Print this Article


පැරැණි බණකතා 08 - කළගුණ සලකමු

කළගුණ සලකමු

එදවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජු රාජ්‍යය කරන සමයේ බෝධි සත්ත්වයන් වහන්සේ අශ්ව කුලයක භෝජාජානීය නම් අශ්වයෙකුව ඉපදුනි. අශ්වයන්ට නායකයව මැනවින් පිරිස පාලනය කළ හෙයින් රජුගේ මඟුල් අශ්ව තනතුරට පත් විය.

කාලයක් ගතවුණි. රජවරු සත් දෙනෙකු බරණැස් රජු සහ යුද කොට රාජ්‍යය අල්ලා ගැනීම සඳහා සේනාව පිරිවරා ආයුධ සන්නද්ධව නුවර වට කළහ. බරණැස් රජු ද ඇමැති පිරිස රැස් කරවා ඒ පිළිබඳව ගතයුතු ක්‍රියා මාර්ගය පිළිබඳව විමසී ය. එවිට ඇමැතිවරු,

”දේවයන් වහන්ස, ඔබ වහන්සේ යුද පෙරමුණට දැන් ම නො යන්න. ඔබ වහන්සේ ළඟ සිටින ඉතා කීකරු අශ්වයාට පිරිස බාර කරන්න. ඒ සතාට එය කිරීමට අපොහොසත් නම් පමණක් ඔබවහන්සේ යුද පෙරමුණට යනු මැනව“. කීහ.

බ්‍රහ්මදත්ත රජු ඒ අශ්වාරෝහකයා කැඳවා

“දරුව, අපගේ රාජ්‍යය අල්ලා ගැනීම සඳහා අප හා සටන් කිරීමට රජ දරුවෝ සත් දෙනෙකු මහ බල සේනාවක් සමඟ පැමිණ අප රාජ්‍යය වටකොට සිටිති. නුඹ ඒ සත්දෙනා පරාජය කොට නැවත මේ රාජ්‍යය මට බාර කළයුතු වෙයි” යැයි කීවේ ය.

එවිට අශ්වා රෝහකයා බ්‍රහ්මදත්ත රජු අමතා

”දේවයන් වහන්ස, මට ඔවුන් පාලනය කළ හැකි යි. මට ඒ සඳහා ඔබ වහන්සේගේ මඟුල් අශ්වයා වන භෝජාජානීය ලබා දිය යුතුවෙයි”.

බ්‍රහ්මදත්ත රජුගේ අවසරය ගත් අශ්වාරෝහකයා භෝජා ජානීය නම් මඟුල් අශ්වයා සහ සේනාව ද, රැගෙන සතුරන් සිටි ආසන්නයට ගොස් අශ්වයා සනසමින් ඇඟ අත ගා නොයෙක් රසයන්ගෙන් යුත් ආහාර කන්නට දී, රසවත් පානයන් බොන්නට දී, සුවඳ විලවුන් ගල්වා, යුද ඇඳුමක් අන්දවා, තමන් ද සැරසී පිටව ගියහ.

බෝසත් අශ්වයා ද ඒ අශ්වාරෝහකයා සමග යුද බිමට වැදී සතුරු සෙනඟ මැදට ගොස් බලකොටු බිඳ එතැන සිටි එක් රජෙකු නො මරා අල්ලා ගෙනවිත් නුවරට බාර දී නැවතත් සතුරු සෙනඟ මැදට ගොස් දෙවැනි බලකොටුව ද බිඳ ඒ රජු ද නො මරා අල්ලා ගෙනවිත් බාර කළේ ය. මේ අයුරින් සය වැනි රජු ද අල්ලා ගෙනවිත් බාර දී හත්වැනි රජු අල්ලා ගැනීමට යාමේ දී සතුරු සේනාවේ කඩු පහරින් තුවාල වී සිරුරෙන් ලේ දහරා වැගිරෙන්නට විය. එය දුටු අශ්වාරෝහකයා අශ්වයා රජ මාලිගයෙහි මිදුලට ගෙනවිත් යුද ඇඳුම් ගලවා වෙනත් අශ්වයෙකු පිට එය බඳින්නට විය. එවිට බෝසත් අශ්වයා සිතන්නේ,

” මේ සටන් බිම ජය ගැනීමට වෙනත් අශ්වයකුට නො හැකි ය. එයින් සිදු වන්නේ සෙනෙවියාත් නැති වී රජු ද පරාජයට පත් වී රාජ්‍යය ද සතුරන් අතට පත්වීම යි. මේ රජු මා හට නොයෙක් උදව් උපකාර කර ඇත. ගෞරව කරමින් සැලකුම් කරයි. මාගේ ශරීරයේ වැගිරෙන මේ රුධිරය රජු මට දුන් නොයෙක් රසයෙන් මධුර පානයෙන් හට ගත්තා වූ රුධිරය යි. එබැවින් මාගේ ශරීරයෙහි මාංශය ද, ජීවිතය ද රජු වෙනුවෙන් ම පිදිය යුතු ය. රජුට පක්ෂපාත විය යුතු ය. රජු වෙනුවෙන් දිවි පුදා මිය ගිය ද කම් නැත. එයින් මට පරලොව සුවය ලැබෙනු ඇතැයි සිතා අශ්වා රෝහකයා අමතා

”මිත්‍රය, සත්වැනි බලකොටුව සහ එහි සිටින සතුරන් අතරට යාමට සුදුස්සා මා ය. වෙන අයෙකුට එය කළ නො හැකි ය. එබැවින් මාගේ මේ ගලන ලේ නවතා තුවාලයට බෙහෙත් දමා නැවත සන්නාහය බැඳ සත්වන රජු වෙත ද කැඳවාගෙන යව“ යි කීහ.

බෝසත් අශ්වයාගේ බස ඇසූ අශ්වාරෝහකයා තුවාලයට බෙහෙත් බැඳ සතුරා අතරට ගියේ ය. එහි දී සත්වන රජුද අල්ලාගෙන පැමිණියේ ය.

”පින්වත් රජතුමනි, මා අල්ලාගෙන ආ මේ රජවරු සත් දෙනා නො මරා ඔවුන් හා මිත්‍රව, ඔවුන්ට ධාර්මිකව ජීවත් වීමට අවවාද කරනු මැන. ජීවිත දානය දෙනු මැන. ඔබ වහන්සේ මට කරන්නා වූ උපකාර සියල්ල මේ අශ්වාරෝහකයාට කළ මැනව. ඔබවහන්සේ ද නො පමාව දාන, සීලයේ පිහිටා පින් සිදුකරගෙන දසරාජ ධර්මයෙන් රාජ්‍යය කරනු මැනව“ යි කී සැණින් එතැන ම ඇද වැටී අශ්වයා මිය ගියේ ය. එදා බ්‍රහ්මදත්ත රජු නම් ආනන්ද තෙරුන් ය. අශ්වා රෝහකයා නම් සැරියුත් තෙරුන් ය. භෝජාජානීය අශ්වයා නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ය.

භාග්‍යවතුන් වහන්සේ මෙම දේශනාව සැවත්නුවර ජේතවනාරාමයේ දී වස් වසන කාලයේ පසුබට වීර්යය ඇති එක් භික්ෂූන් වහන්සේ නමක් මුල් කොට දේශනා කළ සේක.