Print this Article


කඩවත සූරිගම ශ්‍රී සුධර්මාරාම ශ්‍රී නාගාර්ජුන විද්‍යාපීඨ මහ පිරිවෙනේ නිකිණි මහා පෙරහර

කඩවත සූරිගම ශ්‍රී සුධර්මාරාම ශ්‍රී නාගාර්ජුන විද්‍යාපීඨ මහ පිරිවෙනේ නිකිණි මහා පෙරහර

කඩවත සූරිගම ශ්‍රී සුධර්මාරාම ශ්‍රී නාගාර්ජුන විද්‍යාපීඨ මහ පිරිවෙනේ නිකිණි මහා පෙරහර සහ වාර්ෂික පින්කම් මාලාව මෙවර හත්වැනි වරටත් උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. අගෝස්තු 15 වැනිදා ආරම්භ වූ පින්කම් මාලාවේ අවසානය සනිටුහන් කරමින් සැප්තැම්බර් 22 වැනිදා පෙරහර ග්‍රාම ප්‍රදක්ෂිණා කිරීමට නියමිතය.


විහාරාධිපති හා පිරිවෙන් අධ්‍යක්ෂ සියනෑ අලුත්කූරු දෙකෝරළයේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක පරකන්දෙණියේ ආර්ය ශ්‍රී මනෝරථ නාහිමි

සියනෑ කෝරළයේ අධිකාරි පත්තුවේ මහර පේරුවේ කඩවත සූරිගම ශ්‍රී සුධර්මාරාම ශ්‍රී නාගාර්ජුන විද්‍යාපීඨ මහ පිරිවෙන ප්‍රදේශයේ විහාරස්ථාන අතුරෙන් ඉතාමත් ගෞරවයට පාත්‍ර වූ පුදබිමකි. 1860 තරම් සියවස් එකහමාරකටත් වැඩි ඉතිහාසයක් ඇති පුණ්‍ය භූමියේ ආරම්භය සනිටුහන් වනුයේ පුහුරියේ ශ්‍රී රතනජෝති මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ යුගයේදීය. උන්වහන්සේ මෙම පුණ්‍ය භූමියට වැඩම කළේ කිරිකිත්ත නැදුන්ගහහේන ශ්‍රී සුධර්මාරාමයේ සිට වන අතර නැදුන්ගහහේන විහාරස්ථානයේත්, සූරිගම විහාරස්ථානයේත් විහාරාධිපතීන් වහන්සේ උන්වහන්සේ ය. එවකට පුුහුරියේ ශ්‍රී රතනජෝති මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ පොල් අතු සෙවිලි කරන ලද කුඩා ආවාසයක් තනාගෙන එම භූමියේ වැඩ සිටින විටත්, අනුරාධපුරයේ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ ශාඛාවක් වන වර්තමානයේද වැඩ සිටින බෝධින් වහන්සේ වැඩසිටි බව පැවසේ. එසේම මෙම භූමියේ පැරැණි දේවාලයක්ද පැවති බව පැරැණ්නන්ගේ අදහසයි.

පුහුරියේ ශ්‍රී රතනජෝති මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපවත් වීමෙන් පසුව උන්වහන්සේගේ ශිෂ්‍ය නාරම්වල ශ්‍රී ශීලවංශ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ විහාරාධිපති ධුරයට පත්වූහ. උන්වහන්සේ විසින් පසුකාලීන සංඝ පරම්පරාව දියුණු පමුණු කිරීම ඉතා හොඳින් සිදු කළහ. උන්වහන්සේගේ ශිෂ්‍යයන් අතරින් පරකන්දෙණියේ ශ්‍රී ධම්මවංශ ශාස්ත්‍රී නාහිමිපාණන් වහන්සේ සහ ලෙව්දෙණියේ ධම්මරතන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන වන්නේ ය. ඉන් ජ්‍යෙෂ්ඨතම ශිෂ්‍යයා වූයේ ආචාර්ය පරකන්දෙණියේ ධම්මවංශ නාහිමිපාණන් වහන්සේ ය. උන්වහන්සේ පුරා වසර 18 ක කාලයක් ඉන්දියාවේ වැඩ සිට මෙරටට වැඩම කරන විට වැඩම කරවූ ධාතුන් වහන්සේ විශාල කරඬුවක තැන්පත් කර ධාතු මන්දිරයේ තැන්පත් කළහ. එහි ආශිර්වාදය ලබමින් උන්වහන්සේ 1975 ජනවාරි 12 වැනිදා ආරම්භ කළ ශ්‍රී ශීලවංශ ධර්ම විද්‍යාලය අද වන විට සිසුන් 1800 ට අධික ප්‍රමාණයක් දහම් අධ්‍යාපනය ලබන කීර්තිමත් ධර්ම විද්‍යාලයක් බවට පත් ව තිබේ. ඊට සමගාමිව 1975 පෙබරවාරි 13 වැනිදා ශ්‍රී නාගාර්ජුන විද්‍යාපීඨ මහ පිරිවෙන ආරම්භ කර ලොවට මහා සේවයක් සිදු කළහ.

