Print this Article


ජීවිතයට අර්ථයක් ගෙනෙන අර්ථවත් කාලයක්

ජීවිතයට අර්ථයක් ගෙනෙන අර්ථවත් කාලයක්

බුදුරජාණන් වහන්සේ එදා භික්ෂූන් වහන්සේලාට වස් කාලය තුළ එක් සේනාසනයකට ගොස් තම චිත්ත දියුණුව පිණිස අධ්‍යාත්මික දියුණුව පිණිස, වැඩ සිටින්නැ’යි වස්සාන ශික්ෂා පදයන් දේශනා කොට වදාළා.

එසේනම්, මේ කාලය තුළ ගිහි ජීවිතයක් ගත කරන ඔබට මේ වස් තුන්මාසය තම අධ්‍යාත්මික දියුණුවට මුල් තැන සලසා ගනිමින් ගත කරන්න පුළුවන්.

බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ රහතන් වහන්සේ ආදර්ශයට ගනිමින් ගුණ ධර්ම දියුණු කරගන්නා ලෙස යි. එසේනම්, ඔබට පුළුවන් වස් තුන්මාසය පුරා ස්වාමීන් වහන්සේ ජීවත් වන්නේ කෙසේද? යනුවෙන් තේරුම් ගෙන අවබෝධයෙන් මේ පින්බර කාලය ගත කිරීමෙන්, ඔබේ දිවි මඟට ලොකු යහපතක් උදා කරගන්නට.

වස් තුන්මාසය තුළ භික්ෂූන් වහන්සේ බොහොම ගෞරවයෙන්, සිල් පද ආරක්ෂා කරගනිමින් ජීවත් වීම ඔබට ද හොඳ ආදර්ශයක්. “මේ වස් තුන් මාසය පුරා භික්ෂූන් වහන්සේ ශික්ෂා පද රැක ගනිමින් ජීවත් වනවා සේ ම, මම ද ශක්ති පමණින් පන්සිල් පද ආරක්ෂා කරගනිමින් ජීවත් වෙමි” යනුවෙන් අධිෂ්ඨාන කර ගන්නට පුළුවනි. බුදුරජාණන් වහන්සේ ගිහි අයට ‘ගිහි වතක්’ සුත්ත නිපාතයේ ධම්මික සූත්‍රයෙන් දේශනා කොට වදාළා. එහි සඳහන් වන්නේ ගිහි ශ්‍රාවකයා නිති පන්සිල් ආරක්ෂා කරගන්නා අතරම සතර පොහොයටම අටසිල් සමාදන්ව ඒවා ආරක්ෂා කරන ලෙස යි. එසේනම්, ගිහි කෙනෙකුට පුළුවන්, නිති පන්සිල් ආරක්ෂා කරගන්නා අතරේ , සතර පොහොයටම උපෝෂථයක් සමාදන්ව ආරක්ෂා කර ගන්නට.

භික්ෂූන් වහන්සේ වස් තුන් මාසය පුරා කටයුතු කරන්නේ නිවන අවබෝධ කර ගැනීම පිණිස යි. සියලුම භික්ෂූන් වහන්සේලා පැවිදි වුණේ ‘සියලු දුකින් නිදහස්ව අමා මහ නිවන සාක්ෂාත් කර ගැනීම පිණිස යි. එසේනම්, ඒ අරමුණ තේරුම් ගෙන භික්ෂූන් වහන්සේ වස් තුන්මාසය පුරා තම චිත්ත දියුණුව , බණ භාවනා ආදිය කරමින් සමාධිය දියුණු කිරීමට, ධර්ම ඥානය දියුණු කර ගැනීමට, වස් තුන් මාසය උපයෝගී කර ගන්න ඇප කැප වෙනවා.

ඒ දකින ගිහි පින්වතුන්ට මෙන්ම දහම් පාසල් දරුවන්ටත් තම අරමුණු අවබෝධයෙන්, ඇතැම් විට ඉගෙන ගන්නා දරුවෙක් නම් එය සාර්ථක කරගන්නා අතරේ භික්ෂූන් වහන්සේගේ අරමුණු මෙන්ම මගේ අධ්‍යාපන ජීවිතයේ ද විභාග ආදිය අරමුණු වෙනුවෙන්, රටේ යහපත් පුරවැසියෙකු වීමේ අධිෂ්ඨානයෙන්, අරමුණු කරාම වෙහෙස වන අතරේ තම ජීවිතයේ ද ගුණ ධර්ම දියුණු කිරීමට උත්සාහවත් විය යුතු යි. බොහෝ විට අපේ ජීවිතයේ සාර්ථකත්වය අහිමි වී යන්නේ අරමුණු ඈතට යාම නිස යි. එක අරමුණකට , ඉලක්කයකට ජීවිත සකස් කරගන්නා අදහසින් කටයුතු කිරීම ජීවිතයේ සාර්ථකත්වයට හේතු වෙයි.

භික්ෂූන් වහන්සේ මේ කාලය තුළ වැඩ කටයුතු අඩුකර , විවේකයෙන් වැඩ සිටිනවා. එසේනම්, වස් කාලය යනු වැඩ කටයුතු අඩු කාලයක් වගේ ම අර්ථවත් කාල වකවානුවක්. සාමාන්‍යයෙන් බුදුන් වහන්සේ විවේකයන් දෙකක් උගන්වා තිබෙනවා. එනම්, චිත්ත විවේකය සහ කාය විිවේකය යි. කාය විවේකය යනු වැඩ කටයුතු අඩුකර, කාය විවේකය සලසා ගැනීම යි. චිත්ත විවේකය යනු බණ භාවනා දියුණු කර, පංච නීවරණ දුරු කර, සමාධිය දියුණු කර ගැනීම යි. එසේනම් ඔබත් භික්ෂූන් වහන්සේ ගේ ජීවිත උපයෝගී කර ගනිමින් ඔබේ වැඩකටයුතු යම් තරමක් හෝ අඩුකර මේ පින්බර කාලය තුළවත් තම දිවි මඟට කාය විවේකය ඇති කරගෙන ගමේ විහාරස්ථානයේ පැවැත්වෙන පින්කම් වලට සහභාගි වන්නට අධිටන් කරගත යුතු යි.

