Print this Article


අටුවා රසකතා- 12 : දියණිය උකසට තබා දුන් දානය

දියණිය උකසට තබා දුන් දානය

එකල රුහුණෙහි, මාගම එක් දිළිඳු පුරුෂයෙක් දැව විකුණමින් අඹුදරුවන් පෝෂණය කරමින් තම ජීවිකාව ගෙන යයි. ඔහුගේ නම තිස්ස නම් විය. දර විකුණා ජීවත් වන බැවින් ඔහු දාරුභණ්ඩක තිස්ස නමින් කා අතරත් ප්‍රසිද්ධ විය. දිනක් ඔහු තම බිරිඳ අමතා “සොඳුර අපගේ ජීවිතය නම් කිමෙක් ද? ශාස්තෘන් වහන්සේ විසින් දිළිඳු දානයේ මහත්ඵලභාවය කියන ලදී.

අපි වනාහි නිබඳව දන්දීමට නො හැක්කෝ වෙමු. එනිසා අපි සළාක දානයක් දී පසුව මහදනක් දෙමු” යැයි කී ය. ඇය ද එය මැනවයි පිළිගෙන දෙවන දිනයෙහි සලාක දානයක් සූදානම් කොට පිළිගැන්වූ හ. එකල මහ සඟරුවනට ප්‍රත්‍යයන්ගෙන් නොඅඩු කාලයක් වූ බැවින් සාමණේරවරු ප්‍රණීත භෝජන වළඳා මේ රළු අහරකැයි, ඔවුන් බලා සිටිය දී ම පිළිගන්වන ලද දානය ඉවත දමා ගියහ.

එය දුටු ඔවුහු විපිළිසර නොවූහ. අපි දුප්පත් බැවින් ආර්යයන් වහන්සේලා සුවසේ වළඳවන්නට නො හැක්කෝ වෙමු. කුමක් කොට ආර්යන් වහන්සේලාගේ සිත් ගැනීම කරන්නේදැයි සිතූහ. දරුවන් සිටින කල්හි මව්පියෝ දිළින්දෝ නො වෙති. බිරිඳ සමඟ සාකච්ඡා කොට තම දියණිය එක් ධනවත් කුලයක. කහවණු දොළොසකට උකස්කොට කිරිදෙනක් ගෙන උදෑසන කිරිබත් ද සවස ගත් කිරි දී කිරි බවට පත්කොට එයින් වෙඬරු හා ගිතෙල් ගෙන ගිතෙල් මුසු ආහාර පිස දවල් ද දන් දෙන්නට වූහ. එතැන් පටන් ඔවුන්ගේ නිවසෙහි ආර්යයන් වහන්සේලා නිරන්තරයෙන් වළදන්නට වූහ.

“සොඳුර, අපගේ දියණිය උකස් කොට ඇති බැවින් එය අපට ලජ්ජාවකි. ඔබ දිගට ම ආර්යයන් වහන්සේලාට දන්දීම සිදුකරන්න. මම වෙනත් කිසිවක් කොට කහවණු සොයා දියණිය මුදවා ගන්නෙමියි” කියා ඔහු උක් ඇඹරුම්හලක වැඩට ගියේය. එහි වැඩකොට කහවණු දොළසක් ලැබ “මාගේ දියණිය මුදවා ගැනීමට මෙය ප්‍රමාණවත් යැයි” එය ගෙන තම දියණිය මුදවා ගැනීම පිණිස පිටත් විය. එ සමයෙහි අම්බරීය විහාරවාසී පිණ්ඩපාතික තිස්ස තෙරුන් වහන්සේ මහවිහාරයට ගොස් මහ සෑ වඳින්නෙමියි මාගමට වඩින්නේ ඒ මගටම පිළිපන්හ. ඔහු දුරදීම තෙරුන් වහන්සේ දැක සතුටුව සාමීචිකතා කොට තෙරුන් වහන්සේ පසුපසින් යන්නේ, එම මාර්ගයෙහි ගමක්, ගෙයක් නොවු හෙයින් වළඳන වේලාවද ළං වූ හෙයින් මෙසේ සිතී ය.

මාගේ අතෙහි බත්මුලක් ද නැත. ආර්යයන් වහන්සේ වළඳන වේලාව පැමිණියේ ය. මාගේ අතේ ගමන් වියදම් මුදල් ඇත. එක් ගම් දොරකට පිවිසි වහාම ආර්යයන් වහන්සේ වළඳවන්නෙමි සිතූවේය.

ඒ සමඟම බත් මුලක් අතින් ගත් මගියෙක් එතැනට පැමිණියේ ය. එය දැක සතුටට පත් ඔහු මුණගැසී කහවණුවක් ගෙන ඔබ සතු බත් මුල මා වෙත දෙන්නේ දැයි ඇසී ය. එම බත්මුල කහවනුවක් තබා අඩමස්සකුද නො වටිනා බැවින් එසේ කහවණුවකට ඉල්ලීම පිටුපස කුමක් හෝ ඇතැයි සිතා ඔහු එය නො දෙන බව පැවසී ය. නැවතත් ඔහු එය කහවණු දෙකකට ඉල්ලී ය. ඔහු නො දුන්නේ ය. ක්‍රමයෙන් ඔහු කහවනු දොළසකට ඉල්ලා කහවණු දොළස ගෙන බත් මුල ඔහුට දුන්නේ ය.