මෙම කාල වකවානුවේ දී පරකන්දෙණියේ ශ්‍රී ධම්මවංශ නාහිමිපාණන් වහන්සේ විසින් මෙම පුණ්‍ය භූමියේ පින්කම් මාලාවක් ආරම්භ කෙරිණි. ඒ සූවිසි බුදුවරයන් වහන්සේ වෙනුවෙන් පැවැත් වූ වාර්ෂික විවරණ පූජාවයි. එයට සමගාමීව ත්‍රිවිධ චෛත්‍ය වෙනුවෙන් මල් පූජා පින්කම් මාලාවක් ද පැවැත්වුණි. 1985 දී උන්වහන්සේ අපවත් වීමෙන් පසුව එම පින්කම් මාලාවද නැවතිණි.

ඉන්පසුව විහාරාධිපති හා පරිවේණාධ්‍යක්ෂක ධුරයට පත්වූයේ ලෙව්දෙණියේ ධම්මරතන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය. උන්වහන්සේද මෙම පුණ්‍ය භූමිය සංවර්ධනය කිරීමට විශාල සේවයක් සිදුකළ අතර 2010 දී අපවත් වී වදාළහ.

පරකන්දෙණියේ ධම්මවංශ ශාස්ත්‍රී නාහිමිපාණන් වහන්සේ හා ලෙව්දෙනියේ ධම්මරතන නාහිමිපාණන් වහන්සේ විසින් බිහිකළ ශිෂ්‍ය පරපුරේ ජ්‍යෙෂ්ඨතමයා වන්නේ වත්මන් විහාරාධිපති හා පිරිවෙන් අධ්‍යක්ෂ සියනෑ අලුත්කූරු දෙකෝරළයේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක මහර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති මහර විහාරාධිපති සංගමයේ නියෝජ්‍ය සභාපති පරකන්දෙණියේ ආර්ය ශ්‍රී මනෝරථ නාහිමිපාණන් වහන්සේ ය. උන්වහන්සේ 2010 දී විහාරාධිපති පදවියට පත්වීමත් සමඟම මෙම ආයතනය පෙරටත් වඩා ලෝක ශාසනික සේවයට විවෘත විය. තම ආචාර්යයන් වහන්සේ අනුදත් උත්තරීතර මාර්ගයේ පියනගන උන්වහන්සේ ගමටත්, රටටත්, බෞද්ධ ලෝකයටත් අමිල මෙහෙවරක් සිදුකරන යතිවරයෙකි.

උන්වහන්සේ විහාරාධිපති පදවියට පත්වූ පසු විහාරස්ථානය විහාරාරාංගයන්ගෙන් නවීකරණය වී ඇත. ධර්ම විද්‍යාලය ඉතා දියුණු ය. අභිනවයෙන් ධාතු මන්දිරය, සංඝාවාසය හා පුස්තකාලය ඉදි කර ඇත. තෙමහල් බෝධි මන්දිරය සංවර්ධනය වෙමින් පවතී. ශ්‍රී නාගාර්ජුන පෙර පාසල කුඩා දරුවන්ගේ මුල් ළමාවිය සංවර්ධනය කරයි. තරුණ බෞද්ධ සංගමයෙන් සිදුවන සේවය අමිල ය. කුලඟන සමිතිය, දායක සභාව මනෝරථ නාහිමියන්ගේ ලෝකාර්ථ සේවයට අපමණ ශක්තියක් ලබාදෙති. මේ සියල්ල ශක්තිමත්ව ගොඩ නැගුණේ උන්වහන්සේගේ නොපසුබට උත්සාහය නිසාම ය.

මමෝරථ නාහිමියන් විසින් 2012 දී සූරිගම නිකිණි පෙරහර සහ වාර්ෂික පින්කම ආරම්භ කරන ලදී. ඒ පිළිබඳව අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේ ද පැවසූහ.

රටටත්, ප්‍රදේශයටත් ත්‍රිවිධ රත්නයේත් දෙවියන්ගේත් ආශිර්වාදය ලබාගැනීමේ අරමුණින් සූරිගම නිකිණි පෙරහර මා විසින් 2012 දී ආරම්භ කරනු ලැබුවා. මෙවර එය පැවැත්වෙන්නේ හත්වැනි වරටයි. පෙරහර ආරම්භයට පෙර අප පින්කම් මාලාවක් පවත්වනවා. එය මෙහි සුවිශේෂත්වයයි. අගෝස්තු 15 වැනිදා සිට සැප්තැම්බර් 19 වැනිදා දක්වා අසූ මහා ශ්‍රාවක පූජාවන් සහ ධර්ම දේශනා සිදුකරනවා. සැප්තැම්බර් 20 වැනිදා සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව පවත්වා පසුදින පනස් නමකට ආසන්න මහා සංඝරත්නය විෂයයෙහි සපිරිකර සංඝගත දක්ෂිණාවක්ද පැවැත්වෙනවා. සැප්තැම්බර් 22 වැනිදා පෙරහර ග්‍රාම ප්‍රදක්ෂිණා කිරීමට නියමිතයි.

