Print this Article


කෙලෙස් මරුහට ගොදුරු වන්නෝ

කෙලෙස් මරුහට ගොදුරු වන්නෝ

සුභානුපස්සිං විහරන්තං
ඉන්ද්‍රියෙසු අසංවුතං
භොජනම්හි ච අමත්තඤ්ඤුං
කුසීතං හීනවීරියං
තංවේ පසහති මාරො
වාතො දුබ්බලං රුක්ඛං ඉව
(ධම්ම පදය – යමක වග්ගය)

අරමුණු සුබ වශයෙන් ගෙන ඉඳුරන්හි අසංවර වන කුසීතයා ප්‍රබල සුළඟකින් දුබල ගසක් හෙලන්නාක් මෙන් මරු මුවට වැටේ.

මෙහි අරමුණු වශයෙන් සඳහන් වන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන පස්කම් සැපයයි. රූපාදී ආරම්මණයන්හි දී ස්ත්‍රී පුරුෂාදීන්ගේ පැහැය සහ සුන්දරත්වය ආදී කරුණු පිළිබඳව යථාවාදිත්වයෙන් තොරව නිගමයන්ට එළඹීමයි. ඒ සඳහා ඇස, කන, නාසය, දිව, ශරීරය යන පසිඳුරන් උපයෝගී කරගනු ලැබේ. මෙම ඉඳුරන් සංවර කරගත නොහැකි වීම නිසා තමන් ගන්නා ආහාර පානාදිය පවා අසීමිතව පරිභෝජනය කිරීම සඳහා පෙළඹේ. මේ නිසා ඇතැම් විට අධි පෝෂණීය බවක් පමණක් නොව දැඩි රෝගී තත්ත්වයන් සඳහා ද ගොදුරු වේ. මේ නිසා තම සිරුර තමන්ට අවශ්‍ය පරිදි භාවිත කිරීමටද නොහැකි වනවා මතු නොව එය අධ්‍යාත්මික ගුණ වගාවන් දියුණුකර ගැනීම සඳහා ද බාධාවක් වනවා ඇත. මෙහිම අතුරු පලයක් වශයෙන් කුසීත බව ඇතිවන අතර එයින් සිදුවන්නේ පුද්ගලයා අප්‍රාණික වූ, අක්‍රීය අයෙකු බවට පත් කිරීමයි. කායික වශයෙන් අක්‍රීය පුද්ගලයෙකු තුළ දැකිය හැක්කේ පසුගාමී චර්යාවන් වන අතර පෞරුෂීය ගුණයන් ද ගිලිහී ගිය මානසික වශයෙන් බිඳවැටීමක් ද දැකගත හැකි ය. මේ නිසාම හීන වීර්යයෙන් යුතු, අත්හළ උත්සාහයන් ඇති පුද්ගලයෙකු නිර්මාණය වනවා පමණක් නොව පුද්ගල දියුණුව ද, පරිහානිය කරා ගමන් කරනු ලැබේ. කායික උත්සාහයන් ගිලිහී ගිය එබඳු ජීවිතවල කිසිදු ප්‍රගතියක් හෝ ආලෝකයක් දැකිය නොහැකි වේ. එපමණකුදු නොව කුසල් දහම් වැඩීම සඳහා හේතු වන සිත ද වීර්යයෙන් තොර වීම නිසා අධ්‍යාත්මික වශයෙන් ද අගාධය කරා ගමන් කරන අයුරු දැක ගත හැකි ය.

