Print this Article


තිරිකුණාමලය සහ අම්පාර දිසාවල පාසල් දරුවන් 300 දෙනෙකුට ශාන්ති පදනමෙන් ශිෂ්‍යත්ව

තිරිකුණාමලය සහ අම්පාර දිසාවල පාසල් දරුවන් 300 දෙනෙකුට ශාන්ති පදනමෙන් ශිෂ්‍යත්ව

කොළඹ බෞද්ධාලෝක මාවත සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානාධිපති ශාන්ති පදනමේ නිර්මාතෘ කොටපොළ අමරකිත්ති හිමියන්ගේ අනුශාසනා පරිදි ශාන්ති පදනම මෙහෙයවීමෙන් තිරිකුණාමලය සහ අම්පාර දිසාවල පාසල් සිසු දරුවන් 300 දෙනෙකු වෙත ශිෂ්‍යත්ව පිරිනමනු ලැබේ.

එම ශිෂ්‍යත්ව පිරිනැමීම මෙම මස 29 වන දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ නුග සෙවණේ දී සිදු කෙරේ. එම ශිෂ්‍යත්ව ලබන සිසු දරුවන් වෙත මෙම මස 25 වන දා සිට ගණිතය, ඉංගී‍්‍රසි, විද්‍යාව ආදී විෂයයන් දින කිහිපයක් පුරා හැදෑරීමට අවස්ථාව සලසා ඇත. අධ්‍යාපන ප්‍රබෝධයක් ඇති කිරීම උදෙසා එසේ සිදු කෙරෙන අතර ඊට සිරිත් විරිත් පිළිබඳ දැනුම් හා භාවනා වැඩසටහන්ද ඇතුළත් වේ. අදාළ ශිෂ්‍යත්ව සිසුන් සමඟ පැමිණෙන භාරකාර මව හෝ පියා ගෘහස්ත ආර්ථික කළමනාකරණය සහ රසායනික පොහොර භාවිතයෙන් තොර කෘෂිකර්මය කෙරෙහි යොමු කරවීමේ වැඩ පිළිවෙලක් ද එම දින කිහිපය පුරා ක්‍රියාත්මක වේ.

අපවත්වී වදාළ දඹගස්ආරේ ශ්‍රී සුමේධංකර මහා නාහිමියන් අනුස්මරණය කරමින් මෙයට 26 වසරකට පෙර ඇරැඹු එම ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහනේ දී එක් සිසු දරුවෙක් සඳහා රුපියල් හය දහසක් තැන්පත් කරන ලද බැංකු ගිණුම් පොතක් බැගින් පිරිනැමෙන අතර සිසු දරුවන් රැගෙන පැමිණෙන භාරකරු මව හෝ පියා වෙනුවෙන් ගමන් ගාස්තු සඳහා රුපියල් 2000 ක් බැගින් ද පිරිනමනු ලැබේ. පස්වන වසරේ දී තෝරාගත් එම සිසු දරුවන් සඳහා දහවන වසර දක්වා එම ශිෂ්‍යත්ව පිරිනමනු ලැබේ. අදාළ ශිෂ්‍යත්ව මහජන ආධාර මගින් පිරිනමන බව ශාන්ති පදනමේ නිර්මාතෘ කොටපොළ අමරකිත්ති නාහිමියෝ පැවසූහ. සිසු දරුවන් සහ මව්පියවරුන් වෙත ආහාරපාන හා නේවාසික පහසුකම් ද සලසා ඇත.