UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බෝසත් දරුවන්ට: දිට්ඨි ඕඝයට හසු නොවෙමු

දිට්ඨි ඕඝයට හසු නොවෙමු

පින්වත් දරුවනේ, බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් හි ‘දිට්ඨිය’ හෙවත් ‘දෘෂ්ටිය’ පිළිබඳ ව කරුණු රාශියක් පෙන්වා දී තිබෙනවා.

හොඳ දේ දැකීම සම්මා දිට්ඨිය ලෙසත්, වැරැදි දේ දැකීම මිථ්‍යා දිට්ඨිය ලෙසත් බුදුහාමුදුරුවෝ පෙන්වා දී තිබෙනවා. දැන් දරුවෝ දන්නවානේ සසර ගමනේ දී සැඩ පහර සතරකට අප හසුවනවා කියලා. උදාහරණයක් ලෙස ගතහොත්, 2004 වර්ෂයේ දෙසැම්බර් 26 වැනි දා මුහුද ගොඩගැලුවා මතකයි නේද? එයට කීවේ ‘සුනාමි’ කියලයි.

එය මහා ගොහොරු සැඩ පහරක්. අපි ඒ මොහොත ගැන ටිකක් හිතමු. ඒ සුළු මොහොත කොයිතරම් නම් විනාශයක් සිදු කළා ද? යාන වාහන, ගහකොළ, ගෙවල් දොරවල්, සතා සිව්පාවෝ මේ දේවලට සිදුවුණේ කුමක්ද කියාවත් කිසිම සාධකයක් ඉතිරි වුණේ නෑ. මුළු ලෝකයම කම්පා වුණා. ඒත් ඒ විනාශය යථාවක් (නිවැරැදි) කරන්න තවමත් නොහැකි වුණා. එය රහසක් නොවෙයි. සැඩ පහරකට හසුවීමේ බරපතළකම මොන තරම් ද?

දරුවනේ, සසර ගමනේ දී අප හසුවන මේ වගේ භයානක සැඩ පහර සතරක් ගැන බුදුහාමුදුරුවෝ දේශනා කර තිබෙනවා. කාමෝඝය, භව ඕඝය, අවිජ්ජා ඕඝය සහ දිට්ඨි ඕඝය ලෙස. මේ සැඩ පහර සතරම ‘ආශ්‍රව‘ යනුවෙන් හඳුන්වනවා. දරුවෝ දන්නවානේද? බුදුරජාණන් වහන්සේගේ කාලයේ සැට දෙකක් මිථ්‍යා දෘෂ්ඨිය තිබුණා කියලා. ශාස්වත වාද, ඒකාංශ ශාස්වතවාද, ඒකත්‍ය ශාස්වතවාද, අනත්තාංතික, අමරවික්ෂේප වාද, ආදිච්ඡ සමුප්පන්න, සන්නිවාද, අසන්නිවාද , නේවසඤ්ඤා නාසඤ්ඤාවාද, උච්ඡේදවාද, දිට්ඨධම්ම නිබ්බාණ වාද ආදී ලෙස මේ කියන 62 ක් වූ මිථ්‍යා දෘෂ්ඨියට තමයි දරුවනේ දිට්ඨි ඕඝය කියලා කියන්නේ.

සංජය බෙල්ලට්ඨි පුත්ත, පකුධ කච්චායන, නිගණ්ඨනාථ පුත්ත ආදී වශයෙන් ෂට්ශාස්තෘවරුන්ගේ දේශනා මේ දිට්ඨි ඕඝයට උදාහරණ. ඒ විතරක් නොවෙයි දරුවනේ, ක්‍රි.පූ. 06 වැනි සියවසේ භාරතයේ තිබුණු විවිධ ශාස්තෘවරුන්ගේ දේශනා අයිතිවෙන්නේත් දිට්ඨි ඕඝයටමයි.

