Print this Article


ධර්මපාල චින්තනයෙන් ධර්මපාල පරපුරක් නිර්මාණය කිරීම ජාතික අවශ්‍යතාවකි

ධර්මපාල චින්තනයෙන් ධර්මපාල පරපුරක් නිර්මාණය කිරීම ජාතික අවශ්‍යතාවකි

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා වූ කලි 19 වන සියවසේ අග භාගයේත්, 20 වන සියවසේ මුල් භාගයේත් ලක්දිව ඇති වූ බෞද්ධ පුනරුදයට අසහාය පහන් ටැඹක් වූ අද්විතීය යුග පුරුෂයෙකු යැයි නො පැකිල ව හැඳින්විය හැකි ධර්ම වීරයාණ කෙනෙකි.

මීට වසර 85 කට පෙර ලංකා මාතාවගෙන් සමුගත් මේ ශ්‍රේෂ්ඨ වීරයාණන් ගේ 154 වන උපත් සමරුව යෙදෙන මෙ කල ලක්වැසියන් විසින් තම කෘතවේදිත්වය දැක්විය යුතු වන්නේ එතුමන් ජාතිය සතු කළ විශිෂ්ට චින්තාවලියට නව පණ දීමෙන් මිස අන් දෙයකින් නොවේ.

1864 සැප්තැම්බර් මස 17 වන දින කොළඹ දී, අගනුවර ප්‍රකට වෙළෙඳ ව්‍යාපාරිකයකු ව සිටි දොන් කරෝලිස් හේවාවිතාරණ මහතාට දාව, ඉතා සැදැහැවත් කුල කාන්තාවක වූ මල්ලිකා හේවාවිතාරණ මහාත්මනිය ගේ කුසින් මෙලොව එළිය දුටු පින්වත් පුත් රුවනට එවක පැවැති ආගමික හා සමාජීය පසුබිම අනුව නම් තැබුණේ ‘දොන් ඩේවිඩ්’ යනුවෙනි. ඒ වන විට පැවැති ක්‍රිස්තියානි මිෂනාරී අධ්‍යාපනය අනුව මූලික පාසල් ඉගැනීම ලැබුව ද මවුපියන් ගේ දූරදර්ශී මඟ පෙන්වීමත්, නිවෙස තුළ පැවැති බෞද්ධ වත් පිළිවෙත් පණ ගැන්වුණු පරිසරයත් හේතු කොටගෙන ළමා කල පටන් එතුමාට බුද්ධ ධර්මයේ අගය වැටැහෙන්නට පටන් ගති. මිෂනාරි පාසල්වල ඉගැන්වුණු බයිබලය පිළිබඳ මනා හැදෑරීමක් තිබුණු තරුණ ඩේවිඩ්ට එහි වූ සාර ධර්මයන් ඇතැම් කිතුනු පූජකවරුන් හා ඇදුරන් තුළ වත් භාවිත නොවන බව වැටැහිණි. කුඩා කල පටන් ළඟින් ඇසුරු කළ අතිපූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල, අතිගරු මිගෙට්ටුවත්තේ ගුණානන්ද වැනි මාහිමියන් වහන්සේලා නිසාත් පාණදුරා වාදය හා හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා මුල්ව ඇරඹුණු බෞද්ධ අධ්‍යාපන ප්‍රබෝධයත් නිසා එතුමාට සමකාලීන ව විදේශාධිපත්‍ය පාලනයෙන් ද, මිෂනාරි බලවේග විසින් ද දැඩි පීඩනයට පත් කරනු ලැබූ මෙ රට බෞද්ධ ජනතාව ගේ අසරණ භාවය තදින් දැනෙන්නට විය. වයස 16 දී බ්‍රහ්මචාරී ජීවිතයට බැසගත් මේ අභීත තරුණයා තමන්ට ලැබී තිබුණු විදේශීය නාමය ඉවත් කොට ‘ධර්මපාල’ යන බෞද්ධ නාමය ව්‍යවහාර කරන්නට වී ය. එ තැන් පටන් මෙරට දැල්වෙමින් පැවැතුණු බෞද්ධ පුනරුද ව්‍යාපාරයට සිය ධනයත්, ශ්‍රමයත්, කාලයත් කැප කරන්නට අදිටන් කැර ගත්තේ ය. ඕල්කට්තුමාත්, බ්ලැවට්ස්කි මහාත්මනියත් මුල් ව ලංකාවේ ආරම්භ කළ පරම විඥානාර්ථ සංගමයට බැඳුණු තරුණ ධර්මාපල එහි ක්‍රියාකාරී සාමාජිකයෙක් වූයේ ය. ඕල්කට්තුමා බෞද්ධ අධ්‍යාපනය නඟා සිටුවීමට ගමින් ගමට යමින් දේශනා පවත්වද්දී ඒවා සිංහලයට පරිවර්තනය කරන ලද්දේ ධර්මපාලතුමා විසිනි. මේ දෙදෙනා ම පොදු මහජනතාව ගේ හදවත් තදින් ම ආකර්ෂණය කැරගෙන සිටියහ.

