Print this Article


උපදේශාත්මක බණ කතා සාහිත්‍යය:  දෙලොවටම ඵල දෙන පරෝපකාරය

දෙලොවටම ඵල දෙන පරෝපකාරය

අද්‍යතනයෙහි ද ඇතැම්හු ලොව අස්ථිර බව නොදනිති. පින් පව් ඵල විපාක නැති බවත් , ලෝකය සදාකාලික ව සැප සේ ජීවත් විය හැකි තැනක් බවත් , ත්‍රිලක්ෂණයක් නොමැති බවත් ප්‍රකාශ කරති. අද වුව ද හේතුඵලවාදය බැහැර කරති. ලොව සියල්ල දෙවියන්ට ම බාරකරති. පුනර්භවය බැහැර කරති.

ලොව සියල්ල සදාකාලික බව පෙන්වා ශාස්වත වාදය ම කරපින්නා ගනිති. බුදුරජාණන් වහන්සේ මර්දනය කොට වසඟයට ගැනීමට සිතූ මාරයාට උන්වහන්සේ එම අවස්ථාෙවි දී අවිහිංසාවාදීවත් ත්‍රිලක්ෂණවාදීවත් තදින්ම පහර දෙන සේක. බක බ්‍රාහ්මය, ඔබ ධ්‍යාන තුනක් වැඩූ පමණින් හා පින්කම් කළ පමණින් බක නම්, මහා බ්‍රහ්මව උපන්නෙහිය. මා ඔබ සමඟ සමකළ නොහැකි ය. මම ඔබට වඩා උසස්ය යනුවෙන් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළහ.එවිට මහා බක බ්‍රහ්මතෙම මා කළ පින්කම් ගෞතමයන් වහන්සේ දන්නා බව සඳහන් කරන හෙයින් ඒවා කවරෙක්දැ යි බුදුරජාණන් වහන්සේගෙන් විචාළේ ය. එවිට බුදුරජාණන් වහන්සේ බ්‍රහ්මය, ඔබ පෙර ජාතියක පැවිදිව ධ්‍යාන උපදවා අභිඤ්ඤාලාභීව ගඟක් අසබඩ පන්සලක් හදාගෙන වාසය කළේ ය. එ කල වෙළෙන්දෝ පන්සියයක් ගැල්වල බඩු පුරවාගෙන වෙළෙදාමෙහි ගියහ. ඔවුහු වැලි වලින් ගහණ වූ කාන්තාරයක් මැදින් ගමන් ගත්හ. ගැල්වල ආහාර හා ජලය හිඟ විය. ගැල් අදිනා ගොන්නු ද අධෛර්යමත් වූහ. වෙළෙන්දෝ ගොනුන් එම ගැල්වල රෝදවලම බැඳ ගැල් පිළිබඳ සිතන්නට වන්හ. ආහාරපාන නැති බැවින් වෙළෙදුන් හා සතුන් මිය යන දුටු ගඟ අසල සිටි තාපසයා ගඟින් ඇළක් මවා මිනිසුන් සිටිනා පෙදෙසට ජලය එවී ය. වෙළෙන්දෝ දිය දැක සතුටුව තමන් හා ගොනුන් ඒවා පරිහරණය කොට තමන් කැමැති ප්‍රදේශයටම ගියහ. එදා ඔබ සිදුකළ පින්කම බරපතළ ය. ඒ පිනෙන් ඔබට බ්‍රහ්ම ලෝකයට පැමිණීමට අවස්ථාව ලැබුණි. බක බ්‍රහ්මයා බඹලොවදී මිත්‍යා දෘෂ්ටික වුවද, එදා මෙලොව පරලොව හැඟීමෙන් සිදුකළ පින්කම අතිමහත් ය. එම අතුරු කතාවෙන් ලබාදෙන මහඟු පණිවුඩය නම්, සිත පහදා ශ්‍රද්ධාවෙන් පින්කම් කළ කළ විට එයින් ලැබෙන අනුසස්හි වටිනාකම අතිමහත් බව ය.

වර්තමානයෙහි වුව ද, ශ්‍රද්ධා සිතින් පිනක් සිදුකළ විට එයින් ලැබෙන ආනිසංසය දෙස බලන්න. පරෝපකාරයෙහි ඇති වටිනාකම පිළිබඳව අවධානය යොමුකිරීමට තරම් මේ අවස්ථාව අගනේ නොවේ ද?,

අනුනට උපකාර කිරීම කෙතරම් වටිනා පින්කමක් ද? එම කතාව ඔබ ද සිතට ගෙන මුදල් ධන ධාන්‍ය පමණක් උපදවන මේ සමාජයේ අනුන්ට උපකාර කිරීම කෙතරම් ආනිසංස ගෙන දෙන පින්කමක් දැයි සිතන්න. බුදුරජාණන් වහන්සේ බක බ්‍රහ්මයාට කරුණු පැහැදිලි කරදීමෙන් පසු බක බ්‍රහ්ම අතිශයින් ම සතුටට පත් විය. බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදුණි. බක බ්‍රහ්මයාගේ මානයත් බිඳී දළ බිඳුණු නයෙකු මෙන් තේජස ද නැති විය. බුදුරජාණන් වහන්සේ පුරිසදම්ම සාරථී ගුණයෙන් ඔහු දමනය කර රහත් බවට ද පත් කළහ. එම කතාව වත්මන් සමාජයටද ආදර්ශයක් සපයයි. බලයෙන් ධනයෙන් දෘෂ්ටියෙන් වෙලී සිටින අයට සෑබෑ ලොවට පියමංකිරීමට සිත පොළඹවනු ඇත .