මේ මිථ්‍යා දෘෂ්ටිවලින් මිදීමට බුදුරජාණන් වහන්සේ දේශනා කළ දම්සක් පැවතුම් සූත්‍රයේ තිබෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ (සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා කම්මන්ත, සම්මා වාචා, සම්මා සති, සම්මා සමාධි) ගමන් කළ යුතු යි. දුක්ඛ සත්‍යය, දුක්ඛ සමුදය සත්‍යය, දුක්ඛ නිරෝධ සත්‍යය, දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍යය යන චතුරාර්ය සත්‍ය පිළිබඳව නිවැරැදි අවබෝධය සම්මා දිට්ඨිය බවට පත්වෙනවා.

දරුවනේ සම්මා දිට්ඨිය දියුණු කිරීමට අප විසින් නොකළ යුතු වෙළඳාම් පහක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා.

1. මස් පිණිස සතුන් විකිණීම.

ඒ කියන්නේ දරුවනේ සත්ත්ව වෙළඳාම ගැන. මස් පිණිස සතුන් ඇති කරනවා නම් කොයි තරම් නරකද? ඒ හැමෝම මිථ්‍යා දෘෂ්ඨිකයි. රැකියාව ලෙස මස් මාංශ වෙළඳාම කළත් සම්මා දිට්ඨිය නම් ඇතිවෙන්නේ නෑ. සත්ත්ව වෙළෙඳාමට සුරතල් සතුන් විකිණීම වුණත් හොඳ නෑ.

2. අවි ආයුධ වෙළඳාම

රට රටවල් අතර භයානක යුද්ධ ඇති වී තිබෙන්නේ අවි ආයුධ වෙළඳාම නිසා. අප වුණත් කාට හෝ හිංසා කරන්න ආයුධයක් දෙනවා නම්, එය නරකයි.

3. වහල් වෙළඳාම

ඒ කියන්නේ ශ්‍රමිකයන් හැටියට මිනිසුන් විකිණීමයි. සොරකම් කරගත් දරුවන් විකිණීම, කාන්තාවන් මුදලට විකිණීම මේ හැම දෙයක් ම නරකයි.මිථ්‍යා දෘෂ්ඨිකයි.

4. වසවිස වෙළඳාම

සමහර අය ආහාරවලට පවා වර්ණ ගන්වන්න, කල් තබා ගන්න වස විස මිශ්‍ර කරනවා, ගොවිතැන් කටයුතුවලට වස විස එක්කරනවා. කවරාකාරයෙන් හෝ වස විස වෙළඳාම් කළොත් සම්මා දිට්ඨිය නම් ඇති වෙන්නේ නෑ.

5 මත්ද්‍රව්‍ය වෙළඳාම

සුළුවෙන් ආරම්භ කර මහා පරිමාණයෙන් සිදු කරගෙන යන මත්ද්‍රව්‍ය වෙළඳාම් ගැන මොනතරම් අසන්නට ලැබෙනවාද? මේවා ජීවිතයට ඉතාම හානි කරයි. ඒ වගේ ම දරුණු සමාජ ප්‍රශ්න ඇති කරනවා. දරුවනේ, ඔබත් ප්‍රවේශසම් වෙන්න ඕනෑ. පාසල් අවට, උපකාරක පන්ති අවට විවිධ වේශයෙන් සිටින මත්ද්‍රව්‍ය වෙළෙන්දෝ සැරි සරනවා. මේ නිසා සැම දෙයකින් ම ආරක්ෂා වෙන්නට ඕනෑ.

නොකළ යුතු වෙළඳාම් බොහොම සරුවට කරන මේ සමාජයේ ඔවුන්ට ලැබෙන මුදල් හදල්, ප්‍රතිලාභ දකින විට අනෙක් අයගේ සිත්වලට ඇති වන්නේ රාග, ද්වේශ, මෝහ වගේ අකුසලයන්. ඒ වගේම ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, මදය, මානය සිතේ ඇතිවීම දිට්ඨි ඕඝයට හසුවීමක්. එය හරියට නිදහසේ සැරිසරන මීයෙකුට ඇටවූ උගුලක පිළිස්සූ පොල් කැබැල්ලක සුවඳ දැනුණා ම එතැනට ඇවිත් උගුලට අසුවෙනවා වගේ. මොනතරම් නිදහස් වෙන්න උත්සාහ කළත් ඒ සඳහා හැකියාවක් නැති බව තේරෙනවා නේද?. ඒ වගේ තමයි, දිට්ඨි ඕඝයට හසුවුණොත් ගැලවෙන්නේ නෑ.

