Print this Article


අපණ්ණක ප්‍රතිපදාව නිවැරැදිව හඳුනාගනිමු

අපණ්ණක ප්‍රතිපදාව නිවැරැදිව හඳුනාගනිමු

එදා දඹදිව පැවැති රාජ වංශයන් අතර බුදුරදුන් පහළ වූ ශාක්‍ය වංශය වනාහි සිල්වත් පෙළපතකි. ඔවුන්ගේ කිතුගොස මනුලොවින් ඔබ දෙව්-බඹ ලොවට පවා වෙසෙසින් පැතිර ගියේ සිදුහත් බෝ සතුන්ගේ පුණ්‍යානුභාවය නිසාවෙනි. මහා සම්මත රජුගේ පටන් උභය කුල පාරිශුද්ධිය රැකගත් ශාක්‍යයන්ගේ සක්විති සිහිනය බොඳ කළ, ඔටුන්න හිමි රජ කුමරු රජ සැප හැර දමා ගෙන් ගෙට සිඟමන් වඩින සත්‍යගවේෂී තව්සෙකු බවට පත්වීම ශාක්‍යයන්ගේ අභිමානය දැදුරු කරන්නක් විය.

එය දඹදිව පැවැති කුලවාදයට, ධනවාදයට, ඒකාධිපතියට, රාජාධිකාරයට හා සුඛෝපභෝගීත්වයට මරු පහරක් වූවා සේ ම, රජ-සිටු-මැති මැදුරුවල නිරතුරු කථා බහට ද ලක්විය. අත්තාදීන ඤාණ මාර්ගයෙන් නිවන් පුර රුවන් දොර විවර කොට, රිදුම් දෙන කෙලෙස් මළ තුරන් කළ බුදුරදුන් වදාළ අමා බිඳු සදිසි වදන් වැල නිසා එදා දඹදිව රහතන් වහන්සේලාගේ කසාවතින් බැබළී ගියේ ය.

සමාජ සිරිත් විරිත් හා සිතුම් පැතුම් පිළිබඳ පැහැදිලි වෙනසක් ඇති කළ බුදුරදුන්ගේ ධර්ම දේශනා සමකාලීන ජන විඤ්ඤාණයට වඩාත් ළංවෙමින් භාරතීය දර්ශන ඉතිහාසයේ ස්වර්ණමය යුගය සටහන් කළේ ය. අහිංසක මිනිසුන් මුළාවට හෙළමින් ශාස්තෘන් ලෙස පෙනී සිටි උදවියට වඩා වෙනස් මගක් ගැනීම හේතුවෙන් සමකාලීන ගණාචාර්යවරු ද, ඔවුන්ගේ වන්දිභට්ටයෝ ද බුදුරදුන් කෙරෙහි වෛර බැන්දාහ. මහජනයා රවටා කමින් සිටි කාමුක බමුණු සංහතිය ද කෝපාවිෂ්ඨව එදිරිවාදී විය. එහෙත් ඉතා ශාන්ත ලෙස බුදුමග ක්‍රියාවේ යෙදවූ දම් රදුන් හැම ලෙසකින් ම ගුණදායක වන පරිදි සිත හසුරුවාගත යුතු පිළිවෙත වදාළහ. මුලුමනින් ම නිවහල් වූ එම චින්තන විප්ලවය කාලාමයන්ට හඳුන්වා දුන් අවස්ථාව මෙහි දී සිහිකළ යුතු ය.

බුදුරදුන් කේසපුත්ත නියම් ගමට වැඩම කළ බව දැනගත් කාලාම පිරිස බුදුන් දැකීමට ආවේ තවත් එක් ආගම් කාරයෙක් විය හැකිය යන අදහසින් නොවේ. කලක පටන් නිතර ඇසෙන අරහං ආදී ගුණ රාවයෙන් සුපහන්ව, නෙත් පුරා බුදුරුව දකිනු රිසියෙනි. දැකීම් මාත්‍රයෙන් පිනාගිය සිත් ඇති ඔවුන් ඒකමතිකව ඇසූ ප්‍රශ්නය වියරු ආගම් උමතුව ප්‍රකට කරයි. “භාග්‍යවතුන් වහන්ස, අපේ ගමට නොයෙක් ආගම් කාරයන් පැමිණේ. ඔවුන් තම තමාගේ ඉගැන්වීම් පමණක් සත්‍ය වේ යැයි තදන්ය සියල්ල හෙළා දකියි, විවේචනය කරයි, විරුද්ධ වාදීන්ට බැණ වදියි, ඇතැම් විට අවි හරඹයෙනුදු පිළිතුරු සපයයි. ඒ නිසා ඔවුන් සියලු දෙනා ගැනම අපට ඇත්තේ සැකයක්, කළකිරීමක්, එපාවීමක් පමණි. කෙසේ නම් අපි සැබෑ දහමක පිහිටමු ද?”