ඉතා සතුටට පත් ඔහු තෙරුන් වහන්සේට එම දන් වළදා අවසානයේ පෙරා ගෙනෙන ලද පැන් ද තෙරුන් වහන්සේට පිළිගැන් වීය. ටික වෙලාවකට පසුව දෙදෙනා ම නැවත ගමන පිටත් වූහ. ඒ යන අතරමඟ දී තෙරුන් වහන්සේට තමාගේ සියලු පුවත් පැවසී ය. එය අසා සංවේගයට පත් තෙරුන් වහන්සේ “මොහු විසින් ඉතා අසීරු වැඩක් කරන ලදී. මා විසින් මෙබඳු පිණ්ඩපාතයක් වළඳා මොහුට කළගුණ දන්නෙකු විය යුතුයැයි තිස්ස මහා විහාරයට වැඩි සැණින් තමාට ලැබුණු සෙනසුනෙහි හිඳ මාගේ සම්, මස්, ලේ නහර වියළී ගිය ද හුන්පලඟින් රහත් බවට පැමිණ මිස, නො නැගිටින්නෙමියි” අදිටන් කොට වීර්යය වඩා විදර්ශනාව වඩන්නේ සත්වැනි දින අරුණෝදයත් සමඟ පටිසම්භිදා සමඟ රහත් බවට පත් වූහ.

ඉන් පසු උන්වහන්සේ ආයු සංස්කාරය බොහෝ කල් පවතිනුයේ ද? නැද්ද? බලනුයේ නැති බව දැන විහාර මැදට ගොස් ගෙඩිය ගසා භික්ෂූන් රැස් කරවූහ. ඉන් පසු උන්වහන්සේ විසින් “ඇවැත්නි” මාගේ මගඵලයන්හි යම් සැකයක් ඇත්දැයි” විමසු විට භික්ෂූහු “ස්වාමීනි, භික්ෂූන් වනාහී නැති ගුණ නො කියන්නා හ. එබැවින් අපට ඔබ වහන්සේගේ මගඵලයන්හි සැක නැතැයි” පැවසූහ. ඉන්පසු තෙරුන් වහන්සේ දාරුභණ්ඩක තිස්ස උපාසකගේ දානයේ පටන් රහත්වීම දක්වා සියලු තොරතුරු පැවසූහ. දාරුභණ්ඩක තිස්ස උපාසකගේ දානය වෙනුවෙන් තමන් වහන්සේ කළ යුතු සියල්ල කළ බවත්, පවසා අවසන තමන් වහන්සේ පිරිනිවන් පාන බව ද පැවසූ හ. මේ කතාව ඇසු භික්ෂූන් වහන්සේ තමන් වහන්සේලාගේ ස්වභාවයෙන් සිටින්නට නො හැකිවූ යේ සාධුකාර දුන්හ. තෙරුන් වහන්සේ ද “දාරුභණ්ඩකතිස්ස උපාසක තෙමේ පැමිණ මාගේ දේහයට අවසන් ගෞරවය දක්වනතෙක් චිතකය නො දැල්වේවායි” අදිටන් කොට පිරිනිවන් පෑහ.

කාවන්තිස්ස මහරජතුමා මහරහතන් වහන්සේ නමක් පිරිනිවන් පෑවේයැයි අසා විහාරයට අවුත් උන්වහන්සේගේ දේහය කුළුගෙයක තබා ආදාහනය කටයුතු සිදුකරන ලෙස දැන් වූහ. එහෙත් කුළුගෙය සෙලවීමටවත් නොහැකි විය. පසුව රජතුමා මහාවිහාරයෙහි තෙරුන් වහන්සේලාගෙන් කරුණු විමසා සියලු කතාපුවත ගැන අසා “තෙරුන් වහන්සේ පිරිනිවන් පෑමට පෙර දාරුභණ්ඩක තිස්ස උපාසකයන් සම්බන්ධව කිසියම් අධිෂ්ඨානයක් සිදුකොට ඇතැයි” සිතා ඔහු සොයා ගෙනවුත් සත්කාර කොට ඔහු විසින් පිණ්ඩපාතය පිරිනමන ලද තෙරුන් වහන්සේ මේ පිරිනිවන් පා සිටින ආර්යයන් වහන්සේදැයි විමසී ය. කුළුගෙය ඇතුළට ගිය ඔහු ආර්යයන් වහන්සේ හැඳින මහ හඬින් හඬන්නට විය. රජු විසින් ඔහු අස්වසා මහා පලඳනාවක් ඔහු වෙත දෙන ලදී. පසුව ඔහු විසින් තෙරුන් වහන්සේගේ දෙපා වැඳීමෙන් අනතුරුව චිතකයට ගොස් සතර කොනින් ගිනි දැල් අවුත් ආදාහන විය.

මහජනයා මේ ආශ්චර්යය දැක අහෝ ආර්යයන් වහන්සේලාගේ ගුණයන් මහත් ආශ්චර්ය යි” සාධුකාර දුන්හ. රජු විසින් දාරුභණ්ඩක තිස්ස උපාසකතුමා වෙත ගරු සම්මාන පවත්වන ලදී.