1885 දී පමණ මදුරාසියේ පරමවිඥානාර්ථ සංගමයේ කටයුතු සඳහා බ්ලැවට්ස්කි මහාත්මනිය සමඟ පිටත් ව යන්නට සූදානම් වෙද්දී එතුමාගේ මව “යන්න, ගිහින් මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් වැඩ කරන්නැ" යි කීවා ය. පියා ගමනට අවශ්‍ය මුදල් හා ආධාර ලබා දෙමින් “එහෙනම් යන්න බෝධිසත්ත්ව කෙනෙක් වෙන්න උත්සාහ කරන්නැ” යි කී බවක් එතුමාගේ ලිපියෙක ම සඳහන් කැර ඇත. තම පුතණුවන් මානව හිතවාදී විරුවකු කරන්නට දෙ මාපියන් තුළ වූ දෘෂ්ටිමය පාරදෘශ්‍යතාව එයින් අනාවරණය වේ.

ධර්මපාල තරුණ වීරයා තුළ අභ්‍යන්තරික පරිවර්තනයක් ඇති වන්නේ 1891 දී බුද්ධගයාවට ගිය වන්දනා යාත්‍රාවෙනි. සිය වස් 25 ක කාලයක් තිස්සේ බෞද්ධ ලෝකයාගේ උත්තම විජයභූමිය ලෙස ගෞරවයට පාත්‍ර වුණු බුද්ධගයාවට ඉන්දියානු රජයෙන් සහ හින්දූන්ගෙන් වූ නොසැලැකිල්ල සියැසින් දුටු ධර්මපාලතුමාගේ හදවත වේදනාවෙන් කකියන්නට විය. 1891 මැයි 31 වන දා එතුමා විසින් මහාබෝධි සමාගම ආරම්භ කරන්නේ භාරතයේ බෞද්ධ සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය කිරීමේත්, ඉන්දියාවේ බුද්ධාගම නඟා සිටුවීමේත් පරමාධ්‍යාශයෙනි. දෙස් විදෙස්හි දී පතළ වූ ‘මහා බෝධි සඟරාව' ඊළඟ වසරෙහි දී එතුමා විසින් ආරම්භ කරනු ලබන්නේ ඒ අරමුණ ද පෙරදැරි කැරගෙන ය.

පාලි භාෂාව හා ප්‍රතිචීන භාෂාවන් පිළිබඳවත්, බුද්ධ ධර්මය පිළිබඳවත් ගැඹුරු අවබෝධයක් තිබුණු ධර්මපාලතුමා අප්‍රතිහත ධෛර්යයෙන් අනූන, අභියෝග හමුවෙහි දී තව තවත් ශක්තිමත් වූ, දෘෂ්ටිමය පෞරුෂයකින් සන්නද්ධ දුර්ලභ ගණයේ පුරුෂ රත්නයකි. විදේශිකයන්ගෙන් මතු නොව ස්වදේශික ඇතැම් ඉංගිරිසි ගැති පුද්ගලයන්ගෙන් පවා විවිධ අභූත චෝදනා එල්ල වෙද්දී එතුමා අකම්ප්‍ය ව සිය ගමන ගියේ ඒ ශක්තිය නිසා ය. තමාගේ ආගමත්, රටත්, ජාතියත්, භාෂාවත් වෙනුවෙන් නො විඳිය හැකි දුක් විඳි, නො ඉවැසිය හැකි ඇනුම් බැණුම් ඇසූ අභිමානවත් මිනිසෙක් මෑත ඉතිහාසයෙන් සොයාගත නොහැකි තරම් ය. එතුමා කායික, වාචසික, මානසික වීර්යයෙන් සිදු කළ විවිධ විශිෂ්ට සේවාවන් අතර, මහාබෝධි සඟරාව හා සිංහල බෞද්ධයා පුවත්පත් මඟින් ජාතියට ශේෂ කළ චින්තනමය විප්ලවය ගෞරවයෙන් සිහිපත් කළ යුතු ය.