සැකය සාධාරණ යැයි පිළිතුරු වදාරණ බුදුරදුන් කාලාමයන්ට ඉගැන්වූ ඤාණ මාර්ගය නිවහල් විචාරයක් හිමි ඕනෑම අයෙකුට පිළිගත හැකි ය. ඒ අනුව කට කථාවෙන්, ඇසූ පමණින් සත්‍ය යැයි නොපිළිගත යුතුය (මා අනුස්සවෙන). පරම්පරා කතාවෙන් ආ නිසා යහපති යැයි කිසිත් නොගත යුතුය (මා පරම්පරාය). මෙසේ වීලු, ඒ නිසා මනාය යැයි නොගත යුතුය (මා ඉතිකිරාය). ඉතා පැරැණි වේද ග්‍රන්ථාදී පොත පතට අනුව යෙහෙකිය කියා නොගත යුතුය (මා පිටක සම්පදානෙන). අයථා තර්කයෙහි පිහිටා ඊට ගැළපේය යැයි නොගත යුතුය (මා තක්ක හේතු). අසවල් අසවල් න්‍යායයන්ට අනුව දොසක් නැත යැයි කියා නොගත යුතුය (මා නය හේතු). සිතා බලන කළ මෙසේ ද මෙසේද විය හැකිය යනුවෙන් කාරණ පරිවිතර්කයෙන් යම් කරුණක නොපිහිටිය යුතුය (මා ආකාරපරිවිතක්කෙන). මෙතෙමේ පිදුම් දිය යුත්තෙක් වන නිසා පිළිගනිමු යැයි අදහා නොගත යුතුය (මා භබ්බරූපතාය). මේ ශ්‍රමණයා අපගේ ගුරුවරයාය එනිසා පිළිනොගෙන බැරිය යැයි බාර නොගත යුතුය (මා සමණො නො ගරු).

ඇසූ දේ ම හරය කොට ගැනීම නරක පුරුද්දකි. ශ්‍රැතය අසත්‍යයක් නම්, වන්නේ මුලාවකි. පරම්පරාගත ප්‍රවාත්තීන් ද, කටකථා ද ව්‍යාකූල විය හැකි බැවින් එයම හරය කොට ගත්තහුට අන්ධවේනි පරපුරක පුරුකක් වීමට සිදුවේ. වේද ආදී ග්‍රන්ථයන්හි ආ පමණින් එම ඉගැන්වීම් අනුමෝදන් වීම හේතුවෙන් ආගමික හා ජාතික ප්‍රචණ්ඩත්වයට දිවි පුදන අසරණ ජීවිත දැක වදාළ බුදුරදුන් පෞරාණික යැයි සම්මත ග්‍රන්ථාගත කිසිත් නොවිමසා නොගත යුතු බව වදාළහ. තර්කය අසමාහිතයන් ගේ තේරීමකි. සමාධි මාත්‍රයක සුවය විඳී තැනැත්තාට තර්කය යනු පීඩාවට හේතුවකි. භෞතිකවාදීහු යනු තාර්කිකයෝ ය. ඔවුන්ගේ නය ක්‍රමයට අධ්‍යාත්ම විද්‍යාව හසු නොවේ. බුදුන් වදාළ ධර්මය අතක්කාවචර වූවකි. එහි තර්කයෙන් සාක්ෂාත් කටයුත්තක් නැත. මඩෙහි සිටුවන ලද දණ්ඩක් සේ එසේත් විය හැකිය, මෙසේත් විය හැකිය යනුවෙන් වැණෙන අදහසින් යුතු පුද්ගලයා මොහොතින් මොහොත සත්‍යාවබෝධයෙන් ඈත් වේ. දිනෙක ඔහුට ඉතිරි වන්නේ පෑරුණ තුවාලයක් බඳු සිතකි. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ සිව්සස් දහම් ඇසූ-දැරූ-නුවණින් විමසූ අයෙකුට හැර අනෙකෙකුට සත්‍ය රසය විඳීමේ භාග්‍ය නොමැත.

