තෙරුන් වහන්සේ ‘මහරජ ඔබ විසින් දුෂ්කර කාර්යයක් කළේ ය, යැයි පැවසූහ. එවිට රජතුමා ‘නැත ස්වාමීනි, එය දුෂ්කර කාර්යයක් නොවේ. යම්කිසි අයුරකින් ආර්යයන් වහන්සේ බණ දේශනාව ඇරඹූ තැන් සිට එක පදයක්වත් මට අමතක වී ගියේ නම් මම මේ දිවයිනෙහි එක් කෙවිටක් ගහන ප්‍රමාණයකුදු මාගේ රජ බවක් නොවේවයි’ දිවුළේ ය.

එම සූත්‍රයේ දී බුද්ධරක්ඛිත හිමියන් විසින් බුදුගුණම විස්තර කොට දේශනා කරන ලදී. එබැවින් රජතුමා මෙසේ විචාළේ ය. ‘ස්වාමීනි බුදුගුණ මෙතෙක්ම ද? නොහොත් තව ඇත්ද?’ එවිට තෙරුන් වහන්සේ ‘මහරජ, මා විසින් කියන ලද්දේ ටික ය. නො කියූ බුදුගුණ බොහෝ ය. ‘එවිට රජු ‘ස්වාමීනී, උපමාවක් කිව මැනවැයි කී ය. මහරජ, අමුණු දහසක් පමණ වූ හැල් කෙතක එක හැල් කරලකට වඩා ඉතිරි හැල් බොහෝ වෙත් ද ඒ පරිද්දෙන් මා කියූ ගුණ ටික ය. එය හැල් කරලට සමාන ය. ඉතිරි ගුණ බොහෝ ය. එය ඉතිරි හැල්වලට සමාන ය.’ යනුවෙන් වදාළහ. නැවතත් රජු ‘ස්වාමීනි, උපමාවක් කරනු මැනැවැයි’ කී ය. එවිට බුද්ධරක්ඛිත හිමියෝ ‘මහරජතුමනි, යම් සේ සැඩ පහරින් පිරුණු මහා ගංගාවක ඉදිකටු සිදුරක් වැනි කාණුවක් දිගේ දිය ටිකක් ඒද එපරිද්දෙන් මා කියූ බුදුගුණ එපමණ ය. නො කියූ බුදුගුණ සැඩ පහරින් පිර ැණු ගංගාව හා සමය’ යනුවෙන් පැවසූහ. නැවතත් රජු තවත් උපමාවක් කරන ලෙස තෙරුන් වහන්සේට කී ය. එවිට තෙරුන් වහන්සේ ‘මහරජ, වැහිලිහිණියන් අහසේ පියාසර කරන තැන් බොහෝ වේ ද, අහස බොහෝ වේ ද? යනුවෙන් රජුගෙන් ප්‍රශ්න කළේ ය. එවිට රජු ‘ස්වාමීනි, කුමක් වදාරයි ද වැහිලිහිණියන් පියාපත් සරන තැන් ඉතා ටික ය. අහස බොහෝ ය. යනුවෙන් පැවසී ය. එවිට තෙරුන් වහන්සේ ‘මහරජ එපරිද්දෙන් මා කී බුදුගුණ ඉතා මද ය. සෙසු ගුණයෝ ම බොහෝ ය.’ රජුට පැවසූහ. එවිට රජු ‘ස්වාමීනි, මනාකොට පැහැදිලිව දේශනා කරන ලදී. අනන්ත වූ බුදුගුණ, අනන්ත වූ අහස සමඟ සසදන ලදී. අපි ඔබ වහන්සේට පැහැදුණෙමු. එසේ වුවත් සුදුසු පූජාවක් කරන්නට නො හැක්කෙමි. මාගේ මේ දුගී පූජාව ඔබ වහන්සේට පුදමි. මේ සියයක් යොදුන් වූ ලක්දිව රාජ්‍යය ඔබ වහන්සේට පුදමි.’ යනුවෙන් ලක් රාජ්‍යය කාල බුද්ධරක්ඛිත හිමියන්ට රජු විසින් පුදන ලදී. එවිට තෙරුන් වහන්සේ ‘මහ රජ ඔබ විසින් පුදන ලද රාජ්‍ය ඔබට ම භාරය. ඔබගේ ශ්‍රද්ධාව වටින්නේ ය. දැහැමින් සෙමින් රාජ්‍යය කරනු මැනවි’ යනුවෙන් මහරජුට උපදෙස් දෙන ලදී.