එසේම මෙහි අනෙක් පස පිළිබඳ මෙනෙහි කිරීමෙහිදී ද දක්නට ලැබෙන්නේ ඉතා සක්‍රීය පෞරුෂීය ගුණයන්ගෙන් හෙබි කායික වීර්යයෙන් හා මානසික වීර්යයෙන් අනූන සාර්ථක පුද්ගලයෙකි. පංචාරම්මණයන් අශුභ වශයෙන් දැක ඉඳුරන් සංවර කර ගත් දැඩි වීර්යවන්තයා කෙසේවත් කෙලෙස් මාරයාට ග්‍රහණය කරගත නොහැකි ය. එසේ වන්නේ යථාවාදීව රූපාධි අරමුණු පිළිබඳ මෙනෙහි කිරීමත් ආහාර රටාව මනා කළමනාකරණයකට ලක් කිරීමත් දැඩි වීර්යයකින් යුතුව තම ජීවන යාත්‍රාව පැදවීමත් නිසා ය. මෙහි දී විශේෂයෙන් අවධානයට ලක් කළයුතු වන්නේ තථාගතයන් වහන්සේ විසින් අනුදැන ඇති යහපත් ආහාර රටාවෙහි ඇති වැදගත්කම පිලිබඳවයි. බුදුදහම තම ඉගැන්වීම් තුළින් ඉතා පැහැදිලිවම තම ශ්‍රාවක පිරිසගේ ආහාර ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව සිදු කොට ඇති මෙම ඉගැන්වීම වසර 2600 ඉක්මවූ ඉතිහාසයකට හිමිකම් කියනු ලැබේ. අප ශාස්තෘවරයාණන් වහන්සේ එදා ඉතා පැහැදිලිව ප්‍රකාශ කොට ඇති මෙම ජීවන චර්යා පිළිවෙළ අද ඇතැම් අය නවතම සොයා ගැනීමක් ලෙස සමාජගත කිරීම හාස්‍යයට කරුණක් වේ. ‘චත්තාරෝ පඤ්ච ආලෝපේ - අභුත්වා උදකකංපිවේ අලං ඵාසු විහාරාය පහිතත්තස්ස භික්ඛුණෝ’ ආහාර ගත යුතු ප්‍රමාණය හා අනතුරුව ජලය පානය කළයුතු ආකාරයත්, එය ශාරීරික නිරෝගීතාවය හා ශාරීරික පහසුතාවය සඳහා හේතුවන ආකාරයත් මෙමඟින් ප්‍රකාශ කෙරේ. එසේම එය පුද්ගලයාගේ බාහිර දියුණුව සඳහා මෙන් ම අධ්‍යාත්මික දියුණුව සඳහාත් හේතුවන ආකාරය දහමින් දක්වා ඇති අයුරු දැක ගත හැකි ය.

එක් සමයක තථාගතයන් වහන්සේ සේතව්‍ය නුවර ආසන්නයෙහි ඇට්ටේරියා වන ලැහැබක් ඇසුරු කොට වැඩ සිට සේක. එහි දී සිදු වූ සිදු වීමක් ඉහත දේශනය සඳහා හේතු සාධක වූ බව සඳහන් වේ. එම නගරයෙහි ඉතා ධනවත් සිටු පවුලක් වූයේ ය. මහා කාළ, මජ්ක්‍ධිම කාළ, චුල්ල කාළ යන නම්වලින් එම වෙළෙඳ පවුලේ සාමාජිකයෝ හැඳින්වූහ. මෙම තුන්බෑ වෙළෙඳුන්ගේ නම්වලින් ප්‍රකාශිත වූයේ ඔවුන්ගේ පැහැය පිළිබඳ විය හැකිවා මතු නොව විශාල, මධ්‍යම සහ කුඩා යන ස්වභාවයන් ද අර්ථ ගන්වා තිබේ. ඒ අනුව ඔවුන් භාර්යාවන් ද ප්‍රමාණාත්මකව තෝරාගෙන තිබූ ආකාරයක් දක්නට ලැබේ. එම ප්‍රමාණයන් පිළිවෙලින් අට දෙනෙක්, හතර දෙනෙක් සහ දෙදෙනෙක් වශයෙනි. මෙසේ ඔවුහු වැඩි මහලු පිළිවෙලට සලකමින් බිරින්දෑවරුන් ඇසුරු කර ඇති බව පෙනේ. බහු භාර්යා සේවනයේ යෙදුන ද, මහා කාළ සිටුවරයා වරදට නො බර, පවට බිය පුද්ගලයෙකු වූයේ ය. මෙසේ ඉතා දැහැමි දිවියකට බරව සිටි මහා කාළ පසු කාලීනව දෙටු සොහොයුරු චුල්ල කාළයන් ද සමඟ වෙළෙඳ කටයුතු සඳහා සැවැත් නුවරට පැමිණියේ ය. එහි දී අසන්නට ලැබුණ ධර්ම දේශනයක් නිසා මහා කාළ සිටුවරයා තම සොහොයුරාගෙන් ද අවසර ගෙන පැවිදි දිවියට එළඹුණේ ය. ඉතා සුළු කාලයක දී ම මහත් වීර්යයෙන් යුතුව විදසුන් වඩා රහත් බව ලබමින් නිවන් සුව පසක් කර ගැනීමේ භාග්‍ය ද හෙතෙම ලබා ගන්නා ලදී. ඔහුගේ පැවිද්ද නිසා තම වෙළෙඳ කටයුතුවල කිසියම් බිඳ වැටීමක් ද සිදු වූයේ යයි නිගමනය කළ චුල්ල කාළ තම වැඩිමහල් සොහොයුරා නැවත උපැවිදි කොට, තමන්ද උපැවිදි පැමිණීමේ අපේක්ෂාවෙන් පසු කාලිනව පැවිදි දිවියට පැමිණියේ ය. එහෙත් ඔහුගේ මනස නිරන්තරයෙන් ම යොමුව තිබුණේ තමා විසින් හැර දමා පැමිණි ගිහි ජීවිතය පිළිබඳව ය. ඒ අනුව තමන් ජීවත් වූ ගෙදර දොර පරිසරය පමණක් නොව තමාගේ පුරාණ භාර්යාවන්ගේ අඟ පසඟ පිළිබඳව ද මෙනෙහි කරමින් එදා තමන් ගෙවා ලූ කාමභෝගී ජීවිතය පිළිබඳව යළි යළිත් සිහිපත් කිරීමෙහි නිරත විය.