ඇතැම් දරුවන් සවසට රූපවාහිනිය ඉදිරියේ කාටුන් ආදී වැඩසටහන් වෙනුවෙන් කාලය ගත කරනවා. එමගින් බොහෝ විට සිදු වන්නේ මනස අවුල් සහගත වීම යි. ඒ වෙනුවට සවස් කාලයේ විහාරස්ථානයේ පැවැත්වෙන මල් පූජා, සම්බුද්ධ පූජා බෝධි පූජා සත්බුදු වන්දනා පින්කම්, අටවිසි පූජා පින්කම් සහ ධර්ම දේශනා ආදියට සහභාගි වීමෙන් තම කාලය අර්ථවත් කර ගත හැකි යි. එවිට නිරවුල් මනසක් ඇති වෙනවා. සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට නිරවුල් ම නසක් අත්‍යවශ්‍ය යි. ව්‍යාකූල මනස නිසා අධ්‍යාපනය කඩාකප්පල් වෙනවා. ගෙදර දොරේ දෛනික වැඩ කටයුතු පවා අවුල් කරනවා. ජීවිතය ගැන කළකිරීමක් ඇති කරනවා. ඒ වගේම මේ පින්කම් වලට ශ්‍රද්ධාවෙන් සහභාගි වී කාය විවේකය ඇති කරගත්විට , ඔබට විශාල පිනක් සිද්ධ කරගන්නට ද පුළුවන්. එය ඔබේ දිවි මඟට සුවිශේෂී සහනයක්, ලොකු සැනසිල්ලක් වේවි. එපමණක් නොවෙයි, මේ කාල වකවානුවේ ඔබේ ධර්ම ඥානය වැඩි දියුණු කොට චිත්ත සමාධිය ඇති කර ගත හැකි පරිදි කටයුතු කිරීම ද වැදගත්.

වස් තුන්මාසය භික්ෂූන් වහන්සේලාට ලොකු ආශිර්වාදයක් ලැබෙන කාලයක්. මේ කාලය තුළ බණ භාවනාවන්ට වීර්යය වඩන ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් දානය, ගිලන්පස, චීවර, සේනාසන ආදී සිව් පසයෙන් ඇප උපස්ථාන කිරීමට ඔබට ලැබෙන පින්බර අවස්ථාව මඟ නොහැරිය යුතු යි. එය තම ජීවිතය නිවන් මඟ තුළ ගමන් කරවා ගැනීමට රුකුලක් වෙයි. ගිහි පින්වතුන් මෙන් ම දහම් පාසල් දරුවන් නිවස තුළදීම, උදය කාලයේ හෝ යම්කිසි වේලාවක් වෙන්කර භාවනාවට පුරුදු පුහුණු කිරීම ද තම අධ්‍යාත්මික දියුණුවට වැදගත් වනු ඇත.

විශේෂයෙන් දහම් පාසල් දරුවන්ට වස් තුන් මාසය පුරා පින්කම් සංවිධානය කරන්නට පුළුවන්. විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ සමඟ කතා බස් කර මල් පූජා ආදිය සකස් කරගෙන කා සමඟත් ඒවා බෙදාහදාගෙන, එකමුතුවෙලා , සමඟියෙන් සහභාගි විය හැකි යි. විහාරස්ථානය ඇසුරු නොකරන පිරිසට පවා පින්කමේ විවිධ අවස්ථා බෙදා දෙමින් ඒ අය ද සහභාගි කරවා ගැනීමට උත්සාහ කළ යුතු යි. එසේම විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීම, කොඩි වැල් බැඳීම, වෙහෙර මළුව ඇමැදීම, මල් ආසන, පහන් ආදිය පිරිසුදු කිරීම් ආදී වත් පිළිවෙත් සිදු කළ හැකියි. ඒ තුළ සිතට පුදුමාකාර සැනසීමක් සැහැල්ලුවක් ඇති වෙයි.

වස් තුන්මාසය අවසන් වෙද්දී සෑම විහාරස්ථානයකම ඔක්තෝබර් සිට නොවැම්බර් පුන් පොහෝ දින දක්වා ගිහි පින්වතුන් විසින් භික්ෂූන් වහන්සේ උදෙසා කරන කඨීන පින්කම අර්ථවත් කරගත යුතු යි. කඨින පෙරහරේ යන දහම් පාසල් දරුවන්ට ධජ පතාක රැගෙන යාම, පෙරහරේ යන පින්වතුන්ට මඟ තොට පැන් පොදකින් හෝ සංග්‍රහ කිරීම, දන්සල් ආදිය සංවිධානය කිරීමෙන් කුසගිනි නිවීම කළ හැකියි. එසේම වයෝවෘද්ධ පින්වතුන් සිටින ගමේ නිවෙස් වෙත කඨින පෙරහරේම ගොස් ඒ අයට වස්සාන චීවරය, සහ තවත් පූජා භාණ්ඩ අත ගැසීම ආදිය කළ හැකි යි. මේ ආකාරයට බාල , මහලු, තරුණ කවුරුත් එකමුතුවෙන් වස් තුන් මාසය ගිහි – පැවිදි දෙපාර්ශ්වයට ම අර්ථවත් කරගත හැකි යි.