Print this Article


සුසුම් නොහෙළා සැනසීමෙන් දිවි ගෙවන්නට ...

සුසුම් නොහෙළා සැනසීමෙන් දිවි ගෙවන්නට ...

නමෝ තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස.

“අචරිත්වා බ්‍රහ්ම චරියං
අලද්ධා යොබ්බනේ ධනං
ජිණ්ණකොඤ්චාව ඣායන්ති
ඛීණ මච්චේව පල්ලලේ
අචරිත්වා බ්‍රහ්ම චරියං අලද්ධා
යොබ්බනේ ධනං සෙන්ති චාපාතිඛිණා ව
පුරාණානි අනුත්ථුනං”

කාරුණික පින්වත්නි,

බුදුරජාණන් වහන්සේ පන්සාළිස් වසක් මුළුල්ලේ දේශනා කළ ධර්මයෙහි සාරය ලෙස ධම්මපදය හඳුන්වා දෙන්න පුළුවන්. මාතෘකාව වශයෙන් දැක්වූ ගාථාවන්හි දැක්වෙන ආකාරයට බ්‍රහ්ම + චරියං අචරිත්වා - ඒ කියන්නේ උතුම් හැසිරීමේ නොහැසිරවීමයි. බ්‍රහ්මචරිය - මෙය දේශනාවේදී කොටස් දෙකකට බෙදා දේශනා කර තිබෙනවා. සාසන බ්‍රහ්මචරිය මග්ග බ්‍රහ්මචරිය වශයෙන් සාසන බ්‍රහ්මචරිය යනු :- ගිහි ජීවිතයෙන් නික්මි මහණ දම් පිරීමෙන්, සිල් රැකීමෙන්, ගත කරන ජීවිතය හඳුන්වා දෙන්නට පුළුවන්. මග්ග බ්‍රහ්මචරිය :- ලොව්තුරා මග - පල පත්ව බ්‍රහ්මචාරීව ජීවත්වීම ලෙස දේශනා කොට ඇත.

යොබ්බනෙ ධනං අලද්ධා :- තරුණ වයසේදී ධනය හරි හම්බ නොකර කයේ හා සිතේ ශක්තිය ඇති කාලසීමාවේ දී උපන් ධනය රැකීමෙන් තොරව හා නූපන් ධනය වෙනුවෙන් ගොවිතැන් කටයුතු හා වෙළදාම් ආදිය නොකොට කල්ගත වීමේදී පසු තැවීමට හේතුවක් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හරියට වැසි සමයෙහි මසුන් අල්ලා නොගෙන පසුව සිඳී ගිය පොකුණ දෙස බලා පසු තැවිලි වන මහලු කොස්වා ලිහිණියන් මෙන් පසු තැවෙමින්, සුසුම්ලමින් ජීවත් වීමට සිදු වන්නාක් වගෙයි යනුවෙන්.

චාපා අතිඛිණා ඉව - දුන්නෙන් විදි ඊතලය මෙන් ය. විදි සැටියේ ඊතලයේ වේගය ඉතා බලවත්වෙයි. වේගය අඩු වී වැටෙන තැන ( කැළයේ ) වේයන් වැදීමෙන් විනාශ වෙනවා හැර වෙන ඵලයක් ඇති වන්නේ නැත.

පුරාණානි අනුත්‍ථුනං :- තරුණ කාලයේ කයේ සිතේ වේගය බලවත්වේ. දුන්නෙන් යැවූ ඊතලය වගේ. ඊතලයේ සැර බාලවී කැලයේ වැටුණ තැන දිර දිර ා තිබෙන්නා වගේ මහලු වූ පසු ජරාවෙන් දිරා මිරිකි මිරිකි පෙර දවස්වල කෑම් - බීම් - නැටුම් - ගැයුම් සිදු කළ ආකාරය සිත සිතා සුසුම්ලමින් ශෝකයට පත්වෙනවා.

මේ කාරණාව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ - බරණැස් නුවර අසූ කෝටියක් ධනය ඇති සිටුවරයකුගේ පුතෙක් අරභයා. බොහෝම ධනය තිබෙන නිසා මව්පියෝ මේ පුතාට ඉගැන්නුවේ නැහැ. පුතා සෙල්ලමින්ම කාලය ගත කළා. ඒ වගේම මේ බරණැස් නුවර අසූකෝටියක් ධනය ඇති තවත් සිටු පවුලක දූ කුමාරියක් හිටියා. ඒ මව්පියොත් ධනය තිබෙන නිසා මේ දූ කුමරියට ඉගැන්නුවේ නෑ. ඇයත් සෙල්ලමින් ම කාලය ගතකළා. පසු කාලයේ දී වැඩි වියට පැමිණි මේ දෙදෙනාම විවාහ ජීවිතයට ඇතුළත් වුණා. මව්පියෝ මිය පරළොව ගියාට පසුව මේ තරුණ යුවල යහළු මිත්‍රයින් සමඟ කා බී ජීවත් වුණා. සියලුම ධනය වියදම් වුණා. අන්තිමේ දී ගේදොර ඉඩකඩම් විකුණ විනෝද වුණා. මහලු වියේදී මේ දෙදෙනාට යහළුවනුත් නැතිව හිඟා කන්නයි සිද්ධ වුණේ. දවසක් මේ දෙපළ ජේතවනාරාමයටත් හිඟමනේ ගියා. පොඩි හාමුදුරුවරු මේ දෙදෙනාට රසකැවිලි දුන්නා. මේ අවස්ථාව බුදුරජාණන් වහන්සේ දැක්කා. තරුණ කාලයේ බඹසර හැසිරෙන්නෙත් නැතුව, ධනය සපයා ගත්තෙත් නැතිව තිබුණ සම්පත් විනාශ කරගෙන මේ දෙදෙනා සිඟා කන හැටි බලන්න යනුවෙන් දේශනා කරමින් මේ ගාථා ධර්මය දේශනා කළා.

ජීවිතයක බාල - තරුණ - මහලු යන අවස්ථා තුනක් තිබෙනවා. එයින් අධ්‍යාපනය ලබන බාල වියේදී ද, රැකි රක්ෂා ආදිය කරන තරුණ වියේදී ද, තැම්පත් මහළු වියේදී ද ශීලාදී ගුණ දහම් පුරමින් සම්පත් උපයා ගන්නා මිනිස්සු මහලු වියේ දී පසුතැවිලි නොවෙන අතර, ගෙවීගිය ළමා විය හා තරුණ විය දෙස බලා සතුටු වෙති. ඒ හේතුවෙන් දීර්ඝායුෂ ද ලැබීමට හේතුවන බව දේශනාවේ සඳහන් වෙනවා.

දළදා සමිඳු සරණින් සියලු දෙනාට ධර්මාවබෝධය ලැබේවා.........