මෙවරත් උඩරට, පහතරට , සබරගමු නැටුම් කණ්ඩායම් 45 ක් පමණ සහභාගි වෙනවා. අලි ඇතුන් 20 ට අධික ප්‍රමාණයක් සහභාගි කරවා ගැනීමට බලාපොරොත්තු වෙනවා. ආරම්භක යුගයට වඩා වැඩි පිරිසක් මේ වන විට පෙරහරට සම්බන්ධ කරගැනීමට හැකි වී තිබෙනවා. එය අපට සතුටට කරුණක්. පෙරහරේ සියලු බරපැන දරන්නේ ගම්වාසී හා ප්‍රදේශවාසී පින්වතුන් විසින්. මේ සඳහා ඔවුන්ගේ යාවජීව අරමුදලක් තිබෙනවා. ඔවුන්ගේ සහයෝගය අපට විශාල ශක්තියක්.

මෙවර පෙරහරේ ගමන් මාර්ගය වන්නේ ගණේමුල්ල කඩවත පාර, 2 කණුව අසලින් සූරියපාළුව පාර, ඇල්දෙණිය පාර,ශීලවංශ මාවතට පැමිණ නැවත විහාරස්ථානයට පිවිසේ.

අප මෙවර පෙරහරේ ගමන් මාර්ගය කෙටිකර තිබෙනවා. සතුන් බොහෝ වෙහෙස කරන්නේ නැතිව ඉක්මණින් නිදහස් කිරීමයි අපේ අරමුණ. අප අලි ඇතුන්ට බොහෝ කාරුණික වෙනවා. මහ පෙරහරට සමගාමීව පෙරහරට පෙරදින මල් පෙරහරක් ද පවත්වනවා. බංගලාවත්ත බුදුපිළිමය අසල සිට විහාරස්ථානය දක්වා එය ගමන් කරනවා. ඒ සඳහා දායකත්වය දරන්නේ පෙර පාසල හා ශ්‍රී සීලවංශ ධර්ම විද්‍යාලයේ ප්‍රාථමික අංශයයි.

පෙරහර සඳහා වත්මනෙහි අලි ඇතුන් සොයා ගැනීම ද දුෂ්කර කාර්යයකි. එමෙන්ම අලි ඇතුන්ගේ ආහාර ප්‍රශ්නය ද ලෙහෙසියෙන් විසඳිය හැකි කටයුත්තක් නොවේ. එහෙත් මේ සියලු අවහිරතා මැඩගෙන කිසිදු අඩුපාඩුවක් ඇති නොවන අයුරින් පෙරහර සංවිධානය කිරීමට මනෝරථ හිමියන් සමත් වී ඇත.

මේ කලා මංගල්‍යය නැරඹීම සඳහා එදිනට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පැමිණේ. එදිනට පැමිණෙන මේ සියලු සැදැහැවතුන් සංවර ඇඳුමකින් සැරසී පැමිණෙන ලෙස ද පෙරහර නැරඹීමේ දී තවත් අයෙකුට බාධාවක් සිදුනොවන ආකාරයට හැසිරෙන ලෙස ද සංවිධායක මණ්ඩලය සැමගෙන් ඉල්ලා සිටිති.

විහාරාධිපති පරකන්දෙණියේ ආර්ය ශ්‍රී මනෝරථ නාහිමියන්ගේ මග පෙන්වීම යටතේ 2012 වසරේ සිට සූරිගම නිකිණි පුණ්‍යෙත්සවයේ සියලු කටයුතු සංවිධානය කරන්නේ විහාරස්ථ තරුණ බෞද්ධ සමිතිය, දායක සභාව, කුලඟන සමිතිය පෙරටුකරගත් අනෙකුත් සමිති හා සංගම් විසිනි. ඊට අමතරව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය සභාව, කොමාන්ඩෝ රෙජිමේන්තුව , පොලිසිය, මහර බන්ධනාගාරය ඇතුළුව විහාරස්ථානයට සම්බන්ධ සියලු සංවිධානවල සහ ප්‍රදේශවාසීන්ගේ පූර්ණ අනුග්‍රහය ලැබෙන බව විශේෂයෙන් සඳහන් කළ යුතු ය.