විදේශීය ආක්‍රමණ තුනකට යටත් ව, බෞද්ධ සදාචාරය පිරිහී, සංකර සිරිත්විරිත්වලින් හා පරාධීන චින්තනෙයන් ද, දීන මානසිකත්වයෙන් ද බැගෑපත් ව ගිය ජාතියට මිහිඳු මාහිමියන් වහන්සේ මෙරට වැසියනට විවර කළ සභ්‍යත්ව මාර්ගයේ වැසුණු දොරටු යළි විවර කැර දුන්නේ අනගාරික ධර්මපාලතුමා ය. උදාසීන භාවයෙන් හා යටත් විජිත වහල්කමින් නිද්‍රෝපගත සිංහලයා, තද ඵරුෂ ලෙස බැණ වදිමින් අවදි කෙළේ එතුමා ය. දේශයේ උන්නතිය සඳහා මතු නොව, ශාසනයේ සමුන්නතිය සඳහා අවංක සිතින් ගිහි ජනතාවටත්, පැවිදි පිරිසටත් වායාමය පණ ගැන්වූයේ එතුමා ය. ගෙයි මුල්ලට කර නූගත්කමේ වහලුන් කළ සිංහල කාන්තාවටත් සුදුසු අධ්‍යාපනයක් දිය යුතු යැයි හඬ නැඟුයේ එතුමා ය. දරිද්‍රතාවේ පත්ලට ම ගිලී, සාගින්නෙන් දැවි දැවී අන්ත අසරණ දුකින් පෙළෙන දරුවන් ලෝකයේ කවර රටක, කවර ජාතියකට අයත්ව විසුව ද, තමා ගිය හැම තැනක ම දුටු ඔවුනට දයාදාක්ෂිණ්‍යතාවේ හස්තය දිගු කළ බෝසත් ශාන්තුවරයා ධර්මපාලතුමා ය. රටෙක නවෝත්පාදන ආර්ථිකයක් මඟින් තිරසර සංවර්ධනයක් ඇති කළ හැකි බවත්, අධ්‍යාපනය තුළ පවා වෘත්තීය ශක්‍යතාවන් පණ ගැන්වෙන ක්‍රමවේදයන් සැලැසුම් කළ යුතු බවත් මෙරට මුල් වරට හඬ ගා කීවේ ධර්මපාලතුමා ය. රටක් දියුණු වන්නට නම් හැම අතින්ම ස්වාධීන විය යුතු බව එතුමා සඳහන් කළේ ය.

“ඔබට පෙරදිග ක්‍රිස්තියානිය තහවුරු කිරීමට අවශ්‍ය නම්, එය කළ හැක්කේ කිතු රදුන්ගේ ප්‍රේමය හා නිහතමානිත්වය පිළිබඳ ප්‍රතිපත්ති මත පමණකි. මිෂනාරීනට සියලුම ආගම් හැදෑරීමට ඉඩ සලසන්න. නිහතමානිත්වය හා බැගෑපත් කම පෙන්නුම් කිරීමට ඉඩ හරින්න. එවිට සෑම රටවල් ම ඔවුන් පිළිගන්නවා ඇත". සෙසු ආගමික ඉගැන්වීම දෙස බුද්ධශ්‍රාවකයකු බලන සාධාරණ දෘෂ්ටි කෝණය ධර්මපාල චින්තනය තුළ කොතරම් ප්‍රභාවක් වූයේ ද යන්න ඉහත සඳහන් පාඨයෙන් පැහැදිලි වේ.

ආගම්වාදී, ජාතිවාදී, පුද්ගලවාදී පටු ආකල්පවලින් වියුක්ත වූ, ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා ගේ මානව හිතවාදී නො වහල් චින්තනය නිවැරැදි ව අධ්‍යයනය කොට ක්‍රියාත්මක කරන සැබෑ ධර්මපාල පරපුරක් බිහි වනතුරු ධර්මිෂ්ඨ සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් ඇති වේ යැයි සිතීම ස්වප්න මායාවක් ම වනු ඇත.