වරදවා ගත් දෘෂ්ටිය නිසා වැදූ මව නමුත් දයා රහිතව මරා දැමීම දේවත්වය ලැබීමට හේතු වේ යැයි සලකන පාපිෂ්ඨයන් බිහිවන නිසා තම තමාගේ දැක්මට අනුව කරුණු තෝරා ගැනීමට නොයා යුතු බව බුදුරදුන් කාලාමයන්ට ඉගැන්වූ තවත් ධර්මෝපදේශයකි.

“න වාක්කරණමත්තෙන
වණ්ණ පොක්ඛරතායවා
සාධුරූපො නරො හොති
ඉස්සුකී මච්ඡරී සඨො”

යන බණ පදයෙන් බුදුරදුන් උගන්වා වදාළේ, මතුපිටින් බලන්නාට යහපත් සේ වැටහෙන, එහෙත් ඇතුලතින් කෙලෙස් කසටින් පිරී ගිය පුද්ගලයා පිළිබඳවයි. ඔහුගේ කට හඬද මිහිරි ය, කථාව ද චිත්තාකර්ෂණීය වේ, රූපය ද දැකුම්කලු ය. එහෙත් ඊර්ෂ්‍යාව, මසුරුකම, කපටිකම, කල්ලිවාදය වැනි පටු අදහස් වේ නම් හෙතෙම සත්පුරුෂයෙක් නොවේ. එබන්දන්ගේ උපදෙස් ජිවිතයට සම්බන්ධකර ගැනීම නොකළ යුතු බව කාලාමයන්ට වදාරන ලදී. තමාගේ ධර්මාචාර්යවරයා ගිහියෙක් හෝ පැවිද්දෙක් වුවද භක්ති-ආදර-ප්‍රණාමය ඇති නැති සැම තැනක දී ම කළ යුතු ය. එහෙත් බුද්ධ ධර්මයෙන් අන්‍ය වූ ද, ගුරුන්ගේ පුද්ගලික වූ ද, අදහස් විමසීමකින් තොරව ආදානය නොකළ යුතු ය. සැබෑ ධර්මාචාර්ය වරයෙකු විය හැක්කේ බුදු බණ ශ්‍රද්ධාවෙන් උගත්, පිළිවෙත් පුරණ සිල්වතෙකුට පමණී. ඔහු පව් මළ සෝදාහල අයෙකු නම් ඔහුගේ ප්‍රකාශයන්හි ඉවත් කළ යුතු කිසිත් නැත.

ඉන් අනතුරුව සැබෑ ධර්මය කෙසේ තෝරාගත යුතුද? යන්න බුදුරදුන් කාලාමයන්ට වදාළහ. සිතේ හටගන්නා යම් සිතුවිල්ලක් යහපත් වේ නම්, තමාට ද අනුන්ට ද හිත පිණිස පවතී නම්, නුවණැත්තන් විසින් පිළිකුල් නොකරයි නම් එය ආදරයෙන් පිළිගෙන ප්‍රගුණ කළ යුතු ය. යමෙක් නිර්ලෝභීව මෛත්‍රියෙන් යුක්තව ප්‍රඥාව දියුණු කරයි නම් ඔහුගේ ජිවිතය තුළ පංච දුශ්චරිතයන්ට ඉඩක් නැත. එනිසාම ඔහුගේ ජීවිතය ධම්මචාරී සමචාරී වූවකි. සාවජ්ජ සහ අනවජ්ජ ධර්ම එලෙසින් තෝරා දුන් තථාගතයන් වහන්සේ මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව යන බ්‍රහ්ම සමාචාරයන්ගෙන් යුතු ජීවිතයෙහි ක්ෂාන්තිය විඳගන්නා අයුරු කාලාමයන්ට පහදා එම ප්‍රතිඥාව නිසා ඔහුට මෙලොව දී ම ලද හැකි ආනිසංස කිහිපයක් ද වදාළ සේක. ඒ අතරින් පහත සඳහන් කරුණු දෙක ඤාණ හීන මුග්ධාපචායනය පිළිකෙව් කරන ඕනෑම අයෙකුට පිළිගත හැකිය.

