Print this Article


92 වන ජන්ම දිනය සමරන නුගදණ්ඩේ සුමනවංශ නා හිමි

92 වන ජන්ම දිනය සමරන නුගදණ්ඩේ සුමනවංශ නා හිමි

පැල්මඩුල්ල පාතකඩ ශ්‍රී සුමනාරාමාධිපති නුගදණ්ඩේ සුමනවංශ නා හිමියන්ගේ 92 වන ජන්මදිනය මෙම මස13 වන දිනට යෙදී ඇත. මෙම ලිපිය ඒ නිමිත්තෙනි.

ඇහැලියගොඩ නුඟදණ්ඩ (සිරිසමන්පුර) ගම්මානයේ ප්‍රභූ පවුලක 1926 සැප්තැම්බර් 13 වන දින උපත ලැබූ පුණ්‍යවන්ත පුත් කුමරා 1942 නොවැම්බර් 13 වන දින කහටානේ ශ්‍රී සුමනජෝති නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් නුගදණ්ඩේ සුමනවංශ නමින් පැවිදි ජීවිතයට එක්විය. මූලික පිරිවෙන් අධ්‍යාපන කටයුතු හෝමාගම විද්‍යාවර්ධන පිරිවෙනින් හා මාබෝදලේ ධම්මාලෝක නාහිමියන්ගේ මූලිකත්වයෙන් පැවති බුළුගහපිටිය ශ්‍රී සුමන පිරිවෙන තුළින් ද, කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙන තුළින් ද ලැබීය. රත්නපුර ශ්‍රී සුමන මහ පිරිවෙනට ඇතුළත්ව ප්‍රාචීන, මධ්‍යම පරීක්ෂණ විභාගවලින් ද සමත්ව විද්‍යෝදය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව අධ්‍යාපනය හැදෑරීමෙන් පසු ශාස්ත්‍රවේදී, උපාධියද, විද්‍යෝදය කලා සංගමය මඟින් පවත්වන ලද ශාස්ත්‍ර විශාරද පණ්ඩිත විභාගය ද, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පරියත්ති පාලක සභාවෙන් පිරිනමන ලද විනයාචාර්ය උපාධිය ද හිමිකර ගැනීමට නාහිමියන් සමත් විය. 1946 දී ගාල්ල උදකුක්ඛේප සීමා මාලකයේ දී උපසම්පදා භූමියට ඇතුළත් විය.

1956 දී බුරුමයේ පැවැත් වූ ජට්ඨ මහා සංගායනාව නිමිතිකොට ථේරවාදී රටවල් අතර පැවැත් වූ අභිධර්ම විභාගයෙන් ද්විතීය ස්ථානය ලබා ගනිමින් ත්‍යාග සහිතව උසස් ලෙස සමත් විය. රජයේ අධ්‍යාපන සේවයට එක් වී රක්වාන ශාන්ත ඇන්තනීස් විද්‍යාලය, ධම්මාලෝක විද්‍යාලය, දික්පිටිගල මහා විද්‍යාලය, පාතකඩ බෞද්ධ විද්‍යාලය යන විදුහල්වල වසර 27 ක් වැනි දීර්ඝ කාලයක් සේවය කරමින් තම අධ්‍යාපන දැනුම විශාල ශිෂ්‍ය පිරිසකට ලබා දීමට නා හිමියන් සමත් විය. සිරිසමන්පුර විහාරස්ථානය දියුණු කිරීමට ද, ගම් ප්‍රදේශයේ දූ දරුවන්ට අධ්‍යාපනය හැදෑරීමට මහත් අඩු පාඩුවක්ව පැවති පාසලක් ඉදිකිරීමට ද නා හිමියෝ මූලික වී කටයුතු කළහ.

1958 වර්ෂයේ සිට සර්වෝදය නායක ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතා සමඟ එක්ව සර්වෝදය ප්‍රධාන උපදේශක වශයෙන් කටයුතු කරමින් රත්නපුර දිස්ත්‍රික්කයේ ගම්මාන රාශියක් දියුණු කිරීමට ද හේන්පිටගෙදර ඤාණසීහ නාහිමියන් සමඟ එක්ව සර්වෝදය භික්ෂු පුහුණු අභ්‍යාස ආයතනය පිහිටුවීමට ද මුල් වී කටයුතු කළේ ය. විචිත්‍ර ධර්ම කථික ස්වාමීන් වහන්සේ නමක් වන උන්වහන්සේ විසින් ඉටු කරන ආගමික හා සමාජ සේවාවන් පිළිබඳ ප්‍රසාදයට පත් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානා හිමියන් ප්‍රමුඛ කාරක මහා සංඝ සභාව මගින් ශ්‍රී සුමන ජෝතිවංශාලංකාර සද්ධර්ම භාණක යන ගෞරව නාමය ද පිරිනැමීය. ගිහි පැවිදි විශාල ශිෂ්‍ය පිරිසක් බිහිකර ඇති නා හිමියන්ගේ 92 වන ජන්ම දිනය නිමිත්තෙන් තම පැවිදි ශිෂ්‍ය පිරිස විසින් පැල්මඩුල්ල පාතකඩ ශ්‍රී සුමනාරාමයේ දී පින්කම් මාලාවක් පැවැත්වීමට සංවිධානය කර ඇත.