මෙ සමයෙහි නුවර වැසියන්ගේ ආරාධනයෙන් බුදුරජාණන් වහන්සේ සේතව්‍ය නුවරට වැඩමවා ආසන්නයෙහි වූ හින්සළු වනයෙහි දහම් දෙසමින් වැඩ විසූහ. උන්වහන්සේ සමඟ මෙම නගරයට පන්සියයක් පමණ සඟ පිරිසක් වැඩමවාලු අතර මහා කාළ සහ චුල්ල කාළ යන පැවිදි දෙසොහොයුරෝ ද වූහ. මෙම පුවත දැන ගත් චුල්ල කාළගේ භාර්යාවන් එම ස්ථානයට පැමිණ පැවිදිව සිටි තම පුරාණ සැමියා උපැවිදි කොට නැවත නිවසට පමුණුවා ගන්නා ලදී. මෙම සිදුවීම දැනගත් මහා කාළගේ පුරාණ භාර්යාවෝ ද තම සැමියා පැවිදි බවින් මුදවා ගැනීමට තීරණය කළා මතු නොව එහි පැමිණ මහා කාළ තෙරුන් වට කොට ගත්හ. උතුම් රහත් ඵලයට පැමිණ සිටි මහා කාළ තෙරණුවෝ එහි දී තම රහත් බලය භාවිත කොට අහසට පැන නැගී එම අන්තරායකර ස්ථානයෙන් බැහැර වූහ. මුලාවට පත්ව කළහකාරීව සිටි මෙම කාන්තාවෝ එම ස්ථානයෙන් පලා ගියේ නමුදු මෙම සිදුවීම පිළිබඳව සමාජමය කතිකාවතක් ද ඇතිවීමට ද හේතු විය. මෙම පුවත පාදක කොට ගෙන ධර්ම දේශනා කරන ලද තථාගතයන් වහන්සේ දුබලයන් කෙලෙස් මරුට වසඟව පරිහානියට පත්වන බවත්, ප්‍රබලයන් කෙලෙස් මරු පරදවා සසරින් එතෙර වන බවත් දක්වමින් ඉහත ධර්ම දේශනය නිමවාලූහ.

මෙම සියලු කරුණු පිළිබඳව මැනවින් සලකා බලමින් ශ්‍රද්ධා දී ගුණ ධර්ම ප්‍රවර්ධනය කොට ගනිමින් කෙලෙස් මරහුගේ මුවින් ගැළවීමට අදිටන් කරගත යුතුව ඇත.