“සැබැවින්ම නැවත ඉපදීමක් වේ නම්, පාපයෙන් වෙන්වූ දිවිපෙවෙතක් හිමි මට දුර්ගති බියක් නොමැත. සුගතියක උපදිනු නොඅනුමානය” යන මේ පළමු අස්වැසුම වේ.

“ඉදින් පරලොවක් නොවේ නම්, සීලවන්ත ජීවිතයක් ගෙවන මට සුවසේ ජීවත් විය හැකි ය. පව්කාරයන්ට මෙලොවදීම ලැබෙන තාඩන, පීඩන, පහරකෑම්, නින්දා, හිරබත් කෑම්, මැරුම්කෑම්, කිසිවක් මට නොමැත ” යන මේ දෙවන අස්වැසුම වේ.

මෙලෙසින් බුදුරදුන් කාලාමයන්ට හඳුන්වා දුන් චින්තා මාවත ඤාණ නාසන චිත්ත භීසනය මුලුමනින් ම නවතා දමන්නකි. පිරිපුන් අධ්‍යාත්මික, අලෞකික විචාර සිද්ධාන්තයක් අනුව සප්ත විශුද්ධීන්ගේ පිළිවෙලින් ජීවිතාවබෝධය ද නිසැකවම ගෙන දෙන්නකි. එනිසාම එය අපණ්ණක (නිර්වාණගාමි) ප්‍රතිපදාවකි. එහෙත් මෙකල වෙසෙන ඊනියා බෞද්ධයන් කාලාම සුත්‍රය බුදුරජාණන් වහන්සේට අපහාස කිරීමට යොදාගෙන ඇත.

“බුදුහාමුදුරුවො කියලා තියෙන්නේ බුදුහාමුදුරුවො කිව්වත් පිළිගන්න එපාය කියලයි” යනුවෙන් ඔවුහු බුදුරදුන්ගේ ස්වක්ඛාත ධර්මය අභියෝගයට ලක් කරති. පොත පතේ ආ පමණින් පිළිගත යුතු නැතැයි කියා ත්‍රිපිටක ධර්මයෙහි එන ධර්ම කොටස් ප්‍රතික්ෂේප කරති. තමන්ගේ දෘෂ්ටියට ගැළපෙන කොටස් පමණක් බුදුවදන් ලෙස තෝරන්නෝ ගිහි පැවිදි දෙපාර්ශවයේම බිහිව සිටිති. විමසා බලන විට ධර්මානුධර්ම ප්‍රතිපදා මාත්‍රයකුත් නොමැති ඔවුහු මුළාවූ අසරණයෝ ය.

අර්ථකතා සහිත ත්‍රිපිටක ශ්‍රී සද්ධර්මය ලක්දිවට වැඩම කරවූයේ මිහිඳු මහා රහතන් වහන්සේගේ රුවන් කරඬුවක් බඳු වූ නිකෙලස් හද මඬලිනි. එතැන් පටන් අකුරකුදු වෙනස් නොකර ඒ දම් කඳ ඉගෙන, සිත්හි දරමින් ආ රහත් උතුමෝ පුස්තකාරූඩ කොට අනාගතය වෙනුවෙන් සුරක්ෂිත කළේ අප වැනි අසරණයන් ගැන අනුකම්පාවෙනි. එලෙසින් අද වන විට අපට ලැබී ඇති ත්‍රිපිටක ධර්මයෙහි අකුරකුදු වෙනස් වි නොමැති බව අවධාරණයෙන් කිව යුත ªය. අර්ථ කථා පිළිබඳව ද කිව යුත්තේ එයම ය.

උතුම් බුදුමග නොවක් ගමනින් වැඩම කළ විරාගී උතුමන්ගේ අත්පොත වන අර්ථකථා සහිත පෙළ දහම ලෝක උරුමයකි. එය ආදරයෙන් ඉගෙන පිළිවෙත් පුරා ධර්මාවබෝධය සඳහා කටයුතු කිරීම දින 16425 ක් මහා කුළුණු සමවතින් ලොව බලා අපමණ ලෝ සතුන් සනාතන සුවයෙන් සුවපත් කළ අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේට කරනු ලබන පරම පිවිතුරු උත්තම පූජාව වන්නේ ය.