දරුවනේ, කරණීය මෙත්ත සූත්‍රයේ අවසාන ගාථාවේ දී භාවනා කරමින් සිටි භික්ෂූන් වහන්සේට බාධා කරමින් සිටි අමනුෂ්‍යයන්ට දේශනා කොට වදාළ

“දිට්ඨිඤ්ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නො කාමේසු වින්‍යෙයගේධං න හි ජාතු ගබ්භසෙය්‍යං පුනරේතී ති” යන ගාථා ධර්මයට අනුව මිථ්‍යා දෘෂ්ඨියට නො පැමිණ, සිල්වත්ව, නිවැරැදි දැකීමෙන් යුක්තව, වස්තුවලට ආශාවෙන් තොරවීමෙන් නැවත නැවතත් මව්කුසක ඉපදීම නොවන බවයි බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළේ.

ඒ නිසා නැවත නැවත මව්කුසක ඉපදීමට ප්‍රාර්ථනා කරන්නේ නෑ. මේ වගේ ම දිට්ඨි ඕඝයට හසුවන අය මම, මගේ, මේ මගේ ශරීරය, මම මොනතරම් ලස්සන ද, මගේ කටහඬ මොන තරම් මිහිරි ද, ආදී ලෙස කල්පනා කරනවා. ඉතින් මේ අයගෙන් ‘මම’ කියන කෙනා පෙන්වන ලෙස ඉල්ලීමක් කළොත් ශරීරයේ කොහේ හෝ එක තැනක් පෙන්වයි. එලෙස පෙන්වන එක් තැනක් මම ලෙස ගත හැකි ද?

දරුවනේ මම, මගේ යනුවෙන් හඳුන්වන සෑම දෙයක් ම සම්මුති කියලා මතක තියාගන්න ඕනෑ. සම්මුති නාමයන්ගෙන් හඳුන්වන ශරීරයේ අවයව වෙන් කරලා බැලුවොත් ‘මම’ ද, ‘මගේ’ ද කියලා හොඳින් තේරෙනවා. මට අයිතිනම්, මට ඕනෑ විදිහට මේ ශරීරය පවත්වා ගන්නට හැකි වෙන්නට ඕනෑ. ඒත් එහෙම වෙන්නේ නෑ. ලෙඩ වෙනවා, වෙනස් වෙනවා, වයසට යනවා.

දරුවනේ, පාසල් අධ්‍යාපනයේ දී වෙන වෙන දේට දෘෂ්ටි රඳවන්නේ නැතිව නිවැරැදි දෙයටම දෘෂ්ටි රඳවන්න ඕනෑ. ඒ වෙනුවෙන් අවධානය යොමු කරන්නට අද හොඳම දවසක්. නිකිණි පුර පසළොස්වක පෝය අදයි.

අද සිටම දිට්ඨි ඕඝයට හසු නොවන ලෙස ජීවිතය පවත්වා ගන්නට සම්මා දිට්ඨිය ඇති කරගන්නට උත්සාහවත් වෙන්න ඕනෑ.

 

නිකිණි පුර පසළොස්වක පෝය


නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 25 වන දා සෙනසුරාදා අපර භාග 03.16 ට ලබයි.
26 වන දා ඉරිදා අපරභාග 05.25 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 25 වන දා සෙනසුරාදා ය.


මීළඟ පෝය සැප්තැම්බර් 03 වන දා සඳුදා


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 25

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 03

Full Moonඅමාවක

සැප්තැම්බර් 09

First Quarterපුර අටවක

සැප්තැම්බර් 16


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]