Print this Article


කේසකාරී විමාන වර්ණනාව

කේසකාරී විමාන වර්ණනාව

පින්වත, භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මගධ දනව්වෙහි දක්ෂිණගිරියෙහි ඒකනාලා නම් බමුණුගම වැඩ සිටි සේක. එක් උදෑසනක ලොව බලා වදාරන්නේ කසීභාරද්වාජ බමුණාට රහත්විමේ වාසනාව දැක බමුණාගේ සී සෑමේ මංගල්‍ය තිබූ කුඹුරු යාය වෙත වැඩම කළ සේක.

ඒ වන විට 2500ක් පමණ වන සේවක පිරිස ආහාරයට සූදානම් ව සිටිය හ. බුදුරජාණන් වහන්සේ දුටු බමුණා, තමාගේ වැඩ පාළු කිරීමට මෙන් ම, මෙවන් බැබළෙන කයක් ඇති මොහුට සිඟා කෑමට තරම් හේතු විය හැක්කේ කුමක් නිසා ද යන සිතිවිල්ලෙන්, ‘ මහණ, මම වනාහී සී සෑම ද , වැපිරීම ද කොට වළඳමි. මහණ තෙපි ද එසේ කොට වළඳව ‘යි කී විට භාග්‍යවතුන් වහන්සේ ‘බමුණ මම ද එසේ කොට වළඳන්නෙක් වෙමි’යි වදාළ සේක. ‘ඔබත් එසේ නම් කෝ ඔබගේ වියදණ්ඩ (ගොනුන් බඳින හරස් පොල්ල) , නඟුල ( ලී කොටස) හී වැල ( බිම හාරන යකඩ කොටස) කෙවිට හෝ ගොනුන් දක්නට නැතැ’යි කී ය. ( අද ද සමාජය මිනිසුන් මනිනු ලබන්නේ පෙනුමෙන් ය, බාහිරෙන් ය ) පසුව බමුණා මෙසේ ද කී ය. ‘ගොවියෙක් යැයි කියන ඔබගේ සී සෑම හා වැපිරීම අපි කෙසේ දැනගන්නෙමු දැ’යි ඇසී ය.

එයට පිළිතුරු දෙන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ‘බමුණ, මාගේ, සී සෑම හා වැපිරීමේ දී බිජුවට වන්නේ ශ්‍රද්ධාව ය. තපස වැස්ස ය. ප්‍රඥාව මගේ වියදණ්ඩ හා නඟුල ය. ලජ්ජාව හා භය නඟුලෙහි හිස ය. සිත යොත ය. (ගොනුන් බඳින ලණුව ය) සිහිය ( සතිය ) මගේ හී වැල හා කෙවිට ය. ‘ යනා දී වශයෙන් මුළු ත්‍රිපිටකය ම ස්පර්ශවන ධර්ම ගංගාවක් සංයුක්ත නිකායේ එන ‘කසී සූත්‍රය’ තුළින් දේශනා කර ඇත්තේ ය. මෙයින් එක් ධර්ම කරුණක් පිළිබඳ ව පමණක් ඉදිරියට ගෙන ලියැවෙන ‘කේසකාරී විමාන වස්තු කථා වර්ණනාව’මෙසේ කෙටියෙන් සටහන් තබමි.

ඒ , ‘ශ්‍රද්ධාව’ නම් බිජුවට ගැන ය. සී සෑම හා වැපිරීම පිළිබඳ බමුණා ඇසූ ප්‍රශ්න මාලාවට බිජුවට ඇතුළත් නොවූවකි. එසේ වූ විට නො ඇසූ කරුණක් පිළිබඳ බුදුරජාණන් වහන්සේ ප්‍රථමයෙන් ම කරුණු කීවේ ඇයි? එයට හේතු වනුයේ “බීජ” සී සෑමේ හා වැපිරීමේ මූල හේතුව නිසා ය. බීජ ඇති තරමට ය, වැපිරීම් කළ හැක්කේ, නැතහොත් නිශ්ඵල වෙහෙසක් පමණි. එහෙයින් ම මේ වැපිරීම අස්වැන්නට අදාළව ගත් විට බිජුවටින් ම පටන් ගත්තේ ය. එසේ ම අපි පිනක්, කුසලයක් කරන විට ද එහි ආනිසංස ( අස්වැන්න) අඩු වැඩි වන්නේ ශ්‍රද්ධාව බලවත්ව තිබූ ප්‍රමාණයට ය. තව ද කෙත කෙතරම් ලෙස සකස් වුවත් , විශාල වුවත් බීජ සරු නැත්තේ ද , බීජ අල්ප වේ ද , අස්වැන්න මද ය. අල්ප ය. එමෙන් ම පින්කම කෙතරම් අනර්ඝ වුවත්, විශාල වුවත්, දැරූ වියදම්, ගිය දුර කෙතරම් අධික වුවත් ශ්‍රද්ධාව මද වන්නේ ද ආනිසංස ස්වල්ප ම ය. ශ්‍රද්ධාව වනුයේ ම තුනුරුවන්ගේ ගුණ අවබෝධයෙන් දැන ඇති කරගන්නා අකාරවතී (පැහැදිමට ය) ශ්‍රද්ධාව ය. අට තැන සැක නො කොට සද්ධර්මයේ හැසිරීම ය. තව ද මෙම වැපිරීමට වැස්ස නැත්තේ ද කෙත හා බීජ කෙතරම් සරු වුවත් වැපිරීම සාර්ථක නොවේ. ගොයම මැරී යන්නේ ය. එමෙන් ම ශ්‍රද්ධාව (බිජුවට අර්ථවත් කළ හැක්කේ ම සඵල වන්නේ ම කය හා වචනයේ සංවරයෙන් ම ය. එහෙයින් මෙහිලා ශීලය (තපස) වර්ෂාව ලෙසින් බුදුරජාණන් වහන්සේ බමුණාට වදාළ සේක. අවසානයේ බමුණු දහම දැඩි සේ ඇදැහූ භාරද්වාජ බමුණා තෙරුවන් සරණ ගිය උපාසකයකු වූයේ ය. මෙසේ අපි දු බොහෝ පින්කම් කරන ඇත්තෝ ය. ඒ පින්කම් ද කෙතරම් විශාල වුවත්, වියදම් අධික වුවත්, එහි ඇත්තේ මහන්තත්වය පෙන්වීමක් ද , ප්‍රසිද්ධියක් ද, තරගකාරිත්වයක් ද , එවිට ආනිසංස ද අල්ප වන්නේ ම ය. ශ්‍රද්ධාව මහත් වේද සරු බීජ ලෙසින් ආනිසංස බොහෝ ය. (ස.නි. 1- බ්‍රාහ්මණ සංයුත්තය උපාසක වග්ගය කසී සූත්‍රය. පිටුව 306)